2022 මැයි 6 වැනි දින ජනාධිපතිවරයා විසින් අංක 2278/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී. මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් අත්‍යවශ්‍ය මහජන සැපයුම් පවත්වාගෙන යෑම සඳහාත් හදිසි නීතිය පනවන බව එහි දැක්වෙයි. 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන පරිච්ඡේදයේ 155 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට ඒ සඳහා බලය ඇත. හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක වුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ඡේදයේ 14 (1) ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස ආදි අයිතීන් ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියට යටත්ව ක්‍රියාතමක කළ හැකිය. හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක වුව ව්‍යවස්ථාවෙන් පැහැදිලි කර තිබෙන සීමා යටතේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව අධිකරණ තීන්දු ගණනාවක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කර තිබේ.

1966 එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය සහ තවත් ජාත්‍යන්තර නීති හා සම්මුති ගණනාවක් මගින් සාමකාමී විරෝධය සඳහා ජනතාවට ඇති අයිතිය පිළිගෙන තිබේ. අරලියගහ මැඳුර ඉදිරිපිට පැවති මයිනාගෝගම සහ ගාලුමුවදොර ඉදිරිපිට පැවති ගෝඨා ගෝගම යනු සාමකාමී විරෝධතා පරිශ්‍රයන්ය. ඒවායෙහි රැඳී සිටින තරුණයෝ සාමකාමී අරගලයක යෙදී සිටිති. එසේම ඔවුහු සිය ඉල්ලීම් ද ඉදිරිපත් කරති. ඒවාට පහර දීමට ආරක්ෂක අංශවලට හෝ වෙනත් පුද්ගලයන්ට හෝ කිසිදු අයිතියක් නැත. එබැවින් පිටස්තර පුද්ගලයන් පොලු රැගෙන මේ විරෝධතාවලට කඩා පැන පහර දීම අනුමත කළ නොහැකි ක්‍රියාවකි. එවැනි ක්‍රියා වැළැක්වීම ආරක්ෂක අංශවල වගකීමකි. ඒ සඳහා අවැසි පිරිස් බලය මෙන්ම බුද්ධි අංශ ද ආරක්ෂක අංශ සතුය.

මේ ආකාරයේ සාමකාමී විරෝධතාවලට පහර දීමේ ඉතිහාසයක් ලංකාවට තිබේ. 1988 කාලයේ ආණ්ඩුවට සම්බන්ධ පැරා මිලිටරි කණ්ඩායම් විශේෂයක් ක්‍රියාත්මක විය. එවක දී එම කණ්ඩායම් මුල් වී මහජනයාට පහර දුන් අවස්ථා ඇත.

හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක අතිරේක ආරක්ෂක ඛණ්ඩ කැඳවීමට ද ජනාධිපතිවරයාට බලය තිබේ. පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව කැඳවිය හැකිය. ඊට අදාළ රෙගුලාසි හා නියෝග මේ වන විට ගැසට් කර ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 10 ක් ඇතුළත අනුමැතිය ලබා ගත යුතුය. අදාළ කාලය ඇතුළත සම්මත කර නොගත හොත් සති දෙකක් ඇතුළත ඉබේම අහෝසි වේ. නැවත පැනවීමට නම් මාසයක් සිටිය යුතුය. පාර්ලිමේන්තුව 17 වැනි දින දක්වා කල් තබා තිබේ.

