(කුලියාපිටිය - චාමර විමලරත්න)
රැකියාව සඳහා විදේශගතව සිටින සිය සැමියාගෙන් ලද නියෝගයක් ඉටු කිරීමට පියවර ගත් මුසල්මානු බිරිඳකට හා ඇය සමග සිටි පාසල් වියේ වූ දියණියට ද පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුවීමේ පුවතකි මේ.
දිනය - ඉකුත් 21 වැනිදාය. ස්ථානය - කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන පරිශ්‍රයයි. මෙම සිද්ධියේ කතානායිකාව හා ඇගේ දියණිය කළු පැහැති දිගු ගවුම්වලින් සැරසී හිස් ආවරණය කර සිටියහ. රෝහල් වෛද්‍ය සායන පරිශ්‍රයේ පැවැතියේ දැඩි තදබදයකි. මුසල්මානු කාන්තාව අත තිබූ ජංගම දුරකතනය නාද විය. ඇය ඊට සවන් දුන්නාය. ඉනික්බිතිව ජංගම දුරකතනය තම දියණිය අතට පත් කෙරිණි. දියණිය තම මව, රෝහලේ වෛද්‍ය සායන පරිශ්‍රයේ රැඳී ගත් ඡායාරූප කීපයක් ජංගම දුරකතනයේ කැමරා කාචයේ සටහන් කර ගත්තාය. එය සැකකටයුතු දසුනක් ලෙස, රෝහල් පොලිසියට ක්‍ෂණිකව වාර්තා විය. රෝහල් පොලිසිය එම මව හා දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිසියට බාර දෙනු ලැබිණ. කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතා සැකකාර මවගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඇගේ ප්‍රකාශ අනුව හෙළි වූ කරුණු මෙසේය. සැකකාරියට රෝහලේ දී දුරකතන ඇමතුම දී ඇත්තේ විදේශගතව සිටින ඇගේ සැමියාය. සැමියා බිරිඳ අමතා සුවදුක් විමසා, රෝහල් පරිශ්‍රයේ ඇය රැඳී ඉන්නා ඡායාරූප කීපයක් ගෙන තම දුරකතනයට එවන ලෙස පවසා ඇත.
සිය පියාගේ දැනුම්දීම අනුව දියණිය රෝහල් සායන පරිශ්‍රය පසුබිම් කොටගත් මවගේ ඡායාරූප කීපයක් ගෙන ඇත. පොලිසියෙන් එම ඡායාරූප නිරීක්‍ෂණය කළේය. රටේ දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස මවට හා දියණියට අවවාද කරමින් ඔවුන් මුදාහැරීමට පොලිසිය පියවර ගත්තේය. මව හා දියණිය පොලිසියෙන් පිටතට එන විට ඔවුන්ගේ දෙනෙත්වල කඳුළු දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිරීති පනවලා තියෙන්නේ තවත් දුවෙකුට, පුතෙකුට කඳුළු නොසලා ඉන්නයි. එක පියෙක් සතුටු කරනවට වඩා දහස් ගණන් පියවරු සතුටු කරන එක කොච්චර වටිනවද?