2023 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල අංක 11 යටතේ සඳහන් වන්නේ නව කම්කරු ප්‍රතිපත්තියක් ඇති කරන බවයි. ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරගෙන යා හැකිවන පරිදි, සේවක සේව්‍ය දෙපාර්ශ්වයම ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිසංස්කරණ කම්කරු ක්ෂේත්‍රයේ කලකින් සිදුවී නොමැති නිසාත්, තරගකාරී අපනයනාභිමුඛ ආර්ථිකයක් තුළ සේවක සේව්‍ය දෙපාර්ශ්වයම රටේ ප්‍රගතිය නංවාලීම වෙනුවෙන් සහභාගී කරවා ගැනීම ඇතුළු තවත් කාරණා රැසක් වර්තමානය වනවිට අවශ්‍යම වී ඇත. මෙරට කම්කරු නීතිය යල්පැන ගිය හා එකිනෙක අතර සබඳතාවක් නොමැති හෙයින් නව කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරන බව අයවැය කතාවේ 11.1 යටතේ සඳහන් වේ.

ලොව මුලින්ම කම්කරු නීති එළිදකින්නේ 1830-40 ගණන්වල බ්‍රිතාන්‍යයෙන් ඇරඹි කාර්මික විප්ලවය සමයේ සිදුවූ කම්කරුවා දැඩි ලෙස සූරා කෑමට එරෙහිව ඇතිවූ සිද්ධීන්වල ප්‍රතිඵලය ලෙසයි. ඒ හා සමාන්තරව කරළියට පැමිණි මාක්ස්වාදයත්, කම්කරුවන්ගේ ඒකරාශිවීමත් නිසා සූරාකෑමට එරෙහි නීති පනවන්නට බ්‍රිතාන්‍ය පාලකයන්ට සිදුවිය. 1833 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පුරා වහල් මෙහෙය තහනම් කිරීමේ පනත බලගැන්වුණු අතර එම වසරේම (1833) අවුරුදු 9ට අඩු දරුවන් කර්මාන්ත ශාලාවල සේවයේ යෙදවීම බ්‍රිතාන්‍ය කර්මාන්ත ශාලා පනතින් තහනම් කෙරිණි.

මෙරට කම්කරු නීති ඇරඹෙන්නේ 1841 වසරේ වතු ආශ්‍රිතව කම්කරු ශ්‍රමය යොදා ගැනීමත් සමගය. 1948ට පෙර පැවතියේ කම්කරු නීති 18ක් පමණි. මේ වනවිට කම්කරු නීති ඇසුරින් පනත් 600ක් පමණ ක්‍රියාත්මක වේ. මෙරට කම්කරු දෙපාර්තමේන්තුව ඇරඹෙන්නේ සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුබසාධන සැලසීමේ අරමුණෙනි. ඒ 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ප්‍රඥප්තිය යටතේය.

අයවැය කතාවේ යෝජනා කරන කම්කරු ප්‍රතිපත්තින් හා කම්කරු දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර අතරත් පැහැදිලි වෙනසක් නැති තරම්ය. අන්තර්ජාතිකව තරගකාරී ආර්ථිකයක් සඳහා කල්පවත්නා කාර්මික සාමයක් සහිත රටක් ගොඩනැගීම කම්කරු දෙපාර්තමේන්තුවේ වර්තමාන දැක්මය. කම්කරු අයිතීන් ආරක්ෂා කරමින් තහවුරු කරන ලද කාර්මික සාමය සහිත සුනිසි වැඩ පරිසරයකින් සමාජ ආර්ථිකය  සංවර්ධනයට දායකවීම කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර ප්‍රකාශයයි.

කම්කරු නීතිවලට අදාළ පනත් 600ක් පමණ මෙරට පැවතියත් කම්කරු නීතිවලට අදාළ අරමුණු සාක්ෂාත් වී නොමැති බව අයවැය කතාවෙන් පෙනී යයි. නව කම්කරු නීතියක් බලාත්මක කරන ලෙස එයින් යෝජනා කෙරෙන්නේ ඒ නිසා විය යුතුය.

