ප්‍රවීණ දේශපාලනඥයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 79 වැනි ජන්ම දිනය හෙට 20 වැනිදාට යෙදේ.
මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1977 සිට 1988 දක්වා වූ කාලය තුළ ඔහු විසින් සාක්ෂාත් කර ගත් දෑ අතර යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම, ඒ ආශ්‍රිතව විශාල වේලි පහකින් යුතු විශාල ජලාශ පහක් ඉදිකිරීම මගින් රට සහලින් ස්වයංපෝෂිත කරන අතර එහි විදුලි ධාරිතාව දෙගුණ කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ටෙස්ට් වරම් ලබාගෙන මවුබිමට කවදා හෝ ක්‍රිකට් ලෝක ශූරතාව ලබා ගැනීම සඳහා මග විවර කිරීම, ඉඩම් නොමැති දුප්පත් පවුල් සඳහා ඉඩම් ඔප්පු 100,000ට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඔවුන් සවිබල ගැන්වීම, විශේෂයෙන්ම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රධාන ධාරාව තුළ බලය බෙදාහැරීම පිළිගන්නා ඉන්දු - ලංකා ගිවිසුම වෙනුවෙන් පෙනී සිටීමෙන් දේශපාලන අවදානමක් ගැනීම යනාදිය වේ.

එය සිදු වී බොහෝ කාලයක් එනම් නිවැරදිව කිවහොත් වසර 26 ක් ගතව ඇති නමුත්, මහනුවර, දංගොල්ල පිහිටි අපගේ නිවසේ සිට ඔහු පිළිබඳව ආවර්ජනය කරන මට දැනෙනුයේ එය අද ඊයේ සිදු වූවක් මෙනි. එය 1994 ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපය වූ අතර, දිනය ඔක්තෝබර් 24 විය. මෙදින මම මගේ පියාගේ කඩවසම් මුහුණ දෙස බලා සිටියෙමි. ඔහු බවට පත්ව සිටින මිනිසා ගැන මහත් ආඩම්බරයක් දැනෙමින් තිබුණි. ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව අභීතව නැගී සිටිමින් සටන් කරමින් සිටි අතර, 1970 වසරේදී නුවරඑළිය ආසනයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ආරම්භ වූ වසර 24ක් පුරාවට දිවෙන ඔහුගේ දේශපාලන ගමන් මගෙහි දී උගත් සෑම දෙයක්ම කරමින් සිටියේය. ඔහු පෞද්ගලිකව කොතරම් දුරට පැමිණ ඇත්ද සහ ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් හා ආර්ථික වශයෙන් ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම පිළිබඳ සිය දැක්ම පුළුල් කර ඇති ද?- එය 1994 දී අප දුටු සිහිනයකි. සැබැවින්ම එම සිහිනය අප තවමත්ද කිමින් සිටින්නේ ද?

දේශපාලනඥයකු සාර්ථක වන්නේ කුමන මිනුම් දණ්ඩකින් ද? අපට බොහෝ මිනුම්දඬු තිබේ. සාමාන්‍යයෙන් එය ඔබ බලය ලබා ගන්නා ආකාරය සහ යමෙකු භාවිත කරන ආකාරය විය හැකිය. සමාජය සහ ඔබ අවට සිටින ජනතාව නගාසිටුවීම සඳහා බලය භාවිත කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරනු ඇත. අනාගතය දකින්නකුට සාර්ථක දේශපාලනඥයකු යනු “ජාතියක් ගොඩ නගන්නෙකු” විය යුතු බවත්, තම මවුබිම රැගෙන යාමට අවශ්‍ය ගමනාන්තය පිළිබඳ නිවැරැදි දැක්මක් සතු අයෙකු විය යුතු බවත් කිව හැකිය. මාගේ පියා නුවරඑළිය ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඔහුගේ ජනතාවගේ නිපුණතාවන්ට ගරු කළේය. ඔහු අවමංගල්‍ය උත්සව, මංගල උත්සවවලට සහභාගි වී පැය ගණන් මිනිසුන් සමග කතාබහ කරමින් ඔවුන් දැන හඳුනා ගැනීමට ගත කළේය. 70 දශකයේ මුල් භාගයේ දී ඔහු ඒ සඳහා දක්ෂතාවක් දැක්වූ අතර බැරෑරුම් ලෙස නොසිතුව ද දේශපාලන ක්‍රියාවලියම ඔහුගේ අධ්‍යාපනඥයා විය. ඔහු පුළුල් ලෙස පොත්පත් කියැවූ අතර එය ඔහු පිළිබඳව සදාකාලික හැඟීමක් ඇති කළේය. ජෝන් එෆ්. කෙනඩිගේ “ධෛර්යය පිළිබඳ පැතිකඩ” (profiles in courage) යනු එවැනි එක් ග්‍රන්ථයකි. කානගී ගේ මිතුරන් දිනා ගන්නේ කෙසේද සහ මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? (how to win friends and influence people) යන්න තවෙකකි.


