සූරියකන්ද මෝනිං සයිඩ්හි දොළක තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාට උපහාරයක් ලෙස නම් කළ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි ලෙස නම් කර ඇති මේ නව කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එය අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි හෙවත් ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ විශේෂයක් ද වෙයි. මෙය දැනට හමුවී අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණි. මෙම ස්ථානය පිහිටියේ සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙසේය.
ගාල්ල හා මාතර දිස්ත්‍රික් දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී මේ කෙකටිය විශේෂය හමු වූ බව එම සංගමයේ සභාපති පරිසරවේදී මධුර ද සිල්වා මහතා පවසයි. එය මෙතකේ ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි සිතූ ඔවුන් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන ලදී. ඉන් වසර හතරකට පසුව 2016 අගෝස්තු මාසයේ දී මේ කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ.
මේ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ජාත්‍යන්තර පයිටොටැක්සා නම් විද්‍යා පර්යේෂණ සඟරාවේ අගෝස්තු 31 වැනි දින කලාපයේ ප්‍රසිද්ධියට පත්කර ඇත. ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි) ශාකය සොයා ගැනීමට පෙර මෙරට වාර්තා වී තිබුණේ කෙකටිය විශේෂ හතරක් පමණි. කෙකටිය ශාකය ඇපනොජෙටෝන් යන ඝන නාමයෙන් හඳුන්වන අතර මෙතෙක් හමුවී තිබූ විශේෂ හතරෙන් හෝටන් තැන්න හා නුවරඑළියේ දක්නට ලැබෙන ඇපනොජෙටෝන් ජාකොබෙන්සි හා පහතරට තෙත් කලාපයේ හමුවන ඇපනොජෙටෝන් රිජිඩිෆෝලිඅස් නම් කෙකටිය විශේෂ දෙක ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබිණි.
නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කෙකටිය විශේෂ සංඛ්‍යාව පහක්වන අතර ආවේණික කෙකටිය විශේෂ සංඛ්‍යාව තුනක් බවට පත්වෙයි.
මේ සොයා ගැනිම සිදුකර ඇත්තේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් වන එහි සභාපති මධුර ද සිල්වා, සුපුන් දේශප්‍රේම සහා ප්‍රින්ස් මනම්පේරි මහත්වරුන් විසිනි. මෙහි විශේෂත්වයක් වන්නේ එය මෙරට පර්යේෂකයන් විසින් ලෝකයට හඳුන්වාදුන් ප්‍රථම ජලජ පැලෑටි විශේෂය වීමයි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් සියලුම ජලජ පැලෑටි පිළිබඳ පර්යේෂණ සිදුකර ඒ පිළිබඳ වාර්තා කර තිබුණේ විදේශිකයන් විසිනි.
අවසන්වරට මෙරටින් නව ජලජ පැලෑටි විශේෂයක් හමු වී ඇත්තේ ද 1985 දී ය. ඒ අදින් වසර 31ට පෙරාතුවය.
කෙකටිය ශාකයේ සොයාගැනීම පිළිබඳ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කීවේය.
‘‘ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක දෙකේ ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණයක් පවත්වද්දී අපි මේ ශාකය දැක්කා. එහි ඇති වෙනස්කම් අවබෝධ වූ නිසා අපි මේ ශාකය නව විශේෂයක් ද කියා සොයා බැලීමට අදාල පරීක්ෂණ ආරම්භ කළා. වසර කිහිපයක් ම ඒ ගැන සොයාබලා අපිට තහවුරු කරගන්න පුළුවන් වුණා මෙය මෙතෙක් ලෝකයෙන් හමු නොවූ ශාකයක් බව. ඒ අනුව අදාල පර්යේෂණ වාර්තාව සකස් කරලා ඉදිරිපත් කළා. දැන් එය ලෝකයට අලුත් නව විශේෂයක් බව ජාත්‍යන්තරව පිළිඅරගෙන තිබෙනවා.“
පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ මධුර ද සිල්වා රිච්මන්ඩ් ආදි සිසුවෙකි. එමෙන්ම පර්යේෂණයේ නිරත වූ සියලු දෙනා මෙන් ම පර්යේෂණ පවත්වාගෙන ගිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සාමාජික සාමාජිකාවෝ ද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූවෝය. කනන්න්ගර මහතා ද රිච්මන්ඩ් ආදි සිසුවෙකි. නව ශාකය ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාවන සී.ඩබ්ලිව්.ඩබිලිව්.කන්නන්ගර නමින් නම් කිරීමට එම සංගමයත් පර්යේෂකයන් තිදෙනාත් තීරණය කළහ. ඒ අනුව නව ශාකයට නම් තැබිණි.
