විදුහල්පති ඇතුළු පිරිමි ගුරුවරුන් ටික යාබදව පිහිටි පන්සල් වත්තට රාත්‍රී කාලයේ හොරෙන් පැන එහි තිබූ තැඹිලි ගස්වල ගෙඩි හොරෙන් කැඩුවේ යැයි නායක හාමුදුරුවන්ගේ ලිඛිත පැමිණිල්ලක් එම විදුහලේම විදුහල්පතිවරයාට ලැබීමේ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
පාසලට යාබදව පිහිටියේ පන්සලය. පාසලෙන් පන්සලක් වෙන්වී තිබුණේ කෙටි තාප්පයකින්ය. පාසලේ උත්සවයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම පාහේ ඊට පෙර දින රාත්‍රියේ යාබදව පිහිටි පන්සල් වත්තේ තැඹිලි ගස්වල ගෙඩි අතුරුදහන් වීම කාලයක් තිස්සේ සිටම පැවතියේය.
මේ පිළිබඳව පන්සලේ නායක හාමුදුරුවන් පාසලේ විදුහල්පතිවරයාට පැමිණිලි කළේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒ සෑම අවස්ථාවකදීම විදුහල්පතිවරයා කීවේ හාමුදුරුවනේ කොහොම ද තැඹිලි හොරෙන් කඩන ළමයි අල්ල ගන්නේ නම්වත් දන්නේ නැතිව. පුළුවන්නම් එක්කෙනෙක් හෝ දෙන්නෙක්ගේ හෝ නම් හොයා ගන්නකෝ. මම ඊට පස්සේ ඔවුන්ට ආයෙත් ඒ හොරකම නොකරන විදිහේ දඬුවමක් දෙන්නම්කෝ කියාය.
මේ ආකාරයට එම පාසලේ උත්සවයක් ළඟදීම පැවැත්වෙන බව දැනගත් නායක හාමුදුරුවෝ ඊට පෙරදින පන්සල් වත්තට පැන හොරෙන් තැඹිලි කඩන ළමයි අල්ලා ගැනීමට සූදානම් වූහ. ඒ අනුව නිදිවර්ජිතව සිටි නායක හාමුදුරුවෝ එදින තැඹිලි හොරෙන් කැඩීමට පැමිණි ළමයින් කිහිපදෙනෙකුම අතටම අල්ලා ගත්හ. අල්ලාගත් ළමයින්ගේ නාම ලේඛනයක් ගත් පසු ඔවුන් නිදහස් කර යැවීමට නායක හාමුදුරුවෝ කටයුතු කළේ පසුදින මේ නාම ලේඛනය විදුහල්පතිවරයාට ලබාදී හොරෙන් තැඹිලි කැඩීමට පැමිණි ළමයින්ට දඬුවම් කරවන අටියෙන්ය.
පසුදින උදෑසනම නායක හාමුදුරුවෝ විදුහල්පතිවරයා හමුවීමට පැමිණ පන්සල් වත්තේ තැඹිලි හොරා කඩන ළමයින් අතටම අල්ලාගත් බවත් මේ එම ළමයින්ගේ නාම ලේඛනය බවත් කියමින් නම් ලියූ කොලයක් විදුහල්පතිවරයාගේ අත තැබීය.
මේ නාම ලේඛනය දිටු විදුහල්පතිවරයා බඩ අල්ලාගෙන සිනාසුණේය. මෙය දුටු නායක හාමුදුරුවන්ගේ කෝපය නිම්හිම් නැතිවිය.
මොකද විදුහල්පතිතුමෝ හිනා වෙන්නේ. ඔහේට පිස්සු හැදිල ද. නැත්නම් කොල්ලන් පන්සල්වත්තට හොරෙන් පැනල හොරෙන් තැඹිලි කඩන එක හොඳයි කියල ද යැයි කියමින් නායක හාමුදුරුවෝ නොනවත්වාම තව දුරටත් විදුහල්පතිට තොස්පරොස් කීහ.
හිනාව මහත් ආයාසයෙන් නවත්වාගත් විදුහල්පතිවරයා සිය කටහඬ අවදි කරමින් නායක හාමුදුරුවන් ඇමතුවේය. අපේ නායක හාමුදුරුවනේ පන්සල්වත්තට ඊයේ රෑ හොරෙන් පැනල තැඹිලි කඩපු නාම ලේඛනය අනුව නම් හොරෙන් තැඹිලි කඩල තියෙන්නේ අපේ විදුහලේ ළමයි නම් නෙමෙයි. විදුහල්පති වන මමයි මගේ ආචාර්ය මණ්ඩලයේ ඉන්න පිරිමි ගුරුවරු ටිකයි. ඒකය නායක හාමුදුරුවනේ මේ නාම ලේඛනය දැක්ක ගමන්ම මට හිනා ගියේ. කොල්ලන් තමා අමාරුවක දමා ඇති බව දැනගත් නායක හාමුදුරුවන් එතනින් ගියේ වෙනත් කරන්න දෙයක් නොමැති නිසාය.
