ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ

ජනපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. එම පසුබිමේ විවිධ මාතෘකා ඔස්සේ එළි බසින කතන්දර රාශියකි. රටේ ප්‍රමුඛ අංශ සම්බන්ධයෙන් අපේක්ෂක මට්ටමෙන් දක්වන අදහස් ද සමාජයට ගලා යමින් තිබේ. ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්තිද එළිබසින දින වකවානු ප්‍රකාශයට පත්ව අවසන්ය. පසුගිය ජනපතිවරණයේ දී මෙන්ම මෙවරද අධ්‍යාපනය ප්‍රධාන මාතෘකාවකි. මෙරට ශිෂ්‍ය ප්‍රජාව අධ්‍යාපනයට දක්වන නැඹුරුව අපට ඇති වටිනාකමකි.

අධ්‍යාපනයට නැඹුරුවී ඉහළින් විභාග සමත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයක් හැටියට කවරාකාරයෙන් ආධාරයක් සහයෝගයක් ලබාදිය යුතුද යන්න සම්බන්ධ කතිකාවක් ගෙවුණු වසර හැත්තෑවක කාලයේ නිර්මාණයවී නැත.

මෙරට තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයකි. යම් අයකිරීමක් කෙරෙන්නේ පශ්චාත් උපාධි සඳහා පමණි. එයද සුළු අයකිරීමකි. කෙසේ වුවත් මේ හේතුවෙන් රටේ සාරක්ෂතාව ඉහළටම පැමිණ තිබේ. එහෙත් අධ්‍යාපනය දියුණු කර රට දියුණු කරන ක්‍රමවේදයකට මෙරට තවමත් නැඹුරුවී නැත. ඉදිරි වසර ගණනාවකදී නිර්මාණය වෙන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකි. මානව සම්පත කළමනාකරණය ද බෙහෙවින් වැදගත්ය. එනිසා ඉදිරියේදී පත්වන  නායකත්වයට රට කළමනාකරණය කිරීමේ හැකියාව තිබිය යුතුය. එසේ නැතිව ඇඟේ හයියෙන් රට පාලනය කිරීමට ඉදිරියේදී හැකියාවක් නැත. ඒ සඳහා බලපාන හේතු විවිධය.

අධ්‍යාපනයට කෙරෙන ආයෝජනය ප්‍රමාණවත් නොවන බව කලක සිට පවතින අදහසකි. එනිසා අධ්‍යාපනයට කරන ආයෝජනය ඉහළ නැංවිය යුතු බවට වසර ගණනාවක සිට වෘත්තිකයන් වශයෙන් අපි ඉල්ලීම් කළෙමු. දැනට අධ්‍යාපනයට වෙන් කෙරෙන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට දෙකක පමණ ප්‍රතිශතයකි. මෙය සියයට හය දක්වා වැඩි විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රජාව සහ වෘත්තිකයන් අතර තිබෙන අදහසකි. සියයට හය සාමාන්‍යයෙන් ලෝකයේ තිබෙන දර්ශකයක් වුවද එම ප්‍රතිශතය ලබාදී ඇත්තේ දුප්පත් රටවල්වලටය. ලංකාව වැනි රටවලටද අධ්‍යාපනයට සියයට හයක් ලබාදිය හැකිනම් හොඳය. බොහෝ විට එවැන්නක් ප්‍රායෝගික නොවන්නට පුළුවන. එහෙත් අවම වශයෙන් සියයට තුනක හතරක ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් කළ හැකිනම් අධ්‍යාපනයට යෙදෙන ප්‍රමාණය වැඩිකර මානව සම්පත කළමනාකරණය කරගෙන දැනුම පදනම් කරගත් ආර්ථිකයකට පහසුවෙන් ගමන් කිරීමට අපට හැකියාව තිබේ.