ඔහු සිතුවේ ජීවිතය විසින් පිරිනමන අවස්ථාවන් පිළිගැනීමට හැකි තත්ත්වයක ඔහු සිටින බවත් ඔහු ශ්‍රී ලාංකික දේශපාලනඥයකු වන බැවින් ඔහුගේ චින්තනයට සීමා නොතිබිය යුතු බවත්ය. තරුණ වියේදී පවා ඔහුට අවශ්‍ය වූයේ තමාව දියුණු කර ගැනීමටත්, නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමටත්, ඉතා උසස් ගණයේ දේශපාලනඥයකු වීමටත්ය. මෙම ගමන 1970 දී ආරම්භ වූ නමුත් එය සමහර විට 1950 සහ 60 දශකවල මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ආරම්භ වූවා විය හැකිය. නායකයකුගේ ආධ්‍යාත්මය කුඩා කල සිටම ඔහුගේ ජානයන්හිම කොටසක් වන අතර, ප්‍රබල දේ ඉටු කිරීම සඳහා ඔහු ඉපදී ඇති බව ඔහුගේ අභ්‍යන්තරය විසින් හඬ නගමින් සිටිනවා විය හැකිය. ඔහුව හඳුනන සෑම කෙනෙකුම පවසන්නේ ඔහු සුවිශේෂී පුද්ගලයෙකු බවත්, ඔහු තුළ සුවිශේෂී ගුණාංග පැවැති බවත්ය. නායකයෙකුට මගපෙන්වීම සඳහා වෙනත් නායකයන් සිටිය යුතු අතර, ගාමිණී දිසානායකයන් ඒ අතින් වාසනාවන්තයකු විය. ඔහුට ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන යන සුවිශේෂී නායකයන් දෙපළගේ ආභාෂය සහ පෝෂණය නොමඳව ලැබුණි.

වයස අවුරුදු 35 වන විට ඔහු රටේ බලවත්ම මිනිසුන් අතර කෙනෙකු බවට පත්වේ. 1977 දී ඔහු වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබේ. එක්සත් ජාතික පක්ෂය තරුණ, කඩවසම් හා ක්‍රියාශීලී තරුණ නායකයෙකු බිහි කර ඇති බව ජාතිය විසින් අවබෝධ කරගෙන තිබුණි. ජනාධිපති ජයවර්ධන නායකත්වයේ වගකීම ඉදිරියට ගෙන යා හැකි තරුණ නායකයින් හතර දෙනෙකු පමණ හඳුනාගෙන ඔවුන් හට මගපෙන්වීම ලබා දුනි.
ජේ.ආර්. විශාල වෘක්ෂයක් වූ නමුත් ඔහු යටතේ ශක්තිමත් ගස් වැඩීමට ඔහු ඉඩ දුන්නේය. ඔහු ඒවා කපා දැමුවේ නැත. ඒ වෙනුවට ඔහු ඒවාට ජලය දමා ඒවා වැඩීමට සැලැස්වීය. ඔහු කොතරම් විශිෂ්ට මනුෂ්‍යයෙක් ද ? කොතරම් අද්විතීය නායකයෙක්ද ? ඔහුට මිනිසුන් ආදරය කළද, වෛර කළද ඔහු වෙනත් කිසිදු නායකයෙකු විසින් සිදු නොකළ ප්‍රතිසංස්කරණයන් මෙරටෙහි ආරම්භ කරන ලදී.


