එල්ලූම් ගස කි‍්‍රයාත්මක කිරීමට තිබූ ප‍්‍රධානම බාධකය වූයේ, අලූගෝසු තනතුර පුරප්පාඩු වීමයි. දැන් ඒ බාධකය මග හරවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ. වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර දෙකේ මෙතෙක් පැවැති අලූගෝසු තනතුරු දෙක සඳහා පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට සියල්ල සූදානම්ය. එල්ලා මැරීම සඳහා භාවිත කරන අඩි 30ක් දිග අඟලක ඝනකම ඇති විශේෂිත වර්ගයේ කඹ දෙකක් පාකිස්ථානයෙන් ආනයනය කර ඇත.

 

ජනමතය

මීට අමතරව එල්ලූම් ගසද පිළිසකර කර ඇත. දැන් එල්ලූම්ගස සූදානම්ය. එල්ලා මැරීම කි‍්‍රයාත්මක කිරීමට බාධා නැත. දැන් මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම යළි අත්හිටුවා ඇත. එහෙත් රටේ අපරාධ ප‍්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතී. මිනීමැරුම්, මත්කුඩු ආදී වශයෙන් රටේ ජනතාවට හානිකර ලෙස හැසිරී අධිකරණයෙන් මරණ දඬුවම නියම වූවන්ට, එම දඬුවම කි‍්‍රයාත්මක නොවීම නිසා රටේ අපරාධ එන්න එන්නම වැඩිවෙන තත්ත්වයක් පවතී. මේ වනවිට මරණ දඬුවම නියමවී සිටින 357 දෙනෙක් බන්ධනාගාරවල සිටිති. මොවුන්ට මරණ දඬුවම හෝ පොදු සමාව ලබාදීම සඳහා ද යෝජනා ඉදිරිපත්වී ඇතත්, මෙතෙක් පැහැදිලි තීන්දුවකට එළඹී නැති තත්ත්වයක් පවතී. මරණ දඬුවම හිමිවූ පුද්ගලයාගේ යහපත් කල් කි‍්‍රයාව මත ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම බවට පත් වෙයි. වසර 20ක කාලයේ ඔහුගේ කල්කි‍්‍රයාව හා එවැනි අයට නීතිය ලිහිල් වීමත් සමග දඬුවම ඉවත් වන අවස්ථාවන් ඇති බවද වාර්තා වේ. මෙහිදී පුද්ගලයකුගේ ජීවිතය බේරීම පිළිබඳව කිසිදු විරෝධයක් නොදක්වමු. එහෙත් වැරැද්දට දඬුවම නොමැති කමින්, තව තවත් පුද්ගලයන් වැරදි කිරීමට පෙළඹීම බරපතල සමාජ ප‍්‍රශ්නයකි. එබැවින් මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතු බව අද පොදු සමාජ මතයක් වී ඇත. මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතුද. අප ඒ පිළිබඳව කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මියගෙන් විමසුවෙමි.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය වසන්තා සුබසිංහ

නීති විරෝධි හා සමාජ විරෝධි හැසිරීම පාලනය කිරීම සඳහා දඬුවම කි‍්‍රයාත්මක කරනු ලබයි. රටේ බලවත් අපරාධ ප‍්‍රධාන වශයෙන් දෙකකට වෙන් කළ හැකිය. එනම් සංවිධානාත්මක අපරාධ හා ක්‍ෂණික අපරාධ වශයෙනි. වෘත්තීය අපරාධ, මහා පරිමාණ ව්‍යාපාරිකයන් කරන අපරාධ, පාතාල කල්ලිවලින් සිදුවන අපරාධ, සංවිධානාත්මක අපරාධ ඝනයට අයත් වේ. සුදු කරපටි අපරාධ වශයෙන්ද මේවායේ ඇතැම් අපරාධ හඳුන්වයි. දෙවැන්න ක්ෂණික අපරාධයි. ක්ෂණිකව, ආවේගශීලීව සිදුවන අපරාධ මේ වර්ගයට අයත් වෙයි. අද අපේ රටේ සිදු කෙරෙන වරදේ බරපතලකම පිළිබඳව දැනීමක් ඇති නොවන තත්ත්වයක් ඇත. වරද එක් පුද්ගලයකුට මුදා හැරියත් එහි පිරිහීම සමස්ත සමාජයටම මුදා හැරේ. දඬුවමේ ස්වභාවය පුද්ගල වැරදි පාලනයට ප‍්‍රමාණවත් නොමැති තත්ත්වයක් පවතී. දඬුවම ජනතාවට නිසි පරිදි නොදැනෙන නිසා වැරදි කිරීමට පෙළඹීමත්, වැරදි සිදු කිරීමත් වෙයි. ඇපදීම, සිරගත කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම අපරාධ මැඩලීමට ප‍්‍රමාණවත් නොවෙන තත්ත්වයක් පවතී. මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව කතිකාවතක් තිබුණත් එය කි‍්‍රයාත්මක වී නැත. දඬුවම කි‍්‍රයාත්මක විය යුත්තේ වැරදිකරුවන්ට දඬුවමක් වශයෙන් හා වැරැද්දට ජනතාව තුළ බිය ඇති කිරීමයි.

