ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් හරසරින් සමරන ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2566 වැන්න උදාවන වෙසක් පුන් පොහෝ දිනය හෙට උදා වේ. අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ වටිනාකම අන් කවරදාකටත් වඩා සමස්ත ලෝකයටම දැනෙන වකවානුව මෙම සම්බුදු තෙමගුල සමරන සමයයි. වෙසක් මංගල්‍යය යනු බුදු සිරිතේ මංගල සම්මත ත්‍රිවිධ සන්ධිස්ථානයක් පමණක් සිහිපත් කරන්නක් නොවෙති. ස්වාක්කාත වූත්, සන්දිට්ඨික වූත්, අකාලික වූත් ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්ය යළි යළිත් මෙනෙහි කරමින් ප්‍රතිපත්තිමය වශයෙන් සෘජුවූත් යථාවාදී තථාකාරි චර්යාවන් සඳහා ජීවිත හැඩගස්වා ගන්නට අපව පොළඹවන දිනය වන්නේ වෙසක් මංගල්‍යයයි. ආමිෂ පූජාව පමණක් නොව සංසාර දුක් නසන මාර්ගය හෙවත් චතුරාර්ය සත්‍යය අවබෝධය ලබන්නට සුදුසු පටිපදා මාර්ගය මේ යැයි වටහා ගන්නට වෙසක් මංගල්‍යය උත්තේජකයක් කරගත හැකිය.

බුදුන් වහන්සේ යනු ආදර්ශයෙන් යහමග පෙන් වූ නායකයෙකි. යථාවාදී තථාකාරී ගුණයෙන් යුතු මාර්ගෝපදේශකයෙකි. කළ නොහැකි දේ කර පෙන්වන්නට උන්වහන්සේ කිසි විටෙක අනුගාමිකයන් පෙළඹවූයේ නැත. තමන් වහන්සේ විසින්ම අවබෝධ කර ගත් සත්‍යය මිස පොත පතේ තිබූ පමණින්, තර්කයට අනුකූල නිසා හෝ පරම්පරාව හෝ සම්ප්‍රදාය කියා හෝ දේශකයා කෙරෙහි උපන් වහල් සිතුවිලි නිසා හෝ දේවල් පිළිගන්නට ශ්‍රාවකයන් පෙළඹවූයේ නැත. බුද්ධි පරිපාකයට මග කියන වීමංසනයට අනුගාමිකයාගේ දර්ශනය විය යුතු බව තථාගත බුදුහු අවධාරණය කළහ. දුකින් මිදීම පිණිස බුදුන් පෙන්වා දුන් මාර්ගය නිවරැදි වූත් එකම වූත් මාර්ගය බව නොපැකිලව බුදුහු දේශනා කළහ. තම දර්ශනය පිළිබඳ අංශු මාත්‍රයක සැක  සංකාවක් බුදුන් වහන්සේ තුළ තිබුණේ නැත. බුදුන් ශාස්තෘවරයෙක් වශයෙන් අතිශයින්ම සාර්ථක විය. වර්තමානයට බුදුරදුන්ගේ අයෝමය නායකත්වය කදිම ආදර්ශයක් කරගත හැකිය. බුදුන් සමාජයේ ගෞරවයට පාත්‍ර වූයේ උන්වහන්සේ තුළ පැවැති අසහාය නායකත්වය නිසාය. ලක්‍ෂ සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් එකම අරමුණක් උදෙසා පෙළ ගස්වමින් කටයුතු කළ හැකි නම් එය සැබෑ නායකත්වයයි.

නායකයා යනු පුද්ගලයෙකි. ඔහුට හෝ ඇයටද විවිධ දක්‍ෂතා මෙන්ම දුබලතාද පැවතිය හැකිය. යම් දර්ශනයක් වටා ගොඩනැගෙන ශක්තිමත් සංවිධානයක් නායකයාගේ ඇවෑමෙන් බිඳ වැටෙන්නේ නම් ඔහු හෝ ඇය නියම නායකයකු නොවේ. මේ තත්ත්වය වත්මන් ලාංකීය සමාජයටද ආදේශකළ හැකිය. නියම නායකයා යනු තමන්ගේ ඇවෑමෙන්ද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිය ප්‍රතිපත්ති බලගන්වන පුද්ගලයාය. අප කටයුතු කළ යුත්තේ ස්ථිර ප්‍රතිපත්තියක් මත මිස පුද්ගල පෞරුෂය පිළිඹිබු කිරීමට සමාජ බලවේග ගොඩනැගීම නොවේ. බුදු සිරිත තුළින් නායකත්ව ලක්‍ෂණ අපූරුවට දැකගත හැකි ආකාරය පහත ප්‍රකාශයෙන් පැහැදිලි කරගත හැකිය.

