(එම්.එස්.එම්. අයුබ්)
කොවිඩ්-19 රෝගය රට තුළ ක්‍රමයෙන් පැතිරෙද්දී සුපුරුදු ලෙස සෑම දෙයක්ම දේශපාලනීකරණය කිරීමේ හා වාර්ගික ඇසින් සියල්ල බැලීමේ ඇතැමුන්ගේ පුරුද්ද යළිත් හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. මෙය රෝගය පාලනය කිරීමේ බලධාරීන්ගේ උත්සාහයට බාධා විය හැකි තත්ත්වයකි.
මෙම රෝගය පැතිරීමේදී බලධාරීන්ගේ තීරණ පමණක් නොව ජනතාවගේ කටයුතු ද විශාල වශයෙන් බලපායි. මේ වන විට මෙම රෝගය ලෝකයේ සෑම රටකටම පැතිර ගොස් තිබේ. ඇතැම් දියුණු රටවලට නොදියුණුයැයි සැලකෙන, නමුත් මෙතෙක් කලක් තමන් විසින් හෙළා දකිනු ලැබූ කියුබාව වැනි රටවල උපකාර පැතීමට සිදුවී ඇත.
මේ තත්ත්වයට හේතු සොයා ලැයිස්තු ගත කළහොත් ඉන් සමහර විට මුල් තැනටම පත්වනු ඇත්තේ ජනතාවගේ වගකීම් විරහිත භාවයයි. කිසිම රටක්, ජාතියක් හෝ ජන කොට්ඨාසයක් මෙහිදී ව්‍යතිරේකයක් වන්නේ නැත. ලෝකයේ සෑම රටකම මෙම වෛරස් රෝගය පැතිරී යන්නේ ඒ නිසාය.
සෑම රටකම හදිසි නීතිය හෝ ‘‘ලොක් ඩවුන්’’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශ වෙන්කොට වසාදැමීම වැනි ක්‍රියාමාර්ග ගනු ලබන්නේ එහෙයිනි. ඇතැම් රටවල මෙම හදිසි නීති අවස්ථා දෙකක් අතර ජනතාවට තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාව දුන්විට සුපිරි වෙළෙඳ සල් යුද පිටි බවට පත් වී ඇති ආකාරය රූපවාහිනි මාධ්‍ය තුළින් දැක ගත හැකි විය.
ශ්‍රී ලංකාවේද තත්ත්වය ඊට වඩා වෙනස් වන්නේ නම් ඉතා සුළුවෙනි. චීනය, දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය වැනි රටවල් මේ මස මුලදී රෝගය තම රටවැසියන් අතර පැතිර යාමේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිටියදී, රෝගය ඒ වන විට ලෝකයේ රටවල් සංඛ්‍යාවෙන් අඩකට වැඩි සංඛ්‍යාවක පැතිර යමින් තිබියදී ශ්‍රී ලංකාව සිටියේ තමන් පරෙස්සම්ය යන හැඟීමෙනි. එහෙත් මාර්තු 11 වැනිදා ශ්‍රී ලංකාවේදී පළමු ශ්‍රී ලාංකික රෝගියා හමුවීමත් සමග සිතා ගැනීමට නොහැකි ලෙස දිනපතාම රෝගීන් හමුවන්නට විය. අපගේ වගකීම් විරහිත භාවයද ප්‍රකාශයට පත්වන්නට පටන් ගත්තේ ඒ සමගය.
රෝගය තරමක් වේගයෙන් පැතිර යන බවත් පෙනෙන්නට තිබුණද ලෝකයේ බරපතළ තත්ත්වයක් ඇති බව ජනමාධ්‍ය වාර්තා කළද, තම ජීවිතයට ඇති අවදානම පිළිබඳ බියක් රට තුළ පැතිර ඇති බවක් මුලදී පෙනුණේ නැත. ජනතාව තුළ දැනුදු එවැනි බියක් එතරම් නැත. රෝගය පැතිරීම අවම කිරීමේ අරමුණෙන් සමාජයේ පුද්ගලයාගෙන් පුද්ගලයා ඈත් කිරීම පිණිස, (සමාජ දුස්ථකරණය යනුවෙන් මේවන විට භාවිතයට පැමිණ ඇති සංකල්පය ක්‍රියාත්මක කරනු පිණිස) ආණ්ඩුව සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත රජයේ කාර්යාල හා පාසල්වලට නිවාඩු දී පෞද්ගලික අංශයටද එය අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය. එවිට බොහෝ දෙනා කළේ එම නිවාඩුව උපයෝගී කරගෙන විනෝද චාරිකා හා වන්දනා ගමන්වල නිරත වීමය. ඔවුනට මෙම නිවාඩුවේ අරමුණ වැටහුණේ නැත.
