“සාගිනි සිරකරුවනි පිබිදෙව්
මිහිතල අසරණයිනි පිබිදෙව්....”

මැයි පළමුවැනි දින ජාත්‍යන්තර කම්කරු ගීතයෙහි වදන් ලොව පුරා හැම මහ නගරයකම දෝංකාර දෙනු ඇසිණි. ලෙයින් දහඩියෙන් දිනා ගත් මෙම සැමැරුම් දින සංකේතවත් කරනු ඇත්තේ වැඩකරන ජනතාවගේ සමගිය, අදිටන සහ අපේක්ෂාවයි. එහෙත් ශ්‍රී ලංකාවෙහි මැයි දිනයටත් තහංචි! එය ද සුළු පටු තැනකින් නොව විධායකයෙන් මය තමා. හේතුව අහේතුවකි. වෙසක් පුන් පොහොය සමඟ ගැටෙන හෙයින්ලු. 

එහෙත් පෝය අප්‍රේල් 29 ය. මැයි දිනය දින දෙකකට පසුව ය. යටත් පිරිසෙයින් වෙන් වෙන්ව හෝ මැයි පළමු වැනිදා වැඩකරන ලෝක ජනතාව සමඟ එක්වන්නට නොලැබීම මෙරට කම්කරු පන්තියෙහි අභාග්‍යයෙකි. පාලකයන් වැඩකරන ජනතා අයිතීන් සහ සම්ප්‍රදාය තුට්ටුවකට ගණන් නොගනිතැ යි යමෙකු නිගමනය කළහොත් එය ඇත්තෙන් ඈත නොවන්නට පිළිවනි. අලි මදිවාට හරක් කීවාක් මෙන් පෙළපාළි තහනමට අමතරව නිවාඩුව ද අහෝසි කැරිණි. එය වෙනත් දිනක දීම වෙනත්ම කාරණයකි. කෙසේ වෙතත් මැයි පළමු වැනිදාම මැයි දිනය සමරන්නට ඉදිරිපත් වූ “අකීකරු පුත්‍රයන්” නොවන්නට ශ්‍රී ලංකාව වෙළා ගත් මෝහාන්ධකාරය පළුදු නොවන්නට තිබිණි. ඒ කෙසේ වෙතත් වාණිජ සමාගම් තවමත් නිදැල්ලේ ගජරාමෙට වෙසක් අලෙවි කරති.

විධායක අණ මෙරට කම්කරු පන්තියෙහි එකම විනය නොවේ. එහි විනය නොව හෙණය අසමගිය ය. වරද කා අත ද? අන් කවුරුන් අත නොව එයට නායකත්වය සැපැයූවන් සහ තවමත් සපයන්නවුන් අතය. 
ඒවා අනේක හේතු මත එසේ කරත්. ඇතැම් හේතු න්‍යායයික මතභේද වන අතර තවත් ඒවා අවස්ථාවාදය නිසා ය. ඇතැම් විට පෞද්ගලික හේතු ද බලපායි. මෙම විදාරනය තවම නිම නැත.

මෙකී නොකී හේතු නිසාම අද මෙරට දේශපාලනයෙහි වාමාංශය දුබල හඬකි. වැඩිහිටි පරම්පරාව වෙත වම පිළිබඳ සොඳුරු මතක තවම රැඳී පවතී. නිදහස් අරගලයෙහි එය ඉටු කළ සුවිශේෂ කාර්ය මෙන්ම වැඩකරන ජනතා අයිතීන් දිනාදීමට සහ සමාජ ප්‍රගතියට එය සැපැයූ දායකත්වය ඉතිහාසයට එක් වූ අවිවාද ජනක කාරණා ය. ඒ සා වැඩිහිටි නොවූව ද ඊළඟ පරම්පරාවට ද අභිමානයෙන් සිහිපත් කළ හැකි නව වමක ඉතිහාසයක් හැත්තෑව දශකය විසින් ඉතිරි කැරැ තිබේ. මතු පරපුර විසින් වර්තමානයෙහි වමේ ශේෂපත්‍රය ධනාත්මකව අගයනු ඇතැයි තවමත් කිව නොහැකි ය.

