(*** අම්පාර වසන්ත චන්දාපාල)

අරන්තලා මහා භික්ෂු ඝාතනය සිදුවී හෙටට (2) වසර 33 කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1987 ජුනි මස 01 වැනිදාන මහාවාපි විහාරස්ථානය සහ විද්‍යානන්ද මහ පිරිවෙණ කලබලකාරී දිනයක් විය. නායක හිමියන් ඇතුළු හිමිවරුන් ධර්ම  ප්‍රචාරක කටයුත්තක් කිරීමට පසු දිනයේ (02) යෑමට නියමිත වී තිබිණි.  

ජුනි 02 වැනිදා උදේ මහනුවර බලා ගොස්  දළදා මාළිගාව වැඳ පුදාගෙන පසුව කැලණිය රජමහා විහාරයට ගොස් එදින රාත්‍රිය එහි ගත කර පසු දින කළුතර බෝධීන් වහන්සේ අසලින් පා ගමන ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණි.

1 වැනිදා රාත්‍රී 8.00 ට පමණ මහාවාපිය මහා විහාරයේ සිට පැමිණි වෑන් රථයට විද්‍යානන්ද මහා පිරිවෙණේ සිටි සාමනේර හිමිවරුන් ගොඩ වුණේ පසුදා මහනුවර දක්වා වැඩම කිරීමටය.  

2 වැනිදා පැන් පහසු වී ගිලන්පස වළඳා මහනුවර බලා යන ගමනට එක් වන්නට සියලුම හිමිවරු සූදානම් වූහ. පාන්දර 5.30 පමණ වන  විට අම්පාර ලංගම ඩිපෝවට අයත් බස් රථය විහාරස්ථානය කරා පැමිණියේය. බස් රථය පැමිණීමත් සමඟම සාමනේර හිමිවරුන් තමන්ගේ බෑග් සහ අවශ්‍ය අනිකුත් දේ රැගෙන දුවගෙන ගොස් බස් රථයේ අසුන් ගත්තේ මෙම වන්දනා ගමන යාමේ දැඩි ආශාවකින් යුතුවය.

සාමනේර හිමිවරු බස් රථයට වැඩම කරද්දී හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් බෝ මළුව වෙත ගොස් මල් පහන් පූජා කර නැවත ලැඟුම් ගෙය වෙත පැමිණියහ. තමන්ගේ ගමන් මල්ල සහ අතට ගතයුතු දේවල් ගත් නායක හිමියෝ විහාරස්ථානයේ නැවතී සිටින හිමිවරුන් දෙදෙනෙකු වන මහියංගනයේ සෝමානන්ද හිමියන්ට සහ අම්පාරේ සිරිරතන හිමියන්ට කතා කර තමන් එනතුරු පන්සලේ වැඩ බලාගන්නා ලෙසට උපදෙස් දුන්හ.

 ‘‘දැන් සියලු දේවල් හරි නේද ඩ්‍රයිවර් මහත්තයෝ. තුණුරුවන්ගේ පිහිටයි කියලා අපි යමු” කියද්දි බස් රථයේ සිටි සියලු දෙනා සාධුකාර දුන්හ.

පාන්දර 6.00 ට ගමන ආරම්භ කළහ. බස් රථයේ භික්‍ෂූන් වහන්සේලා 45 නමක් වැඩ සිටි අතර, රියදුරු සමතපාල, කොන්දොස්තර ජිනදාස, ආවතේවකරු ඩබ්. ජයවර්ධන සහ කුඩා හිමිනමකගේ පියෙකු වන රත්නායක මහතාද වූහ.

බස් රථය උහන, රජගලතැන්න හරහා කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදේ. නායක හිමියන් ඉදිරිපස අසුනේ වැඩ සිටින අතර, කුඩා සාමනේර හිමිවරු මඟ දෙපස බලමින් සතුටින් බස් රථය තුළ වැඩ සිටිති. අරන්තලාව ප්‍රදේශයට බස් රථය පැමිණෙන විට පෙ.ව. 7.00 ට ආසන්න විය. මඟ දෙපස ඇති තේක්ක කැලෑව දෙස නායක හිමියෝද බලා සිටිති. මෙම මාර්ගයේ ගමන් කිරීම අවදානම් බව උන්වහන්සේ දැන සිටියත්, තමන්ට කිසිදු කරදරයක් නොවේය යන විශ්වාසය උන්වහන්සේගේ හදවතේ තැන්පත් වී තිබුණි.