එදා රාත්‍රියේදී නායක හාමුදුරුවන්ට අසුවූ කොල්ලන් නායක හාමුදුරුවන් සිය නම් ඉල්ලූ විට දී ඇත්තේ මුලටම විදුහල්පතිවරයාගේ කාර්යාලයේ නාම ලේඛනයේ පවතින ඉංග්‍රීසි අකුරු සහිත කෙටි නමය. මේ ආකාරයටම ඊළඟට විදුහලේ නියෝජ්‍ය විදුහල්පති, ශ්‍රේණි සමායෝජක, ගුරුවරුන් අවසානයට පංතිවල උගන්වන පිරිමි ගුරුවරුන්ගේ ද නම් ලියා දුන්නේ ඔවුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව සැලකිල්ලට ගනිමින්ය.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළකිරි (බ)
වැඩේ වැරදි වුනත් පිස්සු එල කොල්ලෝ ටිකක් (බ)
මන උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න කාලෙත් ඔය වගේ සිද්ධියක් වුණා. 11 වසරේ පිරිමි ළමයි හතර දෙනෙක් අල්ලපු වත්තේ කුරුම්බා කඩලා මුරකාරයට අහුවුණාම කියලා තියෙන්නේ ප්‍රින්සිපල්ගේ නමයි ගුරුවරුන්ගේ නම් ටිකයි. නම් කියනකොට තමා ප්‍රින්සිපල් දැනගත්තේ තමාගේ නම සහ ගුරුවරුන්ගේ නම් කියලා තියෙන්නේ කියලා. කොලුකමට කරන දේවල් වලට කරන්න දෙයක් නැහැ. ඒ කුරුම්බා කඩපු අය දැන් හොඳ රස්සා කරන්නේ. (නි)
කවුරු කළත් හොරකම නම් හොඳ නැහැ (නි)
මේවා මොන හොරකම්ද අනෙක් අය කරන ඒවායේ හැටියට (නි)
මම සහතික කරලා කියන්නම් මේ කොල්ලෝ සෙට් එක කෙදිනක හෝ ලංකාවේ ජනාධිපති, අගමැති සහ ඇමති මණ්ඩලය වෙනවා... මා කියූ දෙයක් වැරදුනේද නැත, හරි ගියේද නැත.....(බ)
අපේ පාසලේ කෘෂි විද්‍යාගාරය ලග තිබු උක් ගස් පදුරක් අපේ පන්තියේ ළමයි ටිකක් කපලා කාලා. මේ පිලිබදව සොයාබලා කෘෂි විද්‍යාගාරය බාර ගුරු තුමා අදාල ළමයි කාණ්ඩය අල්ලාගෙන පේලියට තබා විමසන විටදී එක අයෙකු කියාසිටියේ සර් මම කෑවේ නැ රස බැලුවා විතරයි කියලා. හරිම සුන්දර කාලයක් තමා ගම්බද පාසල් කාලය. (බ)
අපේ පාසල් සිසුන්ගේ තවත් නවතම සොයාගැනීමක්. මට සැක අනාගතය ගැනයි. (නි)
ඔය විෂය (සොරකම සහ බොරුව) දැන් ඉස්කෝලේ විෂයක් වෙන්න ඇති. මොකද අලුත් අධ්‍යාපන විෂය මාලාවට ඕක ඇතුළු කරන්න ඇති එතෙන්ට යන කට්ටිය අඩුවෙයි කියල බයට (නි)
හරිම නුවණක්කාර දරුවන් ටිකක් (නි)
හොරකම අපේ ලේ වල ජන්මයෙන්ම තියෙනවා. ගණන් ගන්න එපා හාමුදුරුවනේ. දැන් පහුගිය කාලේ රජවරුයි පුතාලය පවා හොරකම් කළේ. (නි)
කොල්ලෝ වැඩක් කළොත් මොනවද ඉතින් සුපිරි තමයි , හැබැයි ඉතින් පන්සල් වත්තේ තැඹිලි කඩන එකනම් මහා පවක් (බ)
මෙවැනිම සිදුවිමක් මිරිගම පාසලකත් සිදුවුණා 1982 වසරේ. (නි)
මේ වගේ කොලුකම් නොකර උස්මහත් වෙන කොල්ලන්ගෙන් වැඩක් නැහැ. එ්ත් ඒකෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් නොවෙන්න වගබලා ගන්න ඕනෑ. ඒ කොලුකම් උස්මහත් වෙද්දී අතහැරලා සමාජෙට යහපත් මිනිසුන් වෙන්න වගබලා ගන්න ඕනෑ. (නි)
නියම කතාවක් තමයි මේක.(හේ)
මොනවද ඔය කතා!!! අපිටත් ඔය වගේ කාලයක් තිබුණ. (අ)
අල්ලපු වත්තේ ඉන්න විදුහල්පතිගේ නම නොදන්න ලොකු හාමුදුරුවෝ (බ)
හොරෙන් තැඹිලි කඩන්න ගස් බඩගෑවත් මේ කොල්ලන් හොඳ මොළකාරයෝ වග පේනවා.... (නි)