විවෘත ආර්ථිකය, ජනාධිපති ක්‍රමය, මහපොළ, මහවැලිය, ගම්උදා නිවාස යෝජනා ක්‍රම, විදුලිබල උත්පාදනය සහ ගංගා වේලි පහක් ඉදිකිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා රූපවාහිනිය යනාදිය එකම කාලයක දී ක්‍රියාවට නැගීම. මේ සියල්ල අපේ ඇස් ඉදිරිපිටම සිදු වූ අතර වසර 10 කින් රට විශාල පරිවර්තනයකට ලක්වී ශ්‍රී ලංකාව වෙනස් රටක් බවට පත්විය. මේ කාලයේ මගේ පියා බැරූරුම් ලෙස කල්පනා කරමින් සහ සිය මව්බිම ඉදිරියට යාමේ අභිලාෂය සහිතව ශක්තිමත් හා කල්පනාකාරී ක්‍රියාමාර්ග ගත් ක්‍රියාශීලී මෙන්ම දක්‍ෂ දේශපාලනඥයකු විය. ඔහු දක්ෂ කථිකයෙකි. ඔහු සිය විශිෂ්ට ඉංග්‍රීසි හා සිංහල භාෂා හැසිරවීම තුළින් අසන්නන් වශී කිරීමට සමත් විය. ඔහු ඉන්ද්‍ර ජාලිකයෙකි ! ඔහු ස්පර්ශ කරන යම් දෙයක් රත්‍රං බවට පත්වේ. මෙම මානවකයා 21 වැනි සියවස දක්වා තම මාතෘභූමිය රැගෙන යාමට කැමති මිනිසෙකු බවට පත්ව සිටියේය. ඔහු අපේ තරුණ පරම්පරාව එළඹෙන තොරතුරු තාක්ෂණයේ ඊළඟ රැල්ලට සූදානම් කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක භාවිතය ගැන කතා කරන ලද්දේ එය ප්‍රවණතාවක් බවට පත්වීමටත් පෙර සිටය.


ඔහු තම කාලයට වඩා ඉදිරියෙන් සිටි නායකයෙක් වූ අතර, නායකත්වය දක්වා යන ගමන් මගේ අවසාන පියවර සඳහා සූදානම් වෙමින් සිටියේය. සමහරු ඔහුට ඊර්ෂියා කළහ. මහනුවර සිට පැමිණි මෙම මානවකයා මෙතරම් දුරක් යන්නේ කෙසේදැයි යන්න සහ ඔහු මෙතරම් “ආශිර්වාදලත්” තැනැත්තෙක් වන්නේ කෙසේද යන්නත් ඔවුන්ට සිතා ගත නොහැකි විය. ඔහුට එරෙහිව අතිශය අශිෂ්ඨ කතා පැතිරූහ. ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු සහ ආසියාවේ තුන්වන ධනවත්ම මිනිසා ! එම කතාවලින් සමහරකි. ඒ ශ්‍රී ලංකා දේශපාලනයේ ස්වභාවයයි. අනාගතයේ දී තමාට තවත් බොහෝ දේ ලැබීමට නියමිත බව මැනවින් අවබෝධ කර ගත් ඔහු සන්සුන්ව එහෙත් අධිෂ්ඨානශීලීව ඉදිරියටම ගමන් කළේය.
 