මුල් වසර කීපයේදී අධ්‍යාපනයට ඉහළ ආයෝජනයක් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

අධ්‍යාපනයට ඉහළ ආයෝජනයක් කරන විට ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට හෝ හතරකට එම ආයෝජනය බෙදී යා යුතුය. පූර්ව ළමාවිය අධ්‍යාපනය ඉන් එකකි. මෙම අංශයේ යම් කළමනාකරණයක් කර ඒ හරහා ඉදිරි පියවරක් තැබිය යුතුය. දැනට ලෝකයේ අනෙක් රටවල් පූර්ව ළමාවිය කළමනාකරණය කරන්නේ කෙසේද? ඒවායේ සිදුව ඇති වෙනස්කම් අවධානයට ගත යුතුය. එවැනි වෙනස්කම් තවමත් මෙරට සිදුව නැත. මේ නිසා මීළඟට පත්වන නායකයකුට සහ රජයකට රට දියුණු කිරීමට අවශ්‍ය නම්  මේ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ යුතුමය.

පාසල් අධ්‍යාපනය අනෙක් අංශයයි. පාසල් අධ්‍යාපනයට වාර්ෂිකව සාමාන්‍යයෙන් යොමුවන සංඛ්‍යාව ලක්ෂ තුනහමාරත් ලක්ෂ හතරත් අතරය. එහෙත් ඉහළ විභාගවලදී ඉහළ දස්කම් දක්වන්නේ සීමිත වූ පාසල් සංඛ්‍යාවක සිසුන් පමණි. රටේ ඇති පාසල් සංඛ්‍යාව දස දහසක් පමණය. එහෙත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් වන්නේ පාසල් 200කින් පමණි. රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළුවන සිසුන් බහුතරය නිර්මාණය කෙරෙන්නේ මේ අතරින් පාසල් හැත්තෑවකිනි.

උසස් පෙළ පවතින ඇතැම් පාසල්වලින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් වන්නේ ඉතාම සීමිතවය. එවන් ඇතැම් පාසල්වලින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත්ව නැත. එනිසා පාසල් පද්ධතිය යම් වෙනසකට භාජනය කිරීමේ අවශ්‍යතාව තිබේ. ඒ සමගම පාසල් පද්ධතියෙන් දැනුම පමණක් ලබාදී දැනුම පමණක් මනින විභාග ක්‍රමය දැඩි වෙනසකට ලක් කිරීමේ වුවමනාවක්ද තිබේ. ජාත්‍යන්තර මට්ටමේ විභාග මෙහිදී සැලකිල්ලට ගතයුතුය. එහෙත් ඒවායේ සමානකම් අවශ්‍ය නැත. ළමයින් දැඩි මානසික පීඩනයකට ලක් කරන විභාග ක්‍රමය යම්තාක් දුරකට වෙනස්කර ගැනීම අත්‍යවශ්‍යය.

විභාගවලදී දරුවන්ට තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට මෙරට ඉඩ දෙන්නේ නැත. ගණක යන්ත්‍රයක්වත් විභාගවලදී භාවිතා කිරීමට මෙරට අවකාශකයක් නැත. එනිසා විභාගවලදී යම් ක්‍රමවේදයක් සකසා ගැනීමේ වුවමනාව තිබේ. අවම වශයෙන් තාක්ෂණ විෂය ධාරාව ගණකාධිකරණය, සංයුක්ත ගණිතය ආදී විෂයවලදීවත් ගණක යන්ත්‍ර භාවිතයට ඉඩදී ඒ හරහා තාක්ෂණික දැනුමෙන් පිරිපුන් දරු පරපුරක් නිර්මාණය කර ගැනීම කෙරේ අවධානය යොමු විය යුතුය. ටැබ් යන්ත්‍ර ලබාදීමට පෙර කළ යුත්තේ දරුවන්ට ගණක යන්ත්‍ර ලබාදී දරුවන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමය. දැනට කතාවන stem අධ්‍යාපනය නැතිනම් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන අංශවලට වැඩි බරක් තැබීමද වුවමනාය. ඊට අමතරව සමාජ විද්‍යා විෂයවලටද යම් බරක් තැබිය යුතුය. මේ පසුබිමේදී පාසල් අධ්‍යාපන මට්ටමේදී වැඩි ආයෝජනයක් කිරීමට සිදුවන බව පැහැදිලිය. පවතින විෂය නිර්දේශවල අඩුලුහුඬුකම් ඒවායේ බර ප්‍රමාණය සැලකිල්ලට ගෙන ශිෂ්‍යයන්ට හිතකර වන ආකාරය අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ගැනීමට අපට සිදුවනු ඇත. ඒ සඳහා විශාල ආයෝජනයක් කළ යුතුය.