මේ වන විට කිසිවකු නොදත් තවත් සිද්ධියක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු මහ සඟරුවන හිමිදිරි පාන්දර අරන්තලාව මාර්ගයේ ගමන් කරන බවට එල්.ටී.ටී.ඊ. සංවිධානයට තොරතුරු ලැබී තිබුණි. ඒ වන විටත් ඔවුන්ගේ ඔත්තු සේවා නැගෙනහිර පළාතේ ගම්මානවල ක්‍රියාත්මක වෙමින් තිබූ බව කිසිවෙක් දැන සිටියේ නැත.

අරන්තලාව ප්‍රදේශයට පැමිණි ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කළ ස්ථානයේ අවට කැලෑවේ සැඟ වී සිටියේ තමන්ගේ ඉලක්කය කරා යාමේ අරමුණෙන්ය. මේ කිසිවක් නොදත් බස් රථයේ රියදුරු සමතපාල බස් රථය ඉදිරියටම ධාවනය කළේය.

අරන්තලාව ප්‍රදේශයෙන් බස් රථය ධාවනය කරන විට එක් වරම හමුදා ඇඳුම් ඇදගත් පුද්ගලයෙක් බස් රථය නතර කරන ලෙස සංඥා කළේය. ඒ අනුව බස් රථයේ රියදුරු වන සමතපාල මහතා තිරිංග තද කළේය. ඔහු සිතුවේ යුද හමුදාව විසින් බස් රථය නතර කරන ලද බවකි. ඔවුන් සිටි තැනට ඉදිරියෙන් කොට දමා මාර්ගය හරස් කර තිබිණි.

එක්වරම අවිගත් ත්‍රස්තවාදියෙක් බස් රථයට ගොඩ විය. එසේ ගොඩ වී බසය පිටුපසට ගන්නා ලෙස රියදුරු සමතපාලට නියෝග කළේය. කළ හැකි දෙයක් නොතිබූ නිසා බස් රථය පිටුපසට ගැනීමට රියදුරු සමතපාල කටයුතු කළේය. පසුව බස් රථය කැලෑවට ධාවනය කරන ලෙසට අණ කළේය. රියදුරු මහතා දරුවන් 05 දෙනෙකුගේ පියෙකු වන අතර, තමන්ට සහ කුඩා හිමිවරුන්ට කිසිදු කරදරයක් නොකරන ලෙසට රියදුරු සමතපාල මහතා ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් සිත්පිත් නැති ත්‍රස්තවාදීහු ඔවුන්ගේ ඉල්ලීම ගණන් නොගෙන බස් රථය කැලෑවට ගෙන යන ලෙසට තර්ජනය කළහ. රියදුරු සමතපාල මහතාට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි විය. ත්‍රස්තවාදීන්ගේ අණට කීකරු වන්නට ඔහුට සිදු වූයේ ඔහුගේ හිසට එල්ල වී තිබුණු ටී. 56 ගිනි අවිය නිසාය. ගැහෙන හදවතින් යුතුව බස් රථය කැලෑව තුළට ධාවනය කළේය. කැලෑව දෙසට මීටර් 100ක්  පමණ බස් රථය ධාවනය කළ අතර, තවත් කැති, පොරෝ, තුවක්කු ආදී අවිගත් ත්‍රස්තවාදීහු පිරිසක් බස් රථය වට කළහ.
 
එහි නායකයා ලෙස සැලකෙන ත්‍රස්තවාදියා කඩුවක්ද රැගෙන බස් රථයට ගොඩ විය. හෑගොඩ නායක හිමියන් නැගිට  ‘‘මාව මැරුවට කමක් නැහැ. මගේ අහිංසක දරුවන් නම් මරන්න එපා’’ යැයි ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලීමක් කළහ.

‘උන්වහන්සේගේ හඬට අවනත නොවූ ත්‍රස්තවාදියා බස් රථය තුළට පැමිණ මනි මනි වොච් වොච් කියා බස් රථයේ ඇතුළේ සිටි අයට අත පෑවේය. බස් රථයේ සිටි නායක හිමියෝ ඇතුළු අනෙක් කුඩා හිමිවරු තම අත තිබූ මුදල් ත්‍රස්තවාදීන් අතට පත් කළහ.

මේ අතරතුර ප්‍රධාන මාර්ගයේදී බස් රථය නවත්වා එයට ගොඩවුණු ත්‍රස්තවාදියා නැවත වතාවක් බස් රථයට ගොඩ විය. ඔහුගේ අතේ ටී. 56 ගිනි අවියක් විය. එම ගිනි අවිය නැවතත් රියදුරු සමතපාල මහතාගේ හිසට එල්ල කළේය. එයින් උණ්ඩ කීපයක් නිකුත් වූ අතර, ඔහුගේ හිස දෙබෑ කරගෙන උණ්ඩ පිටව ගියේය.