‘මහණෙනි මාගේ ඇවෑමෙන් ශ්‍රී සද්ධර්මය ඔබේ ගුරුවරයා වෙයි. ඔබට මඟ පෙන්වන්නා වෙයි. ධර්මානුධර්ම ප්‍රතිපදාව ගුරු තන්හි තබා ක්‍රියා කරන්න’. මේ අසහාය නායකත්වය නිසාම අනේකවිධ බාධක හමුවේ වසර 2565 ක් ඉක්ම ගොස් තිබියදී පවා සම්බුදු දහමත් සම්බුද්ධ ශාසනයත් නිර්මලව සුරක්‍ෂිතව පවතී.

යළිත් අවධාරණය කර පවසන්නේ නම් සම්බුදු දහම අදටත් නිර්මලව පවතින්නේ බුදුන්ගේ තිබුණු නායකත්වය නිසාය. නායකයාගේ වගකීම කොතරම්ද යන්න වත්මන් පාලකයන්ට පවා ආදර්ශ ලබා ගත හැකිය.

ශාසනයේ අර්බුද පිළිබඳවද අද පුළුල් කතිකාවතක් ඇති වී තිබේ. බුද්ධ කාලයේ සිටි සිවුවනක් පිරිසේ ප්‍රතිරූපයට 21 වන සියවස ගැළපීමට යාමෙන් මෙම ප්‍රශ්න නිර්මාණය වී ඇති බව විවේචකයන්ගේ අදහසයි. ශාසනික සම්ප්‍රදාය සිය දිවි දෙවැනි කොට රකින්නට බැඳී සිටින බෞද්ධ භික්‍ෂුවගේ අද්‍යතන කාර්ය භාරය පිළිබඳව දැඩි විවේචන එල්ල වී ඇත. එහෙත් ඒවායේ ගැඹුරට ගොස් යථාර්ථවාදීව බැලූ කල පෙනෙන්නට තිබෙන්නේ ආත්ම දෘෂ්ටි ග්‍රහණයට හසු වූ බාහිර පුද්ගලයන් විසින් සිදු කරන අර්ථ විවරණවල තිබෙන ගැටලුවයි. ශාසනික, සමාජීය කවර අර්ථයෙන් ගත්තත් භික්ෂුවකගේ කාර්යභාරය හා උරුමය එදා මෙන්ම අදටත් වෙනස් වී නැති බව අප වටහා ගත යුතුය.

මේ උදාවන වෙසක් පොහොය දිනය තෙක් අප බුද්ධ ශාසනය කොතරම් අභියෝගවලට මුහුණ දී තිබේදැයි වටහා ගත යුතුය. කොතරම් ආක්‍රමණවලට ගොදුරු වූවත් අපේ ධර්මය හා ප්‍රතිපත්ති ඉතාම ශක්තිමත් බව වටහාගෙන කටයුතු කිරීම වැදගත්ය.

වර්තමානයේ අන්‍ය බලවේග මගින් බෞද්ධ සමාජය තුළ වෛරය, පළිගැනීම වපුරා භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව නැගී සිටින බලවේගයක් නිර්මාණය කරමින් පවතින බවට චෝදනා එල්ල වෙමින් පවතී. එය වඩාත් තහවුරු කෙරෙන සාක්‍ෂි කීපයක් ගාලු මුවදොර අරගලයෙන් මතු වී පැමිණි ආකාරය සමාජ මාධ්‍ය තුළින් කරළියට පැමිණ තිබිණ. බෞද්ධ බලවේගය රටට ඉතා අහිතකර අවදානම් සහගත එකක් බව ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් පෙනුණි. එහෙත් රටේ පොදු ජනතාවගේ අදහස එය නොවන බව අපට විශ්වාසය. ඕනෑම අරගල භූමියක තම මතය, එදිරිවාදීකම් කරළියට ගෙන තම විරුද්ධවාදීන්ට රිදවීමට කටයුතු කරන පිරිස් දැකිය හැකිය.

මෙරට මුල්බැස ඇති බෞද්ධ සංස්කෘතිය යටපත් කර ඒ වෙනුවට වෙනත් සංස්කෘතියක් මතුකර එසවීමට අවශ්‍ය අවස්ථාවාදී පිරිස සිටිය හැකිය. එහෙත් සබුද්ධික සමාජයක් එයට ඉඩ නොතැබිය යුතුය. ලංකාවේ කතෝලික ප්‍රජා වේ නායකයා වශයෙන් කාදිනල් හිමිපාණන් පවසන පරිදි ලංකාව හා බෞද්ධ සංස්කෘතිය යනු එකිනෙකාට බද්ධ වූ මහා වෘක්‍ෂයකි. එහි සෙවණ සියලු දෙනාටම අස්වැසිල්ලකි. එබැවින් අවස්ථාවාදීව පැනනගින අභියෝග විවේචනය කරමින් සිටීමට වඩා එය මැඩ පැවැත්වීමට ක්‍රියා කිරීම අපගේ මූලික කාර්යභාරයකි.