අද මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ව්‍යුහාත්මක අර්බුදවල ගිලී පවතී. එය ඇත්තෙන්ම රට මුහුණදෙන අර්බුදයෙහි ම පැතිකඩකි. රජය නමැති කුණාටුවකට හසුව නිම්තෙරක් නැති මහ සයුර ඈත ඈතකට ගසා යන්නාක් සේ ය. මෙතෙක් බලයට පත් හැම දේශපාලන පක්ෂයක්ම ජනතා පැතුම් ඉටු කරන්නට, ඔවුනට මිනිසත් බවට නිගරු නොදෙන ජීවන තත්ත්වයක් සහතික කරන්නට අසමත් වී ඇත. සමාජ ආර්ථික සංවර්ධනය ගෙන එන්නට ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්ති ද අසමත්ව ඇත.

අද වුවමනා කරන්නේ ඉදිරි සංවර්ධන දැක්මෙකි. දේශපාලන දර්ශනයකි. ප්‍රබල විකල්ප සංවර්ධන මාවතකි. එය රටෙහි ස්වාධීනත්වය මෙන්ම ජනතා නිදහස සහ මානව හිමිකම් සුරකින්නක් විය යුතුය. ඒකාධිපතිත්වයක් නොවිය යුතුය. එවන් දැක්මකට උරුමකම් කිව හැකි වන්නේ වමට පමණකි. එය ලොව අන් තන්හි අත්දැකීම්වලින් ද තහවුරුව ඇත. අවාසනාවට වමේ අසමගිය නිසා එහි විභව ශක්තිය ප්‍රයෝජනයට ගත නොහැකි ය.

අතීතයෙහි ජනතාවට බොහෝ ඉදිරියෙන් ගමන් ගත් වම විප්ලවය ආසන්න යැයි සිහින දකිමින් න්‍යායයෙහි පාරිශුද්ධභාවය අරබයා භේද භින්නව දේශපාලන පිටියෙහි ආධිපත්‍යය ගන්නට ධනේශ්වරයට ඉඩකඩ හදා දුන්නේය. වැඩවසම් ක්‍රමයෙහි ගතිලක්ෂණ උරුමය සමඟ නැඟී එන ධනපති ක්‍රමයෙහි පිළිසිඳි හේතුවෙන් එහි උපන් ලප සහිත ජනතාව සමාජවාදය වෙත ගෙන යා හැකි වන්නේ ජනතාවට වැටහෙන ඔවුන්ගේ අපේක්ෂා සමඟ පෑහෙන අතරමැදි අවධි හරහා බව නොදැන ඔවුහු එක් රැයකින් බිහිවන විප්ලවයක් දේශනා කළහ. පාර්ලිමේන්තු අරගලයෙහි ප්‍රාරම්භක ජයග්‍රහණවලින් උද්දාමයට පත් ඔවුහු බහුජන අරගලයට පාර්ලිමේන්තු අරගලය අවනත කළේ කළ යුත්ත එහි ප්‍රත්‍යාවර්තය බව නොසලකා ය.

ඒ නිසාම ඔවුහු වෘත්තීය සමිති දේශපාලන පක්ෂ අධිකාරය යටතට පත් කළහ. නැතහොත් අලුත් සමිති තරගයට බිහි කළහ.

මෙම බෙදීම අදට ද කම්කරු සති ව්‍යාපාරයට මෙන්ම වමට ද හෙණයකි. වෘත්තීය සමිති ව්‍යාපාරයෙහි වමෙහි ඒකාධිකාරය බිඳිමින් ධනපති දේශපාලන පක්ෂ ද සමිති පිහිටුවන්නට ගත්තේ ඒ සඳහා පාර්ලිමේන්තු පනතක පිහිට ඇතිව ලිහිල්තම කොන්දේසි යටතේ ය. අද ධනපති පක්ෂ අධිකාරය යටතේ වැඩකරන ජනතාව අනල්ප සංඛ්‍යාවක් හැරුණේය. ඒ නිසා ඔවුහු සංවිධානය ව සිටිත්. පෞද්ගලික අංශයෙහි හෝ වේවා රාජ්‍ය අංශයෙහි හෝ වේවා සමිති නායකයන්ට අධ්‍යක්ෂ තනතුරු, යාන වාහන සහ වෙනත් වරප්‍රසාද පිරිනැමීමෙන් අද නව පන්නයේ කම්කරු නිලධාරිවාදයක් බිහිව තිබේ.