ඕනෑම රටක ආණ්ඩුවක් දිගින් දිගටම පිරිහෙන්නේ නම් සහ අත්‍යවශ්‍ය මහජන සේවා සැපයීම අපහසු නම් එවැනි අවස්ථාවල කළ යුත්තේ සිය දේශපාලන ආධාරකරුවන් කුලප්පු කිරීම හෝ උසිගැන්වීම හෝ නොවේ. ඔවුන්ට ද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තිබේ. එහෙත් එය හදිසි වෛරයක් බවට පත් කර නොගත යුතුය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ ආධාරකරුවන් ඉදිරිපිට පැවති රැස්වීම අවසානයේ ප්‍රකාශ කළ යුතුව තිබුණේ සාමකාමීව විසිර යන ලෙසය. අදාළ රැස්වීමට පැමිණි පිරිසේ සංයුතිය සැලකිල්ලට ගත හොත් මෙරටේ දේශපාලන ක්‍රමය ඇතුළත ව්‍යවස්ථාදායකය මතු නොව සුළු නගර සභා ක්‍රියාකාරීත්වය පවා වෙනස් විය යුතු බව ප්‍රත්‍යක්ෂ වේ. පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරිස් උදෑසන සිය කාර්යාලවලට ගොස් අස්සන් ලේඛනවල අස්සන් තබා අදාළ රැස්වීමට පැමිණ ඇති බවට මාධ්‍යයේ තොරතුරු වාර්තා වෙයි. එසේ ගෙන් වූ පිරිස ආමන්ත්‍රණය කළ පසු ඔවුන්ට සාමකාමීව විසිර යෑමට උපදෙස් දිය යුතුව තිබුණ ද එවැන්නක් සිදු නොවීම ශෝචනීයය.

මේ අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස සමාජයේ සෑම තීරයකින්ම ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් විය. ත්‍රෛනිකායික මහනාහිමිවරු ද ඒ අතර වූහ. වෘත්තීය සමිති ද දිගින් දිගටම විසඳුම් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් සාධනීය ප්‍රතිචාර නොදක්වා තිබීම කනගාටුදායකය. පාලකයන් බලය රඳවා ගැනීමට මෙන්ම අත හැරීමට ද සූදානම් විය යුතුය. එය නොකළ හොත් ජනතාව කෝප වීම වැළැක්විය නොහැකිය. 1988 - 89 කාල සීමාවේ කළ පරිද්දෙන් සාමකාමී ජනතා උද්ඝෝෂණ තවදුරටත් මර්දනයෙන් මැඬ පැවැත්විය නොහැකිය. එදාට සාපේක්ෂව අද තත්ත්වය වෙනස් නිසාය. සමාජ මාධ්‍ය අද බලවත්ය. එබැවින් යළිත් කිව යුත්තේ සාමකාමී විරෝධතාකරුවන්ට කළ පහරදීම පිළිගත නොහැකි බවය.

සාමකාමී විරෝධතාකරුවන්ට පහර එල්ල කළ පිරිස් පැමිණි බස් රථවල තිබී මත්පැන් බෝතල් හමු වූ දසුන් අපි දුටුවෙමු. එයින් පැහැදිලි වන්නේ දේශපාලනඥයන් මැතිවරණ සමයේ සිය ඡන්ද ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් භාවිත කරන උපක්‍රමම මෙහිදී ද භාවිත කර ඇති බවය. ඒ පසුබිමේ මෙය සදාචාරාත්මක දේශපාලනයක් ද යන පැනය ඇසිය යුතුය. අපේ මැතිවරණ ක්‍රමය  සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද එයින් මතු කරයි.

ජනතාවගේ මේ සාමකාමී උද්ඝෝෂණ පවත්වන ස්ථාන පිළිබඳ ආණ්ඩුවට ප්‍රශ්නයක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ අධිකරණයට ගොස් නියෝගයක් ලබා ගැනීමය. ගාලු මුවදොර විරෝධතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් එවැනි ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එය විභාගයට ගැනෙන්නේ අද (10) දිනය. අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඒවා ඉවත් කිරීමට අදාළ අවසරය ලබා ගැනීම වෙනුවට ආධාරකරුවන් යොදවා ඒවාට පහර දීම සිදු කෙරිණි. ප්‍රචණ්ඩත්වය මාධ්‍ය කොට ගෙන එය සිදු විය. ජනතාවට තමන් කැමති තැනකට යාමේ ඒමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබේ. ඒ අනුව එදින අරලියගහ මන්දිරයට රැස් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන්ට වුව ගාලුමුවදොර පිටියට යෑමට ඇති අයිතිය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. එහෙත් ප්‍රතිවිරෝධී මත දරන දෙපිරිසක් එකිනෙකා මුණ ගැසෙන විට ගැටුමක් හට ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. එබැවින් අදාළ පිරිස ගාලුමුවදොර දෙසට යන බවට වන ආරංචිය දැනගත් අවස්ථාවේ එම ගමන වැළැක්වීම පිණිස තාවකාලික බට යොදා එය අවහිර කළ හැකිව තිබිණි. එහෙත් එවැනි ක්‍රියා මාර්ගයක්වත් අවම තරමින් ගෙන නොතිබිණි. ආරක්ෂක අංශවලට එම තත්ත්වය වළක්වා ගත හැකිව තිබිණි. ප්‍රචණ්ඩ හැසිරීමට උඩ ගෙඩි දුන් පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතුය. දැන් වුව නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකළ හොත් මේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට පිළිවන.