මුදල් එකතු කරගත් ත්‍රස්තවාදියා කඩුව අතට ගෙන මහානායක හිමියන් දෙස වියරුවෙන් බලා කඩුව ගෙන උන්වහන්සේගේ හිසට පහරක් එල්ල කළේය. එම පහර එල්ල කරන අවස්ථාවේදී කඩුව බස් රථයේ වහලයේ වැදීම නිසා එහි සැර බාල විය. හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් අතක් ඉදිරියට දමා එය වැළැක්වීමට උත්සාහ කළත් ත්‍රස්තවාදියාගේ කඩු පහර උන්වහන්ගේ හිසට එල්ල විය. දෙවැනි කඩු පහර එල්ල වූයේ නායක හිමියන්ගේ බෙල්ලටය. කෙසෙල් ගසක් කපා දැමුවාක් මෙන් බස් රථයේ ආසනය උඩට උන්වහන්සේ ඇද වැටුනහ.

ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කරනවාත් සමඟම අරන්තලාවේ යමක් සිදුවන බවට ගම් වැසියන්ට ඒත්තු ගියේය. සමහර පිරිස් වෙඩි හඬ ඇසෙන දෙසට පැමිණියහ. ඒ අතර තුවක්කු අත තිබූ ග්‍රාමාරක්‍ෂකයෝද වූහ. සමහරෙක් මේ පිළිබඳව අවට ඇති කඳවුරවලටද දැනුම් දුන්හ. සුළු මොහොතකදී සිද්ධිය වූ ස්ථානයට යුධ හමුදාව සහ පොලිසිය ළඟා විය. ඒ වන විට බස් රථය තුළ ඇසුනේ මහා සංඝරත්නයේ කෙඳිරිලි හඬ පමණකි. මහා සංඝරත්නයේ ඇඟෙන් ගලා ගිය රක්තවර්ණ රුධිරයෙන් අරන්තලා භූමිය නැහැවී ගියේය. බස් රථය තුළ එකම ලේ විලකි. ආරක්‍ෂක අංශ පළමුව ජීවත්ව සිටි හිමිවරුන් රෝහල් වෙත ගෙන යාමට කටයුතු කළහ. පසුව අපවත් වූ හිමිවරුන් රෝහල වෙත ගෙන ගියේය.

මේ සිදුවීම වන අවස්ථාවේදී දිවි ගලවා ගත් හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් වයස අවුරුදු 15 ක හිමිනමකි. බස් රථයේ පිටුපස දකුණුපස ටයරය උඩ අසුනේ උන්වහන්සේ සිට ඇත. උන්වහන්සේගේ දෙපස වැඩ සිටියේ වාවින්න ගුණවංශ හිමියන් සහ මාපාකඩ විපුලසාර හිමියන්ය. අරන්තලාවේදී බස් රථය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් නවත්වා කැලෑව දෙසට රැගෙන යන විට පුඤ්ඤසාර හිමියන්ට තම මවුපියන් සිහිව නෙතින් කඳුළු කැට ගලාගෙන ගියේය. දැන් දැන් තමන්ට මරණය හිමිවන බව දැනගත් උන්වහන්සේ ගුණවංශ සහ විපුලසාර හිමියන්ට මැදිව හිස පහත් කරගෙන ගුලි විය. නායක හිමියන්ට ත්‍රස්තවාදියා ගැසූ කඩු පහරවල් කිහිපය හොඳින් දුටු පුඤ්ඤසාර හිමියෝද තමන්ගේ ජීවිතයද අද අවසන් වන බව සිතා ගත්හ.

සුළු මොහොතකින් කඩු පහරවල් එල්ල වන්නට පටන් ගත්තේය. චිස් චිස් හඬින් කැපුම් පහරවල් වල ශබ්දය ඇසෙන විට පුඤ්ඤසාර හිමියන්ට තව තවත් හිතට බිය දැනුණි.  දැන් දැන් තමන්ට කඩු පහරවල් වදීවීයැයි සිතමින් සිටියත් එසේ නොවීය.
එක්වරම බස් රථය පිට සිට එල්.ටී.ටී.ඊ. වෙඩි තියන්නට වූහ. ඉන් උණ්ඩ දෙකක් පුඤ්ඤසාර හිමියන්ට වැදුන අතර, උන්වහන්සේගේ කකුලක් පණ නැතුව යාන්නාක් සේ දැනුණි. පුඤ්ඤසාර හිමියන් තවම දෙකට නැමී ඇස් දෙක පියාගෙනය. දැන් වෙඩි පහරවල් සහ ත්‍රස්තවාදීන්ගේ හඬ නෑසෙන නිසා උන්වහන්සේ ඇස් දෙක ඇර බැලූහ.