උසස් පෙළ සමත් වන සංඛ්‍යාවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ කී දෙනාද? මේ සංඛ්‍යාව අවම වශයෙන් වසරකින් දෙකකින් යම් ප්‍රතිශතයකින් වැඩිකර ගැනීමේ හැකියාව අපට තිබෙනවාද? ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කිරීමට සිදුවන බව පැහැදිලිය. මේ කටයුත්තේදී ලෝකයේ ඉල්ලුමක් තිබෙන තොරතුරු තාක්ෂණය පරිගණකය විද්‍යාව, හෙද යන ක්ෂේත්‍ර වෙනුවෙන් ඉහළ ආයෝජනයක් කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත. විශ්වවිද්‍යාවලින් සහ අනෙක් උසස් අධ්‍යාපන ආයතනවලින් පිටවන සිසුන් ඉහළ මට්ටමකට ගෙන යාමට හැකි වුවහොත් එය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අයටද ප්‍රයෝජනවක් විය හැකිය.

මෙරට උසස් අධ්‍යාපන ආයතනවල ඇති ඇතැම් පාඨමාලා සෑහෙන කාලයකින් වෙනස් කිරීම්වලට ලක්ව නැත. දැනට කෙරෙන්නේ විශ්වවිද්‍යාල මගින් පාඨමාලා හඳුන්වාදී ඒවා දරුවන්ට උගැන්වීමය. එසේ නොකර ලෝක මට්ටම ගවේෂණය කර ඉදිරි කාලයේදී ලෝකයට අවශ්‍ය වන වෘත්ති හඳුනාගෙන ඒවාට අවශ්‍ය උපාධිධාරීන්  මෙරටදී බිහිකළ හැකි නම් අපට අවශ්‍ය ඉලක්ක වෙත පහසුවෙන් ළඟා වන්නට පුළුවන. දැනට අපේ ආර්ථිකය රැඳී පවතින්නේ නුපුහුණු ශ්‍රමය මතය. මැදපෙරදිග යන පිරිස මෙයට උදාහරණයකි. මෙතැනින් උඩට යාමට නම් පුහුණු නිපුණතාවක් ඇති ශ්‍රමිකයන් මත මෙරට ආර්ථිකය රඳා පවතින තත්ත්වයක් නිර්මාණය කරගත යුතුයි. දැනුමෙන් පිරි  පිරිස්වලට විදේශ රැකියා අවකාශ විවර කිරීම අවශ්‍යය. මේ කාරණා දෙස බලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සුවිශේෂී වෙනසක් කිරීමේ වුවමනාව තිබේ.

දැනට පවත්නා විශ්වවිද්‍යාල 15 සියලුම භෞතික හා මානව සම්පත් අඩුපාඩු මානව සම්පතට උසස් අධ්‍යාපනයට පිවිසීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කරගෙන අධ්‍යයන කටයුතු වෙනුවෙන් විශිෂ්ට මානව සම්පතක් නිර්මාණය කර ගැනීමටද අවශ්‍යය. මේ සියල්ල කළමනාකරණය කර ගැනීමේ වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පැවරෙනු ඇත. ඒ සමඟම හඳුනාගත් ක්ෂේත්‍ර වෙනුවෙන් අලුතෙන් විශ්වවිද්‍යාල  නිර්මාණය කර ගැනීමද අවශ්‍යය. ක්‍රීඩාව, භාෂාව සහ දේශීය වෛද්‍ය ආදී අංශ වෙනුවෙන් විශ්වවිද්‍යාල ස්ථාපිත කර ගැනීමට අවධානය යොමුකළ යුතුය. ඒවා ස්ථාපිත කරන්නේ කුමන ප්‍රදේශවලද යන්නත් නිශ්චය කර ගැනීම අවශ්‍යය. මේ හරහාද සිසුන් වැඩි පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දොරටු විවර කිරීමට පුළුවන.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවන පිරිසක් ද සිටිති. මෙවන් පිරිසක් ඉලක්ක කර දැනටමත් ඩිප්ලෝමා  සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා පවතී. මෙම පාඨමාලාවලදී දැනට ලබාදෙන සහතිකය වෙනුවට ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක් ලබාදිය හැකිනම් නිපුණත්වයක් සහිත පිරිසකට දොරටු විවර කිරීමට පුළුවන. නිපුණත්වය සහිත ඩිප්ලෝමාධාරීන්ට ද අද ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබේ. එනිසා කාර්මික විද්‍යාල සහ තාක්ෂණික විද්‍යාල සියල්ලේම ඉදිරි කාලයේදී යම් පරිවර්තනයක්  කර දේශීය  සහ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය වන නිපුණතාවෙන් හෙබි තාක්ෂණවේදීන් බිහිකර ගත යුතුය. මේ හරහා නිපුණතාව සහිත උසස් ඩිප්ලෝමාධාරීන් විවිධ ආයතනවලට බඳවා ගැනීමට පුළුවන. මේ ක්‍රියාවලියද රටක් වශයෙන් ඉදිරියට යාමේදී බෙහෙවින්ම වැදගත්ය.