ඒ සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් එක් රැස්වීමෙන්, කල්ලි ගැසීමෙන් වළකින ලෙස රජය ජනතාවට උපදෙස් දුන්නේය. ඒ මෙම රෝගයේ වාහකය මිනිසුන් වීමත් ඒ නිසා මිනිසුන් එකිනෙකාගෙන් ඈත් කිරීම අත්‍යවශ්‍ය වීමත් නිසාය. එහෙත් ප්‍රකට පාසල් දෙකක් තමන්ගේ වාර්ෂික ක්‍රිකට් තරගය නැවැත්වීමට එකඟ නොවීය. එම ක්‍රීඩා තරගය නැරඹීමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව පසුව හෙළි විය. ඒ නිසා එම තරගය නැරඹීමට ගිය තවත් සිය ගණනකට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වීමට සිදු විය.
එම සිද්ධිය ප්‍රසිද්ධියේ විවේචනය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි. එම ශ්රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියාට රෝගය වැළඳී ඇති බවක් දැන ගන්නට නොලැබුණේ නම් සමහර විට එම සිද්ධිය කිසිවකුගේ අවධානයට ලක් නොවන්නට ඉඩ තිබිණි.
ජනතාවගේ වගකීම් විරහිත භාවය වඩාත් හොඳින් ප්‍රකට වූ තවත් අවස්ථාවක් වූයේ මාර්තු 24 වැනිදා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඇති වූ තත්ත්වයයි. නිවාඩු දීමෙන් පමණක් ජනතාවගේ වගකීම් විරහිතභාවය පාලනය කළ නොහැකි බව වටහා ගත් රජය මාර්තු 20 වැනිදා සවස 6.00 සිට රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය. එය ඉවත් කෙරුණේ 24 වැනිදා උදෑසනයි. ඉන්පසු පිටකොටුව වැනි ස්ථානවල දක්නට ලැබුණේ පොරකෑමකි. ඒ පැය 6ක් වැනි කෙටි කාලයක් තුළ තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන නිවෙස්වලටද යා යුතු හෙයිනි.
එතැනදී ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් තිබුණු බව සැබෑවුවද එම පොරකෑම මරණය බෙදා හදා ගැනීමට දරන පොරකෑමක් බඳුය. මේ රෝගයේ ස්වභාව එයයි. එසේ හැසුරුණේ නිශ්චිත එක් ජන කොට්ඨාසයකට අයත් ජනතාව නොවේ. මේ තත්ත්වයේ බරපතළකම තේරුම් ගත් රජය බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක තුනම අවදානම් කලාපයක් ලෙස නම් කොට එම දිස්ත්‍රික්කවලට එදිනම යළිත් පනවනු ලැබූ ඇඳිරි නීතිය දින නියමක් නැතිව දිගු කළේය. මෙවැනිම තත්ත්වයක් ඇති වීම නිසා පසුව යාපනය දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතියද දින නියමයක් නැතිව දිගු කෙරිණි.
ඇතැම් පුද්ගලයින් ජාතික වනෝද්‍යානවල දඩයම් කිරීමට ඇඳිරි නීතිය යොදා ගෙන තිබිණි. තවත් ඇතැම් තැන්වල මෙම නිහඬ කාලය කසිප්පු පෙරීමට යොදාගෙන තිබිණි. රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරු ඇඳිරි නීති අවසර පත්‍ර ලෙස යොදාගෙන ‘‘ඇඳිරි නීතිය නැරඹීමට’’ ගිය පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනමාධ්‍යයනට පවසා තිබිණි.
ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවල සිට පැමිණි පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට කැඳවාගෙන යාමට බලධාරීන් උත්සාහ කරද්දී ඇතැම් අය ඊට එරෙහිව උද්ඝෝෂණය කළහ. තවත් පිරිසක් විදේශවල සිට පැමිණ ඒ බව බලධාරීන්ට නොදන්වා සිටියහ. එහෙත් සාමාන්‍යයෙන් වරද වරදක් වන්නේ වරද්දා ගත්තොත් පමණය. ඒ නිසා වරද්දාගත් පිරිසක් එකම ජන කොට්ඨාසයකට අයත් වීම දැන් සමාජ ජාලවල සැරිසරන ඇතැමුන්ට ආයුධයක් බවට පත් වී තිබේ.