පළමුව බයාදුව මෙන් ජාතිවාදී බලවේග සමඟ මුකුළුවට පිළිපන් වමේ ඇතැම් කොටස් පසුව නිර්ලජ්ජිතව ම ජාතිවාදය වැළැඳ ගත්තේ තාන්න මාන්න මැති ඇමැතිකම් වෙනුවෙනි. එපමණක් නොව ඒ සඳහා න්‍යාය වාත්තු කරන්නට ද ඔවුහු නොපසුබට වූහ. ජාතික ප්‍රශ්නය පිළිබඳ මතභේද කම්කරු පන්ති සමගියට ප්‍රධානතම බාධකයකි. ජාතිවාදී පදනමෙන් වෘත්තීය සමිති පවා පිහිටුවා ඇත. ඒ අතර වැඩකරන ජනයා අතුරින් අන්ත අසරණම පිරිස වන කඳුරට වතු කම්කරුවන් එක්තරා ආකාරයකින් හුදකලාව ඇත. ඔවුන්ගේ අරගලයන්හි නාගරික කම්කරු ව්‍යාපාරයෙහි සහයෝගතාව ප්‍රදර්ශනය වන අවස්ථා විරල ය. 

වමේ පක්ෂවල උපායික සහ උපක්‍රමික වැරැදි ද එහි පසුබෑමට හේතු විය. 1948 දී වමේ නායකත්වයෙන් රජයක් පිහිටුවීම මඟහැරුනේ එහෙයිනි. අනතුරුව වූ දශකවල දී අනෙක් අන්තයට ගිය ප්‍රධාන ධාරාවෙහි වාම පක්ෂ ධනපති ශ්‍රීලනිපය සමඟ සභාගයනට හවුල් වූයේ අචල එජාප විරෝධී සමගියක නාමයෙනි.

වමෙහි දේශපාලන වේදිකාව දෙස බලතහොත් පව්කාරයන්ට ගල් ගැසීමට වරදෙහි නොබැඳුනු පින්වතකු සොයා ගත නොහැකි ය. හැම දෙනා ම පව්කාරයෝ වන හෙයිනි. එහෙයින් කුඩු කෑ විත්තිය මත වමෙහි සමගිය පළුදු නොකළ යුතුය. අවශ්‍යව ඇත්තේ රට ව්‍යසනයෙන් මුදවාගත හැකි වැඩපිළිවෙළක් වටා පිළිගත හැකි අවම පියවර මාලාවක් සඳහා එකතු වීම ය.  මූලධාර්මික මත වෙනස්කම් එවන් වැඩපිළිවෙළක පූර්ව අවශ්‍යතාවක් ලෙස නොව සමගි ක්‍රියාකාරිත්වය අතරතුර සාකච්ඡා තුළින් හැකිතාක් නිරවුල් කැරැ ගත යුතුය. ජනතා විශ්වාසය ඇද ගත හැකි වන්නේ එසේ ය. 

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නම් 1953 හර්තාලයෙහි දී එයට ලැබුණු ජනතා ප්‍රතිචාරය ඉතිහාසයෙහි පෙර නොවූ විරූ විය. ඉතා කෙටි කලකට වුව ද 1963 වාමාංශික එක්සත් පෙරමුණ ද දැවැන්ත ජනතා ආකර්ශනයකින් යුක්ත විය. විසිර කුළල් කා ගනිමින් සිටි වම සමගියෙහි බලයෙන් නේපාලයේ බලයට පත් සැටි සැබැවින්ම ආදර්ශයක් සපයයි. වමෙහි විභව ශක්තිය අඩුවෙන් තක්සේරු කළ හැකි නැත. එහෙත් විභව මිස වර්තන ශක්තිය නො වේ.

කලක් වමෙහි හැම පක්ෂයක්ම කණ්ඩායමක්ම තමන් පෙරටු බලඇණිය යැයි හිතා කටයුතු කළාය. එහෙත් පෙරටු බලඇණි මෙහෙවර උරුමයට ලැබෙන්නක් නොව දිනාගත යුත්තකි. ජනතා හිතසුව පිණිස කරන ජන අරගලය හැර එය දිනා ගැනීමෙහි අන් මඟක් නැත.

අද අප රට පත්ව ඇති අගාධය දකින මෙන්ම විකල්ප සංවර්ධන මාවතක් පිළිබඳ දැක්මක් සැපැයීමට සමත් බුද්ධිතුන් නිහඬව සිටිය යුතු නැත. එය රටට කරන අසාධාරණයකි. වඩා යහපත් හෙට දවසක් දිනා ගත හැකිය. දිනා ගත යුතු ය. නිසැකවෙන් ම ජනතාව ජය ගනු ඇත! 

ජයතිලක ද සිල්වා