මේ ආකාරයට දැනුම කේන්ද්‍රකර ගනිමින් නැතිනම් දැනුම පදනම් කරගනිමින් ආර්ථිකය නිර්මාණය කර ගැනීමට ඉහත සඳහන් කළ පියවර කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන යන කාණ්ඩ තුන යටතේ නිශ්චිත වැඩපිළිවෙළක් ඉක්මනින් නිර්මාණය කරගත යුතුය. වසර දෙකකින් පහකින් සහ දහයකින් අපේ ඉලක්කගත තත්ත්වය දෙස බලා දස වසරක අධ්‍යාපන ප්‍රතිපත්ති ඇතිකර ඒ අනුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළොත් දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට ගමන් කිරීමට පුළුවන.

ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් විශ්වවිද්‍යාලවලට ගියවිට ඉහළම දක්ෂතා දක්වති. එයින් හැඟෙන්නේ පවත්නා අධ්‍යාපන ක්‍රමයේ පවතින උසස් මට්ටමය. එහෙත් පාසල්වලත් විශ්වවිද්‍යාලවල ඇතැම් පීඨ හැරුණුකොට තවමත් ලබාදන්නේ දැනුම පමණි. වෘත්තීමය උපාධි නොවන පාඨමාලාවලදී මේ තත්ත්වය විශේෂයෙන් දැකගත හැකිය. දැනුම ලබාදීමට අමතරව දැනුම ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය විශ්වවිද්‍යාල සිසුන්ට කියාදිය යුතුය.

ඒ වගේම වත්මන් විශ්වවිද්‍යාල  ශිෂ්‍යයා සම්බන්ධයෙන් ද දැඩිව අවධානය යොමුකළ යුතු තත්ත්වයක් තිබේ. විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන අපහසුතා සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ විසඳුම් සොයාගත යුතුය. විශේෂයෙන්ම නේවාසිකාගාර හිඟකම වඩා හොඳ කෑම වේලක් විශ්වවිද්‍යාලය තුළදී ලබාදීම මහපොළ ශිෂ්‍යාධාර සාධාරණ මට්ටමකට හැකිනම් ඔසවා තැබීම දෙවැනි සහ තෙවැනි වසර සිසුන්ට නේවාසිකාගාර නොලැබෙන නිසා ඔවුන් දිරි ගැන්වීමකට විශේෂ දීමනාවක් ලබාදීම යනාදිය ඔස්සේ මොවුන් වැඩි වශයෙන් අධ්‍යාපනයට නැඹුරු කිරීමට හැකිය. නිදහස් අධ්‍යාපනය අහිමිවේය යන අදහසක් විශ්වවිද්‍යාල සිසුන් තුළ පවතී. කිසිදු ලෙසකින්වත් නිදහස් අධ්‍යාපනය අහිමි නොවන බව මුලින්ම ඒ අයට වටහාදිය යුතුය. ඒ සමඟම අවශ්‍යතාව ඇති මුදල් යම් පමණට තිබෙන අයට කැමැත්ත අනුව රාජ්‍ය නොවන ආයතනවලට ඇතුළුවී අධ්‍යාපනය ලැබීමේ අවකාශය ස්ථාපිත කළ හැකිය. මෙහිදී තොරතුරු තාක්ෂණය, හෙද කළමනාකරණය යනාදී අංශ තෝරා ගැනීමට වැඩි බර තැබීමක් අවශ්‍යය.