කෙසේ වෙතත් වෙනත් අයද වැරැදි කිරීම තමන්ට වැරදි කිරීමට බලපත්‍රයකැයි කිසිවකු සිතිය යුතු නැත. මන්දයත් වැරැදි දෙකක් එක් වී නිවැරැදි දෙයක් ඇති නොවන හෙයිනි. එම කරුණ කොවිඩ් -19 රෝගය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතාමත් නිවැරැදිය. මන්දයත් මෙය මාරක රෝගයක් වන හෙයිනි. එක් පුද්ගලයකුගේ වගකීම් විරහිත ක්‍රියාවක් බොහෝ දෙනකුගේ ජීවිතවලට තර්ජනයක් විය හැකිය.
එහෙයින් හදිසි නීතිය තිබියදීත් හොරොව්පොතාන කිව්ලකඩ මුස්ලිම් දේවස්ථානයේ සාමුහික යාඥා පැවැත්වූවන් වැනි අය නීතිය හමුවට පමුණවා දඬුවම් දිය යුතුය. රෝගය පාලනය කර ගැනීමට ලෝකයේ ප්‍රබලම රටවලට පවා නොහැකිව තිබියදී ප්‍රබල රටවල රජවරුන් කුමාරවරුන් පවා රෝගයට බිලිවෙද්දී ලොව පුරා ලක්ෂ ගණනාවකට රෝගය පැතිර තිබියදී, තවත් දස දහස් ගණනක් රෝගයෙන් මිය ගොස් සිටියදී එම තත්ත්වය නොදැක හෝ නොදන්නා සේ කටයුතු කරනවුන් ආගමික ස්ථානවල පරිපාලකයින් විය යුතු නැත. අවංක බව හා තමන් අවට සිටින ජනතාව සම්බන්ධයෙන් වූ තම වගකීම නැති තැන ආගම හිස් ලේබලයක් හා කුහක ක්‍රියාවලියක් පමණි.
කෙසේ වෙතත් මේවා සම්බන්ධයෙන් ජාති ආගම් වශයෙන් බෙදී දබර කර ගන්නවාට වඩා වැදගත් වගකීමක් රටේ සෑම දෙනාගේම කරමත පැටවී තිබේ. මුලදී නම් එම වගකීම වූයේ අපගේත් හා අපගේ පවුලේත්, අපගේ අසල්වැසියන් ගේත් ජීවිත මෙම මාරක රෝගයෙන් බේරා ගැනීමට හැකි අයුරින් කටයුතු කිරීමය.
එහෙත් ඇතැමුන් මෙම වෛරසය ආසාදනය වී ඇති බව හෝ ඒ ගැන සැකයක් ඇති බව හෝ තමන් සමීප දිනෙක විදේශගතව සිට පැමිණි බව හෝ නොදන්වා ඇතැම් රෝහල්වල ප්‍රතිකාර ගන්නට ගොස් වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත අවදානමට ලක් කොට ඇති තත්ත්වය යටතේ අපගේ ප්‍රමුඛතාද එක්තරා ප්‍රමාණයකට වෙනස් විය යුතුව ඇත.
යුද්ධයකදී වටිනාම සාධකය යන්නේ ඒ ඒ පාර්ශ්වයේ යුද යාන්ත්‍රණය හා ඊට සම්බන්ධ වී සිටින පුද්ගලයින්ය. මෙවැනි ලෝක ව්‍යාප්ත වංසංගතයක් මැඩලීමේදී රටක වටිනාම සාධකය වන්නේ සෞඛ්‍ය යාන්ත්‍රණය හා ඊට සම්බන්ධ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. විවිධ පුද්ගලයින්ගේ වගකීම් විරහිත කටයුතු නිසා මෙම පිරිස ද අනතුරට මුහුණ දෙමින් සිටිති.