එහෙත් ජාතික සමගිය උද්දීපනය කිරීමෙහිලා විවෘත වී ඇති අපූර්ව අවස්ථා අප මග හරවා ගත යුතු නොවේ. ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් සහෝදරත්වයෙන් බැඳීමට බුදුන්ගේ දර්ශනය ඕනවටත් වඩා ශක්තිය ලබාදෙයි. ඒ සඳහා අප කළ යුත්තේ බුදුන් වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමය. කූඨ දේශපාලන උපක්‍රම සඳහා මිනිස් හදවතේ ගැඹුරුම තැන පිහිටා ඇති ආගම පටලවා ගැනීම සිදුවූයේ අද ඊයේ පටන් නොවන බව අප වටහා ගත යුතුය. එකම ලෙයින් බැඳී සිටින මිනිසුන් දෙපසකට වී ඇණ කොටා ගන්නා තැනට ඇද දමන්නට තරම් දේශපාලන සටකපටකම් ප්‍රබලය. එබැවින් අරගල භූමියේත් පරිපාලන භූමියේත් ආගම තේමාවක් කර එය මත ජීවත් වන්නට වෙර දරන බලවේග පිළිබඳ බුද්ධිමත්ව සිතිය යුතුය. ඔවුහු ඔබටවත් ආගමටවත් ඔබේ ජාතියටවත් ඔබේ අනන්‍යතාවටත් ආදරය දක්වන්නේ නැත. බණ කියන්නා මෙන්ම බණ අසන්නාත් දෙදෙනාම වංචා සිතිවිල්ලෙන් ක්‍රියා කරන්නේ නම් දැහැමි ලෝකයක් ගොඩනැගෙන්නේ නැත.

බුදුන් අපට දේශනා කළ මාර්ගය වන්නේ පරිපූර්ණ වශයෙන්ම අවිහිංසා මාර්ගයයි. බුදු දහමේ දැක්වෙන ආකාරයට පහර දෙන්නාත් පහර ලබන්නාත් පහර කෑමේ වේදනාව අවබෝධ කර ගන්නා තෙක් වෛරය දිගටම පවත්වාගෙන යයි. යම් කෙනකු තවත් කෙනකුගේ දේපළ විනාශයට පත්කිරීම ආදී ඕනෑම දෙයක් හිංසාවාදී චින්තනය මතින් මෙහෙයවන ලද පාප සිතුවිලිය. ධර්මානුකූලව මෙය විවරණය කළ හොත් සැබෑ ලෙසම ඔබ පිළිගන්නා තාක් ඔබගෙන් තවත් අයකු එපරිදිම හෝ තව දහස් ගුණයකින් පළි ගන්නවා ඒකාන්තය. නහී වේරේන වේරානී ලෙස බුදුන් දේශනා කළේ වෛරයෙන් කිසි ලෙසක වෛරය සංසිඳෙන්නේ නැති බවය. ඔබ මේ මොහොතේ බල සම්පන්න වුවත් තවත් අවස්ථාවක ඔබ දුබලයකු වන බව වටහා ගත යුතුය. තමන් කළ පල විපාකයේ වේදනාව එලෙසම විඳීමට සිදුවන බව වටහා ගත යුතුය. බුදුන් දේශනා කරන ආකාරයට කිසියම් අයහපත් වෛර සහගත දෙයකට ඔබ නියත වශයෙන්ම ප්‍රතිචාර දැක්විය යුත්තේ පිරිසුදු සිතින් බවයි. බොහෝ විට බහුතරයක් ප්‍රකාශ කරන්නේ අපට පහරදුන් නිසා අප පහර දුන්නා කියාය. මෙවැනි සිතුවිලි වලින් කිසිම දිනක වෛරය පිරිමැසෙන්නේ නැත. එබැවින් සෑම අවස්ථාවකම අවිහිංසාවාදී වීම සිත් සතන් පිරිසුදු වීමට වැදගත්ය. කිසියම් ක්‍රියාවක් සිදුකර පසුව පසුතැවීම වැඩක් නැත. ඊට පෙර බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. 