ශ්‍රී ලාංකික කම්කරුවන්ට අවම වැටුප් තත්ත්වයක් සහතික කිරීම උදෙසා මේ වනවිට පනත් කිහිපයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. 2016 අංක 3 දරන අවම වේතන පනත, 2005 අංක 36 දරන ජාතික අයවැය සහන දීමනා පනත හා 2016 අංක 4 දරන ජාතික අයවැය සහන දීමනා පනත යන ඒවා ඒ අතර ප්‍රධාන වේ.

කම්කරුවාට අවම වේතනයක් සහතික කිරීම පිණිස අණපනත්  පැවතියත් ඒ කිසිම පනතකින් රටේ ආර්ථිකයේ සිදුවන ඉහළ පහළ යාම්වලට සමානුපාතිකව අවම වැටුප් තීරණය කෙරෙන යාන්ත්‍රණයක් මෙතෙක් හඳුන්වාදී නොතිබීම පවතින කම්කරු නීතිවල ඇති ප්‍රධාන දුර්වලතාවයකි.

මෙරට කම්කරු  නීති ඇරඹෙන්නෙත්, කම්කරු දෙපාර්තමේන්තුව ඇරඹෙන්නේත් වතු කම්කරුවා මූලික කරගෙන වුවද මේ දක්වා වතු කම්කරුවාට සාධාරණය ඉටුවී නැත. රු. 1000 දෛනික වැටුප සහතික කර ගන්නට ඔවුන්ට අවුරුදු 6ක් පුරා සටන් කරන්නට සිදුවිය. 2021 එම ඉල්ලීම දිනාගන්නා විට රටේ ආර්ථික තත්ත්වය පහත වැටීම නිසා එහි මූර්ත අගය පහත වැටී තිබිණි. අයවැය කතාවේ වතුකරයේ ජනතාවගේ පඩි ගැන වචනයක් හෝ කතාවී නැති බැවින් ඔවුන්ට අසාධාරණයක් සිදුවී ඇති බවට නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු හඬ නගා ඇත්තේ ඒ නිසා විය යුතුය.

ශ්‍රී ලංකාව 1975 මාර්තු 17 වැනි දින, 1970 අංක 131 දරන C131 අවම වේතන සකස් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා ඇත. මෙතෙක් පැවති කම්කරු නීතිවලින් එහි සම්මුතියට එකඟව ක්‍රියා කිරීමට හැකිවී නොමැත්තේ රටේ ආර්ථිකයේ සිදුවන ඉහළ පහළ යෑම්වලට සමානුපාතිකව අවම වැටුප පවත්වා ගැනීමට දැනට පවතින කම්කරු නීතිවලින් බලපෑමක් ඇති නොවූ නිසාය.

දැනට රටේ ආර්ථිකයේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් වන විදේශ විනිමය හිඟයෙන් ස්ථිරසාර ලෙස ගොඩ යා හැක්කේ අපනයන ආර්ථිකය වර්ධනයෙන් බව පැහැදිලිය. ඒ සඳහා අපනයන නිෂ්පාදන මහා පරිමාණයෙන් වර්ධනය කළ යුතුය. ඒ සඳහා කම්කරු උද්ඝෝෂණ, ගැටුම්, ආරවුල්වලින් තොර සාමකාමී සේව්‍ය සේවක සහයෝගීතාවක් පවත්වා ගත යුතුය. ඒ සඳහා කම්කරුවාට ජීවන පැවැත්ම සළසා ගත හැකි වැටුපක් සහතික කළ යුතුය. කම්කරු ප්‍රතිපත්ති ඒ සඳහා යාවත්කාලීන කිරීම වඩාත් හොඳ පියවරකි.

(***)