පුඤ්ඤසාර හිමියන්ගේ ඇඟ හීතල වී ගියේය. තමන්ගේ කකුල් දෙක මත ලේ සහ මස් කැබලි ගොඩක් තිබෙනු දුටු විට පුඤ්ඤසාර හිමියන්ගේ හිත සසල වී ගියේය. තමන්ගේ දෙපස සිටි ගුණවංශ සහ විපුලසාර හිමිවරුන්ගේ හිස් ත්‍රස්තවාදී ප්‍රහාරවලින් දෙබෑ වී ගොස් තිබුණි. එම සිරුරු කැබලි සියල්ල පුඤ්ඤසාර හිමියන්ගේ ඔඩොක්කුවේය. මේ දසුනින් තවත් බිය වූ පුඤ්ඤසාර හිමියෝ නැවතත් ඇස් පියා ගත්හ.

සුළු මොහොතකදී ‘‘හාමුදුරුවනේ බය වෙන්න එපා. අපි හමුදාවෙන්. බස් එකෙන් බහින්න පුළුවන් නම් එළියට එන්න’’ යැයි පැවසීය. එම හඬත් සමඟ පුඤ්ඤසාර හිමියන්ගේ අවධානය එයට යොමු විය. එහෙත් සිංහලෙන් කතා කළේ ත්‍රස්තවාදීන් දැයි යන සැකය උන්වහන්සේගේ හිතට දැනුණ නිසා තවදුරටත් නිහඬව සිටීමට පුඤ්ඤසාර හිමියෝ සිතට ගත්හ. සුළු මොහොතකින් හමුදා භට පිරිස් බස් රථයට නැඟ තුවාල වූ හිමිවරුන් රෝහල වෙත ගෙන යන්නට කටයුතු කළේය. එම අවස්ථාවේදී හැඬූ කඳුලින් සිටි හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන්ද අම්පාර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙම සිද්ධියට මුහුණ දී දිවි ගලවාගත්  පුඤ්ඤසාර හිමියන්ට අදත් ඇවිදීමට නොහැකිව මුළු ජීවිත කාලයම රෝද පිටුවක සිට ජීවිකාව ගෙන යාමට සිදුව ඇත.  

සුසුම්නාවෙහි බරපතළ තුවාල ලබා සිටි උන්වහන්සේ දින 06 ක් අම්පාර මහ රෝහලේ සිටි අතර, පසුව මහනුවර මහ රෝහලට ඇතුළත් කර එහිදි ශල්‍යකර්මයක් කර ඉන් අනතුරුව රාගම සහ කොළඹ ජාතික රෝහලෙන් වසර 06 ක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත.

අද වන විටත් උන්වහන්සේ ගමන් කරන්නේද රෝද පුටුවෙනි.

දකුණු පළාතෙන් සසුන් දිවියට ඇතුළු වූ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ගාල්ල ප්‍රදේශයේ වැඩ වාසය කිරීමට විහාරස්ථාන තිබුණත්, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව විසින් කරන ලද ඉල්ලීමට උන්වහන්සේගේ සිත ඇදී ගියේය. පසුව උන්වහන්සේ අම්පාරට වැඩම කර සමණබැද්ද යන ස්ථානයේ තිබූ ගල් ගුහාවක් උන්වහන්සේගේ නවාතැන කරගනු ලැබූහ.

උන්වහන්සේ නැවතීමට තෝරාගත් ස්ථානය අලි වග වළසුන්ගෙන් පිරුණු ස්ථානයක් වීම නිසා බොහෝ දායකයන් පිරිසක් නායක හිමියන්ට කරදයක් වේ යැයි යන බියෙන් පසුවූහ. මේ තත්ත්වය පිළිබඳව රජයේ නිලධාරීන්ගෙන් එවකට අග්‍රාමාත්‍ය වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දැනුවත් කරනු ලැබීය. වරක් උහන ගුවන් හමුදා කඳවුරට පැමිණි අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඒ අවස්ථාවේදී නායක හිමියන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කර අම්පාර මහ රෝහලට යාබද භූමියේ පිරිවෙනක් ආරම්භ කිරීමට උන්වහන්සේට ඉඩමක් ලබා දීමට කටයුතු කළේය. මෙම කාර්යය සඳහා හිටපු අග්‍රාමාත්‍යවරයා වූ විජයානන්ද දහනායක සහ අමාත්‍යවරයකු වන සී.පී.ද සිල්වා මහතා සම්බන්ධීකරණ කටයුතු කර ඇත.