එවන් ක්‍රියාවලියක් ඔස්සේ රටේ අධ්‍යාපනය ඉහළ තැනකට ඔසවා තබන්නට පුළුවන. කෙසේ වුවත් ඉදිරි වසර පහක කාලයේදී අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් විය යුතුය. එසේ වුවොත් සැවොම බලාපොරොත්තු වන නව සහශ්‍රකයේ දැනුම පදනම් කරගත් ආර්ථිකයට මේ රට හැරවීමට පුළුවන. ඒ ඔස්සේ රටේ ආර්ථිකය දියුණු වනු ඇත. එම පසුබිමේදී ජනතාවට වැඩි වැඩියෙන්  සහන සැලසීමට හැකිය. දැනටම යෝජනාවී ඇති ආකාරයට සියයට 8ක් දක්වා වැට් බද්ද අඩු කිරීමට හැකියාවක් තිබේනම් වේතන මත අය කෙරෙන බදු ඉවත් කිරීම යනාදී අංශ වෙත යොමුවිය හැකිය. මෙවන් පියවරවලට යාමට හැකි වුවොත් ඉදිරි කාලය ජනතාවට රට ගැන හැඟීමෙන් ගත කිරීමට පුළුවන.

විශ්වවිද්‍යාලවලට ඇතුළුවන පිරිස සහ උසස් ඩිප්ලෝමා  සඳහා සුදුසුකම් ලබන පිරිස හැරුණු විට තවත් පිරිසක් ඉතිරි වෙති. මේ පිරිස සම්බන්ධයෙන්ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අවධානය යොමුවිය යුතුය. දැනට ඇතැම් පෞද්ගලික ආයතනවලින් ලබාදෙන උපාධියට රජය හරහා වටිනාකමක් ලබාදිය හැකියි. ඒ ඔස්සේ ඉදිරියට යාමට හැකියාව තිබේ. ඒ වගේම සාමාන්‍ය පෙළ අසමත් වන අයද සිටිති. වෘත්තීය පුහුණුව බොහෝ විට වැදගත් වන්නේ මේ පිරිසටය.

වෘත්තීය පුහුණුවට වෙනම අමාත්‍යාංශයක්ද තිබේ. වෘත්තීය පුහුණුව ලබන අයගේ සහතිකයට ඉහළ වටිනාකමක් ලබාදිය යුතුය. රජයක් වශයෙන් මේ අංශය අලෙවි කරගත් ක්‍රමය ප්‍රමාණවත් නැත. වෘත්තීය පුහුණු ආයතනවලින් ලැබෙන සහතිකයට කර්මාන්ත ක්ෂේත්‍රයේදී ඉහළ වටිනාකමක් ඇති බව ජනතාව අතර ජනප්‍රිය කළ යුතුය. සාධාරණ වැටුපකට රැකියාවේ යෙදිය  හැකිය යන මතය වෘත්තීය පුහුණුව ලබන්නන්ට වටහා දිය යුතුය. රාජ්‍ය අංශයේ කුඩා ප්‍රමාණයකටත් කර්මාන්ත හා සේවා අංශවල වැඩි පිරිසකටත් රැකියා අවස්ථා තිබෙන බවට විශ්වාසය සමාජයේ ගොඩනඟන්නට පුළුවන. ඒ වෙනුවෙන් යම් ආයෝජනයක් කළ හැකිය. සන්නාමකරණයට රජයක් වශයෙන් ආයෝජනය කෙරෙන්නේ නැත. යම් ගැටලු පවතින්නේ ඒ නිසාය. යම් නවීකරණයක් ඔස්සේ බොහෝ ප්‍රශ්න විසඳාගත හැකිය.

සටහන
චමින්ද මුණසිංහ