සමාජය සන්සුන් විය යුතුය. ඒ සඳහා අපි වෛරයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් මිදිය යුතු වෙමු. මේ ගැටුමට අදාළ වීඩියෝ ජනතාව සහ ජාත්‍යන්තරය අත තිබේ. 1995 සාක්ෂි විශේෂ ප්‍රතිපාදන පනත 1999 දී සංශෝධනය කෙරිණි. දෘශ්‍ය, ශ්‍රව්‍ය සහ සීසීටීවි තැටිගත සාක්ෂිවලට අදාළ ප්‍රතිපාදන එමගින් දක්වා තිබේ. පහර දුන් අය සහ ඊට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් පවතින සාක්ෂි එකතු කර පොලිස් විමර්ශන හරහා අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු විය යුතුය. පහර දීමට පැමිණි පිරිසෙන් බහුතරය ප්‍රාදේශීය සභා සභිකයන් බව පැවසේ. මහජනතාවට පහර දීමට ඔවුන්ට විශේෂ බලයක් නැත. එබැවින් මේ සිද්ධියට සම්බන්ධ සියලු පිරිස් ගැන විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගත යුතුය.

මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ලංකාව ලෝකය හමුවේ හෑල්ලු වේ. මේ වන විටත් මෙම සිද්ධිය ජාත්‍යන්තරයට ගොස් තිබේ. එය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. ලබන ජූනි මසදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආරම්භ වෙයි. එහිදී මේ සිද්ධිය මාතෘකාවක් වීමට ඉඩ තිබේ. මේ වසරේ මාර්තු මස පැවති එහි සැසිවාරයේ දී ලංකාව පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාවේ දී ප්‍රකාශ වූයේ ලංකාණ්ඩුව මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බවය. අප ඒවා නොතකන බව ඔප්පු කරන විට තවත් ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇත. යුරෝපා සංගමය මගින් ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය වුව ඉවත් කිරීමට ඉඩ ඇත.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය මේ වන විට ඉවත් වී තිබේ. එය හොඳ දෙයකි. එබැවින් දැන් ප්‍රචණ්ඩත්වය නවතා අලුත් පාලනයක් බිහි කර ගත හැකිය. දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය ද ප්‍රශ්න කළ යුතුය. ඒ අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන නිසාය.

මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ ආගමික නායකයන් ආදී සියලු පිරිස් එකතු විය යුතුය. භාවිතයට ගත හැකි විදේශ සංචිත තිබෙන්නේ ඩොලර් මිලියන 40 ගණනකි. මේ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් කිසිදු රටක් ආධාර නොදෙනු ඇත. මෙය 1983 කළු ජූලියේ දී දිගෑදුණු ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් කරා ගමන් කිරීම වැළැක්විය යුතුය. ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නේ කවුරු වුව ඔවුන් විසුරුවා හැරිය යුතුය. ඓතිහාසික සංසිද්ධීවලින් පාඩම් ඉගෙන ගෙන අප අලුත් තැනකට යා යුතුය. ජාත්‍යන්තරය දිනා ගත යුතුය.