අන් අයට හිංසා පීඩා කිරීම තමන්ට දුක් පීඩා දෙන කටයුත්තක් බව බෞද්ධයා වටහා ගත යුතුය. එසේම කිසිම මොහොතක අන් කෙනාගේ ශක්තිය අවතක්සේරු නොකළ යුතුය. එක අවස්ථාවක දුබලයා තව අවස්ථාවක ප්‍රබලයා විය හැකිය. නොසිතන අයකුට නොසිතන අවස්ථාවක බලය හිමි විය හැකිය. ඒ නිසා තමන් අපරාධීමය කටයුත්තක යෙදුනොත් එහි ප්‍රතිවිපාක නොසිතන අවස්ථාවක ලැබිය හැකිය.

බුදු දහම යනු සදාතනික ධර්මයකි. මෙම දර්ශනය මෙලොව සහ පරලොව අලෝකවත් කිරීමට දායක වන දර්ශනයකි. මෙම දර්ශනයේ වටිනාකම තව තවත් උලුප්පා දැක්විය හැකි පරිදි ධර්මානුධර්ම ප්‍රතිපදාව පුහුණුවීමට උත්තේජනයක් ලබන දිනයක් ලෙස වෙසක් පොහොය යොදා ගත යුතුය. වර්තමාන පොදු සමාජය තුළ කිසියම් කලකිරීමක් ඇතිවී තිබෙන්නේ 2019 වසරේ සිට මේ දක්වා වෙසක් මංගල්‍යය හරිහැටි සමරන්නට නොහැකි වූ නිසාය. ධර්මානුකූලව මේ දෙස බැලීමේ දී කලකිරීමකට පසු බෑමකට මෙය හේතුවක් නොවේ. මන්ද වෙසක් මංගල්‍යය යනු අප විසින් අනාදිමත් කාලයක් පුරා පවත්වාගෙන ආ විවිධ අංගයන්ගෙන් සමන්විත උත්සවයකි. මෙය ක්‍රම ක්‍රමයෙන් වාණිජකරණයට ලක්වී වර්තමානයේ එය සංදර්ශනාත්මක සැමරුමක්  බවට පත්ව ඇත. පෙරහර තොරණ ආදී සංදර්ශනාත්මක ප්‍රවේශයට මේ වසර කීපය තුළ අපට ඉඩ කඩ ලැබී නැත. වර්තමානයේ අපට තොරණ තබා විහාරස්ථානයකවත් සැරසිල්ලක් කිරීමට විදුලි අර්බුදය බාධකයක් වී ඇත.

එවැනි අවස්ථාවක වෙසක් වෙනුවෙන් තව අධික මුදලක් දරා රටේ අර්බුදය තවත් අර්බුදයක් බවට පත් නොකළ යුතුය. එහෙත් මෙවර අප බුදුන් වෙනුවෙන් කරන වත් පිළිවෙත් වලට මූලිකත්වය දී කටයුතු කළ යුතුය. කොරෝනා සමය තුළ අප ලැබූ පාඩම වන්නේ සියලු උත්සව නවත්වන්නට සිදුවුවත් ජන ජීවිතයට එයින් ලොකු පාඩුවක් සිදු නොවන බවයි. පාංශු කූලයවත් නොදී මිහිදන් කරන්නට පසුගිය කාලයේ මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවකට සිදුවීම දෛවයේ සරදමකි. ලෝක යථාර්ථයට  මුහුණ දෙනවා ඇරෙන්නට එමගින් අපේ ජීවිත කඩාකප්පල් නොකර ගත යුතුය. වඩා වැදගත් වන්නේ බුදුන්ගේ දර්ශනය අපගේ හදවතේ තබා ගැනීමයි. කාලයට අනුකූලය එළැඹෙන තත්ත්වයනට මුහුණ දීමට අපට හැකිවිය යුතුය. සම්ප්‍රදායම කරගෙන යාමට සමහර විට අපට නොහැකි අවස්ථා උදාවිය හැකිය.

අතීතයේ සිට අපට ජයග්‍රහණ ලැබී තිබෙන්නේ එකමුතුකමේ ප්‍රතිඵල වශයෙනි. ජාති ආගම් පක්ෂ වශයෙන් බෙදුනොත් ඒ ජයග්‍රහණ හිමි වන්නේ නැත. පෞද්ගලික මතවාදවලට එළඹ නොවී සියලු සත්වයාටම මෛත්‍රීය කරුණාව පැතිර විය යුතුය. ඉතා ඉක්මනින් රටට ජයග්‍රහණ උදාකර ගැනීමට බෞද්ධ  දර්ශනයත් අනෙක් ආගමික ඉගැන්වීමත් ඉවහල් කරගත යුතුය. තමාත් ගැන පමණක් නොසිතා මුළු ලෝකයක් ගැනම සිතා කටයුතු කළ යුතුය. එයට ආකල්ප වෙනස් කර ගත යුතුය. එකමුතුකම තිබේ නම් මේ අර්බුදවලින් ජය ගැනීම අපහසු නැත.

(*** සටහන – අමිල චින්තක ගමගේ)