(රක්වාන - ඩබ්ලිව්.ඒ. සිරිසේන)
බිරිඳ එතෙරින් ගෙනා සුවඳින් සැමියාට නිවසත් එපාවීමේ සිද්ධියක් රක්වානට නුදුරු තේවත්තකින් පසුගියදා අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.
වතු කම්කරු පවුලකි. සිඟිති දරු දෙදෙනෙකු ද ඇත. සතර දෙනාගේ ජීවිතය ගැටගසාගන්නේ වත්තේ කුලීවැඩ කර ලැබෙන සොච්චම් වැටුපෙනි.
දිනෙන් දින වැඩිවන ආර්ථික අගහිඟකම් නිසා පවුලේ දියුණුවක් ළඟපාතක නොපෙනෙන නිසා මේ තත්ත්වයෙන් යම් තරමකින් හෝ ගොඩ එන්නට සිතා මීට දෙවසරකට පෙර මැදපෙරදිග නිවසක ගෘහ සේවය සඳහා පිටත්ව ගියේ සැමියා සමඟ දරුදෙදෙනා ද තනිකර දමාය.
වසර දෙකක සේවා කාලයෙන් පසු බිරිඳ මෙරටට පැමිණියේ දරුවන්ටත්, සැමියාටත් දෙන්න තෑගි බෝග සහ කෑම වර්ග රෙදිපිළි ඇතුළු තවත් බොහෝ දේවල් බරටම රැගෙනය.
ඒවා අතර සැමියා වෙනුවෙන්ම ගෙනා විශේෂ තෑග්ග ද විය. එය ඉමිහිරි සුවඳකින් පිරුණු සුවඳ විලවුන් කුප්පියකි.
බිරිඳ එය විවෘත කර සැමියාගේ නාසයට ස්ප්‍රේ කළේ උතුරා යන සෙනෙහසිනි. එහෙත් එහි සුවඳ ආග්‍රහණය වූ සැමියාගේ ඇස්දෙක නිලංකාර වී හිසේරුදාවක් ද හටගත්තේය. වමනය දමා සිහිසුන්ව බිම වැටුණේය. මේ සිද්ධියට බියවූ බිරිඳ අසල්වැසියන්ගේ ආධාර ඉල්ලා කෑගැසුවාය.
අසල්වැසියෝ පැමිණ සිහිසුන්ව බිම වැටී සිටි සැමියාට ප්‍රථමාධාර දී නැගිටුවා සිදුවූයේ කුමක්දැයි විමසූහ.
ඊට සැමියා පවසා ඇත්තේ මෙසේය.
‘මේ ගෑනි අවුරුදු දෙකක් රට ඉඳලා ගෙනා සැන් බෝතලේ පුසුබට මම ක්ලාන්ත දාලා බිම වැටුණා. ඕවායේ පුසුබ මට නයාට අඳුකොළ වගෙයි. ඔය සුවඳත් එක්ක මටනම් මේ ගෙදර ඉන්න නම් බැහැ. ඒ නිසා මම අපේ අම්මලා ගෙදර යනවා. ඔය පුසුබ මේ ගෙදරින් වාෂ්පවෙලා ගියාට පස්සේ මම ආපසු ගෙදර එන්නම් යැයි’ බිරිඳට පවසා එසැනින් නික්ම ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd