ලොව සතුටෙන්ම සිටිය හැකි රට ලෙස පිට පිට හත්වැනි වරටත් ෆින්ලන්තය කිරුළ දිනාගත්තේ ය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.
ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 128 වැනි ස්ථානයයි. ඒ රටවල් 143ක් අතරිනි. ලෝක සිතියමේ අබැටක් තරමේ වුව ද මේ රට වාසනාවන්ත මෙන්ම සශ්‍රීක රටකි. ස්වාභාවික විපත් අවම නිසි කලට වැසි වසින, සෞම්‍ය දේශගුණයක් හිමි රටකි. එහෙත් අප රටේ ජනයාට සතුටෙන් ජීවත්වීමේ වරම අහිමි කර හෝ නැත්නම් අහිමි කරගෙන වී තිබේ. දුගීභාවයත් අවිනිශ්චිතභාවයත් උරුමව මනුෂ්‍යත්වයේ අසරණකම තුළ දවස් ගෙවා දැමීමට පුරවැසියාට සිදු වී තිබේ. මෙහි බරපතළම වින්දිතයන් බවට පත්ව සිටින්නේ මල්මෙන් හදවත් ඇති නෙත් මෙන් රැකබලාගත යුතු දරු පරපුර වේ. ඒ සම්බන්ධ අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.
අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මව්පියන්ගේ නිසි රැකවරණයක් නොමැතිව අනාරක්ෂිතව දිවි ගෙවන බව කියන හලාවත ප්‍රදේශයේ රජයේ ප්‍රාථමික පාසලක සිසු සිසුවියන් 27 දෙනකු ගැන එම පාසල පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හලාවත කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යංශයට පැමිණිලි කළ බව ය. එමෙන්ම හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සුභාෂිණි හේරත් මහත්මිය එම ග්‍රාම නිලධාරිනිය සමග එම පාසලට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ය.
පළමුව එම නිලධාරිනියන් දෙදෙනාට ප්‍රණාමය පිරිනැමිය යුතු ය. ඒ අනුන්ගේ දරුවන් යැයි නොසිතා එම අහිංසක දරු පැටවුන් ගැන සොයා බැලීම සම්බන්ධයෙනි. බොහෝවිට සිදුවන්නේ ඛේදවාචකයක් වූ විට ඒ සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළීම සහ කප්පරක් තර්ක විතර්ක ඇදබෑම ය.
අප ප්‍රවෘත්තියට අනුව මෙම බාල වයස්කාර සිසුසිසුවියන් විසි හත් දෙනාම අනාරක්ෂිතභාවයට පත්ව ඇත්තේ මවුපියන් විදෙස් රැකියා සඳහා යෑමත් පියවරුන්ගේ බීමත්කමත් නිසා ය. මෙම සිසු සිසුවියන් විසිහත් දෙනාගේ මවුවරුන්ගෙන් පස් දෙනකුම දරුවන් අතහැර අනියම් සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සමග පැනගොස් පවුල් ජීවිත ගත කරන බවත් දරුවන් අනාරක්ෂිතභාවයට පත් කිරීම සම්බන්ධයෙන් එම මවුවරුන්ට ඉදිරියේ දී නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කරන බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.
බීමත්කමට ඇබ්බැහි වී සිටින පියවරුන් උපදේශන සේවාවලට යොමුකර ඔවුන් සමාජගත කිරීමට හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පියවර ගෙන ඇති බවත් උපදේශන සේවාවලට යොමුකර තිබියදීත් මත්පැන් පානය කිරීමට යොමු වුවහොත් ඔවුනට එරෙහිව ද අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය.
මුළු රටේම අවධානය යොමු විය යුතු තත්වයකි. අප රටේ දූ දරුවන් මුහුණ දී සිටින දුක්ඛිත ඉරණම මෙම ප්‍රවෘත්තියෙන් කියැවේ. පසුගිය ජනවාරි මාසයේ සිට මෙම මාසයේ මුල් සතිය දක්වා පමණක් අනාරක්ෂිතව සිටි දරුවන් 12 දෙනකු සොයාගෙන ඔවුන්ගේ ආරක්ෂාව සඳහා හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය අවශ්‍ය පියවර ගෙන තිබේ.
මුළු රටේම සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි මෙබඳු සමීක්ෂණ කළ යුතු ය. අනාරක්ෂිතව දිවි ගෙවන දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර නොපමාව ගත යුතු ය. ෆින්ලන්තයේ ජනයාට උරුම සතුට අපට උරුම කරගත හැකි වන්නේ එමගින් පමණි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටින් සිටීමට බොහෝ කාරණා බලපානු ලබන බවයි පෙනී යන්නේ. ඒවා පුද්ගලයෙකු තුළ හා ඔහුගෙන් පරිභාහිර යන ලෙස සාධක ගොනුවන බවයි දක්නට ලැබෙන්නේ. ඒ අනුව භූමි සාධක ලෙස "Nordic Countries" වලට අයත් ෆින්ලන්තය සතුටින්ම ජීවත්වීම එම භූමියේ ඇති සෘතුමය රටාවට ගැලපෙන සමස්ථ සමාජීය, සංස්කෘතික ජීවන රටාවට අනුගමනය කරන නිසා බවයි පෙනී යන්නේ. එය කිසිසේත්ම ලංකාව වැනි රටක සෘතුමය පරිසරයකට අවශ්‍ය වන සරල පරිභෝජන රටාව පසෙකලා, එවැනි රටක සමාජ දත්ත ගෙඩිය පිටින්ම ගෙන සැසඳීමේදී සැබෑව පිළිබිඹු නොවන බවයි කියන්නට තිබෙන්නේ. ඒ අනුව බැලීමේදී, කොතරම් සතුට තිබෙන ෆින්ලන්තයේත් වුණත් අසතුටින් සිටින අය ඉන්න හැකිබවත්, මෙතරම් අසතුට ඇතියැයි කියන ලංකාවෙත් ඕනෑ තරම් සතුටින් සිටින අය ඉන්න හැකිබවත් ය. ස්තුතියි.
දුකින් සිටි භද්‍රානි මහත්මිය ඒක කියවා හිනාවෙලා සතුටු වෙනවා කියන්නේම, සතුටින් සිටින අය හෝ සතුටුවිය හැකි අය ඇති බවට හොඳම සාක්‍ෂියක්.... ස්තුතියි...!
හලාවත අර කී ග්‍රාම නිලධාරිතුමියටත් ඒ ගැන සොයා බැලූ අයටත් මෙන්න මගේ ප්‍රණාමය..! අපිට පින්ලන්තයට වඩා සතුටින් ඉන්න තිබුණා. අපිව සොරු මංකොල්ලකරුවෝ කන්ඩායමකට හසු උනේ නැත්නම්... ඒ කන්ඩායම ඉතාම සූක්ෂම ලෙස ඉදිරි පරම්පරාවේ මොල මැටි කරන කටයුත්ත සිදුකර තිබෙනවා. මෝඩ තරගය ඇතිකරලා තිබෙනවා... දැන් හැමදෙනාම පිට සෝබනේ පෙන්වීම සඳහා තරගයක තමයි ඉන්නේ. ඇතුළ ගැන කල්පනාවක් නැහැ. මේකට මුලින්ම යොදාගෙන තියෙන්නේ. අධ්‍යාපනය... මේකට මුදල් වැය කරනවා අර පහසුකම් ගේනවා පිහිනුම් තටාක දෙනවා.. බස් දෙනවා කීවාට යටින් යන්නේ උපතින් බුද්ධිමතුන් අවුරුදු දහයක් වගේ කාලෙකින් හිස් පුස්සන් කිරීමේ වැඩ පිළිවෙලයි. මෙහි යෙදී ඉන්නා අය තම තමන්ව ඇගැයීමට ලක්කර ගන්නේ තමන් මී වදයක් බැඳීමට උදව් වුණා කියා සතුටින්... හැබැයි අන්තිමට හැදෙන්නේ තුඹසක්. එහි විස සතුන් සිටින විස රහිත සතුන් සිටිය හැකියි. එහෙමත්ම ළමයෙක්ගේ මොළය ඉතුරු වෙන්නේ පෙර පිනකින්. මේ අධ්‍යාපනයෙන් බිහි වෙච්චි ගුරුවරුන් කරන්න දන්නෙත් මේකමයි. විසඳුම කුමක්ද?