රෝගය වැළඳුණහොත් මුලදී තමන් කෙතරම් සැඟවී සිටින්නට උත්සාහ කළ ද එය උත්සන්න වුවහොත් අනිවාර්යෙන්ම යා යුතු වන්නේ රෝහලකටය. එසේ යාමේදී වෛද්‍යවරුන් ඔහු කෙරෝනා වෛරසය ආසාදිත වී ඇති බව අනිවාර්යෙන්ම සොයා ගනු ඇත. එහෙයින් තමන් ආසාදිත වී ඇති බව දැන ගතහොත් තම නිවසේ සිටින්නන් නිරෝධායනයට ලක්වීමට සිදුවනු ඇතැයි සිතා රෝගය හෝ රෝග ලක්ෂණ සැඟවීමට උත්සාහ කිරීමකි. ඉන් සිදුවන්නේ තම ජීවිතයද අනතුරට පත් කර ගනිමින්, තම පවුලේ අයගේද ජීවිත අනතුරට පත් කොට හෝ නැතිව ඔවුන් නිරෝධායනයට ලක් කරනවාට අමතරව වෛද්‍ය කාර්ය මණ්ඩලයක ද ජීවිත අනතුරට ලක් කිරීමය. මෙවැනි සරල තර්කයක් වටහා ගත නොහැකි වීම නම් අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයකි.
මේ කාරණයේදී වැඩි පිරිසක් වගකීමෙන් තොරව කටයුතු කිරීම යනු අප අපටම කරගන්නා විනාශයකි. මන්දයත් අප ආරක්ෂා කර ගැනීමට පළමුව වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද දෙවැනුව ආරක්ෂක අංශ ද නිරෝගීව සිටිය යුතුය. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අනතුරට පත් කළහොත් එය සෞඛ්‍ය පද්ධතියම බිඳ වැටීමට හේතු වනු ඇත. එසේ වුවහොත් ශ්‍රී ලංකාව තවත් ඉතාලියක් විය හැකිය.
වෛද්‍යවරුන්, හමුදාවත් හා පොලිසිය මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් දැනට නිවෙස්වලට කොටු වී සිටින ජනතාවට කොතෙක් කීවද තවත් එක් දිනක් ඇඳිරි නීතිය ඉවත් කළහොත් එදිනටද මාර්තු 24 වැනිදා ඇති වූ තත්ත්වය ඇති නොවනු ඇතැයි කිසිවකුටත් සහතිකයක් දිය නොහැකිය. එය වැළැක්වීමට ඇති එකම විකල්පය වන්නේ දැනටමත් ක්‍රියාත්මක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ යාන්ත්‍රණය විධිමත් කිරීම හා ශක්තිමත් කිරීමයි.
හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනමාධ්‍යයට පැවසූ පරිදි මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇති නොවූ හෙයින් මෙම යාන්ත්‍රණයේ අඩුපාඩු තිබිය හැකිය. අඩුපාඩු නිවැරැදි කළ හැක්කේ ඒ ගැන ලැබෙන පැමිණිලි මගිනි.
ඇත්තවශයෙන්ම අඩුපාඩු තිබේ. උදාහරණයක් වශයෙන් එදිනෙදා කුලී වැඩ වැනි රැකියා කළ පිරිස් බොහෝ ප්‍රදේශවල සිටින්නේ කළ හැකි දෙයක් නැතිවය. දීර්ඝ කාලයක් අධි රුධිර පීඩනය වැනි රෝගවලට ඖෂධ ලබා ගැනීම නිසා ඇතැමුන් අවසාන කාලයේදී එම ඖෂධ ලබා ගත්තේ නිතර ඖෂධ ලබා ගන්නා ඖෂධ හල්වලින් බෙහෙත් වට්ටෝරු නැතිවය. දැන් ඔවුන් වෙත බෙහෙත් වට්ටෝරු නැත. එනිසා ඖෂධ ලබා ගන්නට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ.
විධිමත් ක්‍රමයක් තුළ දක්නට නොලැබෙන මෙවැනි ප්‍රශ්නද හඳුනාගෙන වත්මන් යාන්ත්‍රණය ශක්තිමත් කරන්නේ නම් අවසාන කොවිඩ් -19 රෝගියාද සොයා ගන්නා තෙක් වුවද ඇඳිරි නීතිය දීර්ඝ කළ හැකිය.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අපි අපේම වළ කපා ගනිමුද
rana Tuesday, 07 April 2020 10:40 AM
එම්.එස්.එම්. අයුබ්, සංවරයක් නැති , නීති ගරුක බවක් නැති ඔබේම ජාතියට මේ දේ කියා දෙන්න...! ජාති වාදයෙන් තොරව ලියන්නේ .