කොවිඩ් රෝග මර්දන කටයුතු පිළිබඳ තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් වූ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු එම කමිටුවෙන් ඉල්ලා අස්වීමත් හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීමත් රටේ කතාබහට ලක්වෙමින් තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ කමිටු සහ සංගම්වලින් සාමාජිකයන් ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම අමුත්තක් නොවේ. එවැනි ඉල්ලා අස්වීම් මීට පෙරද සිදුව තිබේ.

එහෙත් එන්නත්කරණය විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව වෙනත් ප්‍රමුඛතා අනුව සිදුවන විට වෛද්‍ය විශේෂඥයන්ගේ කාර්යභාරය හෑල්ලු‍වට ලක්වන බව මේ සිද්ධිය පෙන්නුම් කර තිබේ.

මුලින්ම ඉල්ලා අස්වූ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එම තීන්දුව ගෙන ඇත්තේ කමිටුව ගන්නා ඇතැම් තීරණවලට එකඟ විය නොහැකි වීම හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. ඉල්ලා අස්වූ අනෙක් විශේෂඥ වෛද්‍යවරයා වන අශෝක ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ තමාගෙන් එම කමිටුවට සෙතක් වේ යැයි නොසිතන බැවින් තමන් ඉල්ලා අස්වූ බවය. නිර්වින්දන සංගමයේ සභාපති වශයෙන් තමා වසර එකහමාරක පමණ කාලයක් එම තාක්ෂණික කමිටුවේ නොකඩවා කටයුතු කළ බව ද ඔහු තවදුරටත් කියා තිබිණි.

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුව, කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සමඟ ක්‍රියාත්මක වන ඉතා වැදගත් කමිටුවකි. එහි සාමාජිකයන් විසින් කරනු ලබන නිර්දේශ සහ ඔවුන් පළ කරන අදහස් පිළිගැනීමට සූදානම් නැත්නම් තමන්ගේ දායකත්වය පිළිබඳ තීන්දුවක් ගන්නා තැනකට ඔවුන් තල්ලු‍වීම වැළැක්විය නොහැක. තමන්ගේ නිර්දේශ නොසලකා කමිටුව මගින් දඩබ්බර ලෙස ගනු ලබන තීරණවල පාර්ශ්වකරුවන් වීමට විද්වතුන් කැමැත්තක් නොදැක්වීම තේරුම් ගැනීම අපහසු නැත. එවැනි බොහෝ අවස්ථාවල විද්වතුන් කරන්නේ කමිටුවලින් ඉවත්ව යාමය. කොවිඩ් තාක්ෂණික කමිටුවට ද අත්වී ඇත්තේ එම ඉරණම බව පෙනෙන්නට තිබේ.

කොවිඩ් මර්දන කටයුතුවලදී ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ විශේෂඥ වෛද්‍ය උපදෙස්වලට බව නොරහසකි. ෆයිසර් එන්නත වඩාත් සුදුසු වන්නේ පාසල් දරුවන්ට සහ 60ට වැඩි පිරිසට බූස්ටර් එන්නතක් වශයෙන් ලබාදීම බව වෛද්‍ය උපදේශය වනවිට එය හම්බන්තොට තරුණ පිරිසට වඩාත් සුදුසු වූයේ කෙසේද යන්න තවමත් නොවිසඳුණු රහසකි. රහස එසේම තිබියදී මේ වනවිට මාතර දිස්ත්‍රික්කයට ද දැන් ෆයිසර් එන්නත ලබාදීම සිදුවෙයි. මේවා කා විසින් ගනු ලබන තීන්දුදැයි කිසිවෙක් නොදනිති.

එන්නත්කරණය සම්බන්ධයෙන් මීට පෙර ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ද මෙරට ඇතැම් වෛද්‍ය විශේෂඥයන් එකඟ නොවූ බව වරින් වර ප්‍රකාශයට පත් විය. විශේෂයෙන් ආරම්භයේදී වයස 60ට වැඩි පිරිසට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට යෝජනාව යටපත් විය. ඉන් පසුව එන්නත්කරණය ශීඝ්‍ර ලෙස සිදුකිරීමේ වගකීම රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට පරිබාහිරව හමුදාවට පැවරීම ද ඇතැම් වෛද්‍ය විශේෂඥයන්ගේ කනස්සල්ලට හේතු වී තිබිණි. ඒ අතර හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම සිදුවූයේ එහි වරායක් සහ ගුවන් තොටුපොළක් ඇති නිසා බවට රජයේ ප්‍රධාන තනතුරක් හොබවන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයකු විසින් කරන ලද ප්‍රකාශය ද ප්‍රබල විවේචනයට ලක්විය. එය එසේ නම් වරායක් තිබෙන කොළඹට ද ගුවන් තොටුපොළක් තිබෙන ගම්පහට ද ෆයිසර් එන්නත අරහං වූයේ කෙසේදැයි ප්‍රශ්න මතු විය. වරායක් සහ ගුවන් තොටුපොළක් ද ඇති ත්‍රිකුණාමලය සහ යාපනය ද අමතක කර තිබේ. වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ ෆයිසර් එන්නත මුලින් ලබාදුන් මන්නාරමේ වරායක් හෝ ගුවන් තොටක් හෝ නොතිබීමය. රජය මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම අවශ්‍යය.

එන්නත්කරණය සම්බන්ධව අදහස් පළ කරන වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ප්‍රකාශ කළේ එන්නත්කරණයේදී හම්බන්තොට යනු ප්‍රමුඛතාව ලැබිය යුතු දිස්ත්‍රික්කයක් නොවන බවය. එන්නත්කරණය සාර්ථකව සිදුකරන බවට රජය හොඳ නමක් දිනා සිටියදී වෛද්‍ය මතවලට එරෙහිව යමින් දේශපාලනය ඉස්මතු කර ගැනීමෙන් රජය වැළකිය යුතුය. කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකුම එකවර ඉල්ලා අස්වූයේ එම සිද්ධියෙන් පසුවය. එම සිදුවීම් දෙක අතර සම්බන්ධතාවක් තිබිය හැකි බවට සැක පහළ වීම සාධාරණය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර තිබුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෞද්ගලිකව ගත් එම තීන්දුවට තමා ගරු කරන නමුත් එම තීරණය ගැන යළි සලකා බලන ලෙසට ඔහුට දැනුම් දෙන බවය. කෙසේ වුවද කොවිඩ් මර්දන කාර්යයේදී දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම් නැවැත්විය හැකි නම් මෙවැනි ඉල්ලා අස්වීම් ඉදිරියේදී හෝ වළක්වා ගැනීමට ගත හැකි හොඳම පියවර එය බව අපගේ පිළිගැනීමය.

(***)