මෙය ඒ සඳහා හොඳ අවස්ථාවකි. කතානායකවරයා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. සියලු පක්ෂ සම්බන්ධ වන අන්තර්වාර ආණ්ඩුවක් හෝ භාරකාර ආණ්ඩුවක් හෝ පිහිටු විය යුතුය. එවැනි ආණ්ඩු ව්‍යුහයක් ගොඩ නැගුවහොත් විධායක ජනාධිපතිවරයාගේ බලය ස්වයංව පාලනයකට ලක් වේ. පසුව අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගෙනා හැකිය. ඊට පළමුව කළ යුත්තේ රට ගොඩ නැගීමය.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ලැයිස්තු සියලු මන්ත්‍රීවරුන් ඉවත් වී ඒ වෙනුවට සියයට 40 ක පමණ තරුණ පාර්ලිමේන්තු නියෝජනයක් ඇති කිරීම සඳහා දේශපාලන පක්ෂ සහාය විය යුතුය. අප එය නොකළ හොත් ලංකාව තවත් රුවන්ඩාවක් සියරා ලියෝන් රටක් බවට පත් වීමට පිළිවන. එම රටවල ගැටුම් පැවතියේ ජනවාර්ගික කණ්ඩායම් අතර වුවත් ලංකාවේ ගැටුම් පවතින්නේ දේශපාලන පක්ෂ අතරය. එය වහාම නතර කළ යුතුය. සමාජය සන්සුන් වූවාට පසු රට ගොඩ නැගීමේ කර්තව්‍ය ආරම්භ කළ හැකිය.

දේශපාලනඥයන්ගේ නිවාස පක්ෂ කාර්යාල සහ දේපළවලට හානි කිරීමේ සිදුවීම් ගණනාවක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. එම තත්ත්වය සුළුකොට තැකිය නොහැකිය. ආණ්ඩුවක් නොමැතිවීම නිසා මෙවැනි තත්ත්වයක් හට ගෙන තිබේ. ජනතා ප්‍රකෝපය මෙතරම් වර්ධනය වුයේ මේ ආණ්ඩුවේ වරදිනි. නිසි අවස්ථාවේ ප්‍රශ්න විසඳීම වෙනුවට කල්මැරීම හේතුවෙනි. යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් ආදී අවිද්‍යාත්මක විශ්වාස සහ ඇදහිලි පසුපස ගියා විනා විද්‍යාත්මක ප්‍රවේශයකින් ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළේ නැත. වහාම මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගත යුතුය. එහි ඉහළ තරුණ නියෝජනයක් තිබීම ද අත්‍යවශ්‍යය.

ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙමින් තිබේ. මේ තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් හයිටියේ, සෝමාලියාවේ, ලිබියාවේ සහ වෙනිසියුලාවේ ඇති වූ තත්ත්වය හා සමාන තත්ත්වයක් ලංකාවේ ද ඇති විය හැකිය. ඒ ආකාරයේ අරාජිකත්වයකට රට ගෙන යෑම වැළැක්විය යුතුය. නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි ගරු කළ යුතු වෙමු.  ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වන විට ජනතාවගෙන් නීතියට ගරු කිරීමක් අපේක්ෂා කළ නොහැකිය. එබැවින් අප පළමුව මේ දැවෙන ආර්ථික ප්‍රශ්නයට පිළියමක් යෙදිය යුතුය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 20කට වැඩි පිරිසක් සිටිති. ස්ථාවර ආණ්ඩුවක් බලයට පත් වුවහොත් ඔවුන් ලංකාවට ඩොලර් එවනු ඇත. දෙමළ ඩයස්පෝරාව සතුව ද අතිවිශාල අරමුදල් ප්‍රමාණයක් තිබේ. එනිසා පරණ තරහ මරහ අමතක කර අප ඔවුන්ගෙන් ද උපකාර ගැනීමට කටයුතු කළ යුතුය. සියලු කණ්ඩායම් එකතු කරගෙන මානව හිමිකම්වලට ගරු කරමින් අප ඉදිරියට ගියහොත් නීතියේ ආධිපත්‍යය ඉබේම ගොඩනැගෙනු ඇත.

ආර්ථික ස්ථායීකරණය සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුය. අයිතිවාසිකම් පරිච්ඡේදයට ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් ඇතුළත් කිරීමත් සමානුපාතික නියෝජන ක්‍රමය මුළුමනින්ම ඉවත් කර මිශ්‍ර නියෝජන ක්‍රමයක් ඇතිකර පාර්ලිමේන්තුවේ සියයට 40 ක තරුණ නියෝජනයක් සහතික කිරීමත් පක්ෂ මාරු කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා අහෝසි කිරීමත් කළ යුතුය. එසේම වගකීම් නිසි පරිදි ඉටු නොකරන මහජන නියෝජිතයන් නැවත කැඳවීමට (recall) අදාළ විධිවිධාන ගෙන ඒම ද වැදගත්ය.

 

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)