‘‘මෙම පර්යේෂණය සිදුකරද්දී අපිට විශාල පිරිසකගෙන් සහයෝගය ලැබුණා. අපේ සංගමයේ සියලුම දෙනාගෙන්. ඒ වගේම ජෛව විිවිධත්ව සමීක්ෂණයට සම්බන්ධ වූ විශාල පිරිසක් හිටියා. පර්යේෂණ කටයුතු ආරම්භ කළ දිනයේ සිට ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගෙන් ලැබුණු සහය අපමණයි. ඔවුන් සියලු දෙනාම අපි ඉතාමත් සතුටින් සිහිපත් කරනවා. “ යැයි මධුර පැවසීය.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාගේ නම උද්භිද විද්‍යාව පවතින තුරු ජාත්‍යන්තරයේ අමරණීය කිරීමට මෙමගින් හැකියාව ලැබුණු බවයි. මෙම නව ශාකය අරුණාලෝක අඩවියට ස්ථානීය අවේණිකත්වයක් දක්වන බැවින් එම ස්ථානයේ ජෛවවිද්‍යාත්මක වටිනාකම ද ඉතා ඉහළ අගයක් ගෙන තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසානායක - කුමාර්, කෙකටිය හැමතැනම තියන එක ඇත්ත. නමුත් මේකේ කියන්නේ මේ විශේෂය තියෙන්නේ එහේ විතරයි. මොනවා වුණත් මේ වගේ අපූර්ව පුවත් සිංහලෙන් දකින්න ලැබෙන්නේ ලංකාදීපයේ විතරයි. ඒ ගැන අපේ ආචාරය! (නි)
මෙම ලිපියට සහ ඡායාරූප වලට ස්තූතියි! (නි)
මේ වර්ගයට නමක් දැමීම ඉතා හොඳයි (නි)
මේ කෙකටිය අපි පොඩිකාලේ අැළවල් වල පැනලා නානකොට දැක තිබෙනවා කියලයි මට හිතෙන්නේ. අකුරැස්ස ඉමදූ!ව පැත්තේ අැළවල් වල. (නි)
කන්නන්ගර කෙකටිය පිළිබඳ මේ තොරතුරු කියවන්න ලැබීම ඉතා වැදගත්ය. ස්තුතියි! (නි)
නිකවැරටියේ වැව් වල බලන්න ඔය වගේ වර්ග තියනවා. (බ)
හොද ලිපියක්.තවත් දේ ඒ පැත්තේ මිනිස්සු දන්නවා. (හේ)
හැම එක්කෙනාම තමන්ගේ නම දාන්න පොරකද්දී අනුන්ගේ නමක් දාන්න තරම් නිහතමානී වූ එක ගැන සතුටු හිතෙනවා. ලංකාවේ තව කොච්චර ශාක ඇද්ද අලුත් ශාක? ස්තුතියි මේ සොයාගැන්මට ... (නි)
මේවාමද බුලත්කොහුපිටිය ඇළෙත් තියෙන්නේ? (නි)
වල් නාශක නිසා ගම්වල තිබිල වඳ වුනු අපි නොදන්නා පැළෑටි තව කොපමණ තියෙන්න ඇතිද? වැදගත් සිදුවීමක්. (බ)
මෙවන් ලෝකයට දායාද කරන පර්යේෂණ කරන උගතුන්ට නිසි තැන දීම අපේ වගකිවයුත්තන්ගේ මහඟු වගකීමකි. ඔබට තුති! (නි)
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
කෙකටිය මලවලා මැල්ලුම නියමයි!
ඒක හොදයි.(හේ)
මම කොබෙයිගනේ. මේ කෙකටිය වර්ගය අපේ වැව් වල වතුර අඩුකාලෙට මම දැක තිබෙනවා. වතුර ඇති තැන්වලින් මේ කොළෙත් කන්න පුළුවන්. හරිම රසයි. (නි)
ලිපියට තුති. (බ)
අපේ නව පරපුරේ අය නම් මේවා දැකලා ඇති කියලා හිතන්න අමාරුයි
අපේ ගමට එන්නකෝ ගමටම කෙකටිය දෙන්නම්කො . ඕනෑම ජාතියක් තියෙනවා..(බ)