1990 සිට ඔහු පසෙකට කරනු ලැබූ අතර දේශපාලනිකව පළිගැනීමට ගොදුරු විය. ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර, ප්‍රේමදාස රෙජීමය විසින් ඔහුට එරෙහිව ව්‍යාජ නඩුවක් ආරම්භ කරනු ලැබීය. ඔහු පක්‍ෂයට කළ කැපකිරීම් සියල්ල අමතක විය. ශ්‍රී ලංකා දේශපාලනයේ මජරවීම කරලියට පැමිණියේය. ඔහුට එරෙහිව පැය 24 පුරා නිරන්තර සෝදිසි කිරීම සඳහා රහස් පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග නිමක් නැති දඩයමක් ආරම්භ කරනු ලැබීය. 


එහෙත් ඔහු හිස පහත්කොට යටත් නොවීය. “ඔව් සර්” මානසිකත්වය ඔහු තුළ කිසිසේත්ම නොවීය. ඔහු සහ ලලිත් පෙරලා සටන් කළහ. ඔවුහු පීඩනයට බිය නොවූහ. ඔවුන් නොබියව නොපැකිළව නව දේශපාලන ව්‍යාපාරයක් වන ප්‍රජාතාන්ත්‍රික එක්සත් ජාතික පෙරමුණ ආරම්භ කළහ. පුතෙකු ලෙස මම දකින්නේ අධිෂ්ඨානශීලී, සටන්කාමී සහ තමා සමග පාරට බහින්නට ඔහුගේ අනුගාමිකයන් පෙළඹවූ මිනිසෙකුගේ නායකත්වයේ උච්චතම අවස්ථාවයි. සමහරු එසේ කළහ, තවත් සමහරු බිය වූ නමුත් ඔහු සිටින තාක්කල් ඔහු  කිසි විටෙකත් අපට පිටුපා නොයනු ඇතැයි විශ්වාස කළහ. ඔහුගේ මිතුරා ඝාතකයකුගේ වෙඩි උණ්ඩයකින් මරා දැමුණු විට, ඔහු පක්ෂයට පැමිණ පක්ෂය වෙනුවෙන් බොහෝ දේ පරිත්‍යාග කළ අතර, එහි නියෝජ්‍ය නායකයා සහ ජනාධිපති අපේක්‍ෂකයා බවට ද පත් විය. 


ඔහු මිනිසුන් සමග කතා කිරීමට හා ඔවුන් පෙළඹවීමට දක්ෂයෙකි. ඔහු හරිත කොඩිය ඔසවා “මම මේ ධජය රැගෙන දිනුම් කණුව වෙත දිව යන්නෙමි. පැමිණීමට කැමති ඕනෑම කෙනෙකුට මා සමග පැමිණිය හැකිය” යනුවෙන් පැවසුවේය. ඔහු අපේ උපදෙස් නොතැකූ අතර, සිය ගමන ආරම්භ කිරීමට පසුබට නොවීය. එම අවාසනාවන්ත රාත්‍රියේදී, එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් සමකාලීන දේශපාලන පරම්පරාවේ වඩාත්ම දක්ෂ හා ක්‍රියාශීලී දේශපාලනඥයාගේ ජීවිතය පැහැර ගන්නා ලදී. මහ රෝහලට ගිය මට දක්නට ලැබුණේ පපුවේ හා හිසෙහි මූනිස්සම් සිදුරක් බැගින් වූ ඔහුගේ නිසල සිරුරයි. ඔහු අපගේ සහ ඔහුගේ ආරක්ෂකයන්ගේ උපදෙස් පිළිපැද්දේ නම් ඔහු අදටත් ජීවත් වනු ඇත. පුතෙකු ලෙස පමණක් නොව ඔහු කළ දෙයින් අනුප්‍රාණයලත් මානවකයකු ලෙසද මම ඔහුට සමුදුනිමි.


අප්පච්චි ! ඔබ යන ගමන සඳහා ඔබ ගොඩනගාගත් වාහනය වේගයෙන් ක්‍ෂය වී ගියද, අපගේ මාතෘ භූමිය පිළිබඳ ඔබේ පුළුල් හා සුවිශේෂී දැක්ම තවමත් එසේම පවතී.