 

විශ‍්‍රාමික පොලිස් අධිකාරි නිමල් රත්නායක

ඉන්දියාවේ මුම්බායි නගරයේ ස්ත‍්‍රී දුෂණ ඉහළ ගිය කාලයක් පැවැතිණි. පොලිසියටත් එය නතර කළ නොහැකි විය. එවිට ජනාධිපති අබ්දුල් කලාම් ස්ත‍්‍රී දුෂකයන්ට මරණ දඬුවම පැමිණවීමේ දැඩි තීරණයට එළඹී සිටියේය. ඒ අනුව ස්ත‍්‍රී දුෂණය පිළිබඳව වරදකරුවන් දෙදෙනකුට මරණ දඬුවම ලබා දුනි. ඒ කාලයේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම සඳහා අලූගෝසුවකු නොසිටි නිසා විශ‍්‍රාම ලබා සිටි මුස්ලිම් ජාතික අලූගෝසුවකු කැඳවා මරණ දඬුවම කි‍්‍රයාත්මක කළා. එම සිදුවීමෙන් පසු මුම්බායි නගරයේ ස්ත‍්‍රී දුෂණ අඩුවී තිබුණා. අපේ රටේ සිදුවන මිනීමැරුම් හා අපරාධ ප‍්‍රමාණයෙන් ඉහළ යමින් පවතින්නේ දඬුවම පිළිබඳ බියක් නොමැති නිසයි. මරණ දඬුවම ලබාදීම පිළිබඳව ආගමික විරෝධයක් ඇතිවිය නොහැකියි. මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් උත්සව කාලයේ දී ගියවර පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරුණා. මෙවර පියා තම පුතා ඝාතනය කර තිබුණා. ඝාතන සිදුවීමට ආගමික වශයෙන් විශේෂ වැදගත්කමක් ඇති කාලවල බලපෑමක් නැහැ. එබැවින් මේ රටේ අපරාධ මර්දනය කිරීමට නම් මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතුයි. 2009/2010 වර්ෂවලදී ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ 40 දෙනකුගේ පාපෝච්ඡුාරණ සටහන් කළා. එයින් 16 දෙනෙක්ම දේශපාලන ඝාතන හා මිනීමැරුම් කළ අය. ඔවුන්ට මිනීමැරුම් චෝදනා කළේ නැහැ. ත‍්‍රස්තවාදී පනත යටතේ ඔවුන්ට චෝදනා ඉදිරිපත් කළා පමණයි. ඝාතකයන්ට, දරුවන් අපයෝජනය කරන්නන්ට, ස්ත‍්‍රී දුෂකයන්ට, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට මරණ දඬුවම ලබාදීම අවශ්‍යවෙයි. මේ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් අපරාධ අඩුවනු නොඅනුමානයි.

 

ව්‍යාපාරික නිහාල් එදිරිසූරිය

රටේ සිදුවන අපරාධ රැල්ල අනුව මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතුමයි. නමුත් ඒ සැබෑ අපරාධකරුවන් සඳහා විය යුතුයි. අද බොහෝ විට සිදුවන්නේ සැබෑ වැරදිකරුවන් නීතියට හසු නොවීමයි. බලපුළුවන්කාරයන් බොහෝ විට අසරණයන් බිල්ලට දෙන අවස්ථා ඇති බව නොරහසක්. එබැවින් සැබෑ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතුයි. අද දිනපතා පුවත්පතක් කියවීමේදී මිනිස් ඝාතන අඩුම වශයෙන් තුන හතරක් සිදුවන වාර්තා දක්නට ලැබෙයි. මරණ දඬුවම කි‍්‍රයාත්මක වන්නේ නම් පුද්ගලයන් වැරදි කිරීමට බියක් ඇති කර ගනී. අපරාධ අඩුවීමට එය හේතුවක් වනු ඇත.

 

නීතිඥ චින්තක විජේසූරිය

මැද පෙරදිග යන අපේ ජනතාව ඒ රටේදී වැරදිකරුවන් වන්නේ ඉතාම අඩුවෙනි. එයට හේතුව ඒ රටේ වැරදිවලට දෙන දඬුවම් බොහොම බරපතලයි. මේ රටේදි අධික ලෙස මත්පැන් පාවිච්චි කරන අය මැදපෙරදිග ගිය විට, ඒ රටේ නීතියෙන්ම මත්පැන් පාවිච්චිය නතර කරනවා. ඒ දඬුවමට ඇති බිය නිසයි. නමුත් මේ රටේ නීතිය පිළිබඳව ජනතාව තුළ බියක් සැකයක් නැහැ. හොඳම උදාහරණය රේගු අධිකාරිවරයකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ චූදිතයන් උසාවියෙන් පිටතට ආවේ සිනාසෙමින්. එයට හේතුව ඔවුන් තුළ දඬුවම පිළිබඳව බියක් නොවීමයි. දඬුවමට බිය නම් වැරදිකරනවා අඩුයි. අපේ රටේ අද අපරාධ වැඩියි. දරුණු අපරාධකරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් දරුණු අපරාධ කිරීමේ පාලනයක් ඇතිවෙනවා.
දයාසීලි ලියනගේ