ඉන් අනතුරුව 1956 වසරේ එළෑඹි සම්බුද්ධ ජයන්තිය නිමිතිකොට ගෙන 1956 වසරේ මැයි මසදී හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් කුඩා පොල් අතු පැළක සංඝාවාසයක් ආරම්භ කළහ. නැගෙනහිර සංවර්ධනය වී ජනපද ආරම්භ වන විට ජනතාවගේ අවශ්‍යතාව තවත් වැඩි විය. කුල දරුවන් සසුන්ගත කළත්, එම භික්‍ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලැබීමට කොළඹ, නුවර, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට යාමට සිදුවන නිසා අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙනක් ආරම්භ කිරීමට ඉන්ද්‍රසාර හිමියෝ කටයුතු කළහ.

ඒ අනුව 1966 දී සාමනේර භික්‍ෂූන් වහන්සේලා 10 නමකගෙන් අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කරනු ලැබීය.
මෙයට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර 40 කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කර දිගාමඩුල්ලේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළහ.

වනගත වී තිබූ නීලගිරි සෑය ආරම්භ කිරීමටද කටයුතු කළහ. සිය ගණනක් හිමිවරුන් ශාසනයට ඇතුළත් කරමින් බෞද්ධ ශාසනය රැක ගැනීමට කටයුතු කළ උන්වහන්සේ 1970 වසරේදී පළමු වරට දිගාමඩුල්ල ඇසළ පෙරහර ආරම්භ කළහ.
උන්වහන්සේගේ ඇවෑමෙන් පසුව මෙහි සියලු වගකීම භාර ගැනීමට සිදු වූයේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කිරිඳිවැල සෝමරතන හිමියන්ටය.

හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන් අපවත් වීමෙන් පසුව සෑම වසරකදීම උන්වහන්සේ ඇතුළු හිමිවරුන් 31 නමක් සිහි කරමින් අනුස්මරණය කිරීම තුළින් තම ආදරණීය ගුරුවරයාට යුතුකම ඉටු කිරීමටද උන්වහන්සේ කටයුතු කර ඇත.

එදා භික්ෂුන් වහන්සේලා දිවිපිදු ස්ථානය  හෑගොඩ ශ්‍රී ඉන්දාසාර නාහිමි ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථායක් ලෙසට අද වෙන විට පරිවර්ථනය වි තිබේ. උන් වහන්සේලා ගමන් ගත් බස් රථයද අද මෙම ස්ථානයේ ස්මාරකයක් හැටියට තබා තිබේ මෙයට අමතරව මේ වෙනවිට අරන්තලාව භික්ෂු ඝාතනය වු ස්ථානයේ පිරිවෙණක් ආරමිභ වී ඇති අතර  එදා ලෙයින් නැහැවුණු අරන්තලාව අද කසාවතින් බැබැලිමට පටන් ගෙන ඇත. එදා අරන්තලා භික්ෂු ඝාතනය වූ අවස්ථාවේ බරපතළ  තුවාල  ලැබු ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ද අද වැඩ සිටින්නේ මෙම භුමියේ වීම විශේෂ සිද්ධියකි. එදා ත්‍රස්තවාදින් ගේ ප්‍රාහාරයට ලක්වූ උන්වහන්සේ අද සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් අම්පාර උදයපුර සාමපුර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටිති. මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගෙන සිටි වලලාල්විට විමලඥාණ හිමියෝ දැනට වසරකට  පෙර අපවත්වූහ.

උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක, අම්පාර මහාවාපි විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුලුකුණාව රජ මහා විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ මෙසේ කීහ.

රටේ පවතින අයහපත් වාතාවරණය නිසා අපි ඉතා චාම් ගුණ සමරු උත්සවයක් පවත්වන්න තීරණය කළා. භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන ලද ස්ථානය ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් හැටියට ආරම්භ  කරන්න අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපිට එදා සහයෝගය දැක්වුවා වර්තමාන ජනාධිපති එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අපට දුන්න සහය අමතක කරන්න බැහැ.

අදින් අවුරුදු 33කට පෙර අපවත්වූ උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක  හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නා හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා 32 නමට නිවන්සුව ප්‍රර්ථනා කරනවා’