ලොව සතුටින්ම සිටිය ෆින්ලන්තය බවත්, ලංකාවට එහෙම වුණේ ඇයි යනුවෙන් කතුවරයා මතුකළ කේන්ද්‍රීය කරුණ දෙස යොමුවීමට අදහස් කළෙමි. එනම් හැදෙන දරුවන්ගේ අනාරක්‍ෂිතභාවය, දෙමව්පියන්ගේ විදේශ ගතවීම හා බීමත්කම මූලික වීමෙන් ලංකාවේ පවුල් සංස්ථාව තුළ ඇතිවී තිබෙන ගැටළුව ගැනයි. එම කරුණෙහි බීමත්කම ගැන ආවධානය යොමුකිරීමේදී, වාර්ථාවී ඇති පසුගිය සමීක්‍ෂණ දත්ත අනුව, ෆින්ලන්තයේ 68% තරම් ඉහල ප්‍රතිශතයක් ඇල්කොහොල් භාවිතාකරණ අතර ඉන් ගැහැණුන්ගේ ප්‍රතිශතයද ඉහළ අගයක පවතී. නමුත් පසුගිය වසරවල් වල එය සාපේක්ෂව අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. ලංකාව ගැන බැලීමේදී, ඇල්කොහොල් පරිභෝජනය 25% තරම්වන අතර ගැහැණුන්ගේ ප්‍රතිශතය අඩුබවයි. නමුත්පසුගිය වසරවල එය වැඩිවීමේ ප්‍රවණතාවය සහිත බවයි. ඒ අනුව බැලීමේදී, ඉහළ ඇල්කොහොල් පරිභෝජනයක් සහිත ෆින්ලන්තය වැනි රටක බීමත්කමේ (මත්වීමේ) අඩුවීමේ ප්‍රවණතාවය නිසා ජනතාව සතුටට පත්වනවාද? ලංකාව වැනි රටක බීමත්කම වැඩිවීමේ හෝ මත්වීමේ ප්‍රවණතාව නිසා අසතුටට පත්වී සිටිනවාද? නැත්නම් ෆින්ලන්තයට සමානව වැඩිපු බීමට නොහැකිව අසතුටට පත්වී සිටිනවාද? යන්න ගැන තනි තනිව හා පොදුවේ සිතාබැලිය යුතු කාරණයක්ය. ස්තුතියි..!
ෆින්ලන්තයේ ජනජීවිතයට සාපේක්‍ෂව ලංකාවේ ජනජීවිතය ගැන සෘණාත්මක දර්ශණයක් තිබුණත් , අජිත් මහතා ඉදිරිපත් කරණ කරුණෙහි ඉතාම සාධනීය ලක්‍ෂණ කිහිපයක් පෙන්නුම් කරනවා. (1). තනිපුද්ගල හෝ පවුලක් වශයෙන් ගත්කළ අත්‍යවශ්‍ය මූල්‍ය කළමණාකරණය ( ආදායමේ හැටියට වියදම් කිරීම) සිදුවිය යුතු බවයි (2) ජීවත්වන පරිසර සාධක සැළකිල්ලට ගෙන අවශ්‍ය ආහාර පරිභෝජන රටාව සකස්කර ගැනීම කළයුතු බව ( උදා. ෆින්ලන්තයේ ශීතල පරිසරයට අනුකූලව ඇඟ උණුසුම් හා මේද අධික ආහාර දිරවීම පහසුව සඳහා ඇල්කොහොල් අවශ්‍ය වුවත් ලංකාවේ සමෝශ්ණ පරිසරයට එය අත්‍යවශ්‍ය නොවන බව).(3) තවද, සමස්ථ ලංකාව තුළ ඇති වෙනස් සමාජ ස්ථර ගැන සැසඳීමේදි, ලංකාවේ මූල්‍ය ශක්‍යතාව ඇති සමාජ පංතිය, ෆින්ලන්තයේ ජනතාවමෙන්ම මුදල් නාස්තිවනතුරුම මත්පැන් නොබොනවා විය හැකිබව. (4) ජීවත්වන සමාජ පරිසරය හා බද්ධව, ගැලපෙන පරිභෝජන රටාව සකස්කළ ගත යුතු බව හා හැමෝම කරන්ණන් වාලේ, ගෙඩිය පිටින්ම බාහිර කාරණා අනුගමනය නොකළයුතු බවයි. (උදා: ෆින්ලන්තයේ ජීවනක්‍රම එලෙසම ලංකාවට නොගැලපෙන බව, ඒවගේම, ලංකාව තුලද පොහොසතුන්ගේ ජීවන රටාව එලෙසම දුප්පතුන්ට නොගැලපෙන බව ආදී ලෙසයි) ස්තුතියි.
පාරට බැස්සොත් දූවිලි කාගෙන දාඩිය නාගෙන ගෙදර ඇවිත් හවස් වෙද්දී මදුරුවෝ කාගෙන හිටියාම කොහොමද සැප...?
මෙවන් බොහෝ කාරණා අතර ෆින්ලන්තයේ ජනතාව සතුටින් සිටීමට ප්‍රධානවන සාධකයක් වන්නේ එරටේ පවතින ඉතාම උසස් අධ්‍යාපන ක්‍රමයයි. (1) එහිදී ස්වදේශීය භාෂාවට මුල්තැන දීම (2) න්‍යායාත්මක අධ්‍යාපනයට වඩා සමාජසුබ සාධන ක්‍රයාකාරී කටයුතු සඳහා වැඩි අවදානය යොමුකිරීම (3) පංතිකාමරයේ දරුවන් ගණන 20ට හෝ අඩුවෙන් පවත්වා ගැනීම (4) ගෙදර වැඩ ප්‍රමාණය පැය 2.5 අඩුවෙන් පවත්වා ගැනීම (5) සෑම ළමයකුගේම උපන් හා ඇලුම් කරන හැකියාවට ගැළපෙන ලෙස සියළුම වෘත්තීන් සමාන කොට අධ්‍යාපනය දීම ආදී කරුණුයි. එය ලංකාව සමග සැසඳීමේදී හාත්පසින් වෙනස්... ලංකාවේ ගුරුවරයෙකුට ළමයින් 40ක් හෝ 45ක් රැකබලා ගැනීමට තිබේ. ගෙදරවැඩ අපමණකි, පැය 5ක්වත් වෙයි. එය ෆින්ලන්තයේ ගුරුවරයෙකුට ඇති ගණන මෙන් 2 ගුණයකි. එයින් ජනිතවන මානසික ආතතිය ෆින්ලන්තයේ මෙන් 2ගුණයකි. එනම් සතුට භාගයෙකි. එනම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගින් සතුට වෙනුවට දරුවට දෙනු ලබන්නේ ගුරුදෙගුරු දෙපිරිස විසින්ම "පීඩනය හා අසතුටයි". එයින් බිහිවන පුරවැසියන් හැමදේම දෙසම "අසතුටින් බැලීම" අරුමයක් නොවේද? එය එදා එංගලන්ත අධ්‍යාපන ක්‍රමය ගෙඩිය පිටන්ම හොඳයි කියා බාරගැනීමේ ප්‍රතිඵලයක් නිසාද විය හැකියි. ස්තුතියි...!