(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
“මට හොඳට පීනන්න පුළුවන්. තරගෙට පීනලා තෑගිත් සම්මානත් අරගෙන තියෙනවා. අනේ! රාලහාමි ගඟ බොහොම සැරයි. මාව අල්ලන්න ගිහිල්ලා ගඟේ ගහගෙන ගිහින් ගිලිලා මැරෙන්න හදන්න එපා.”

බූරුපොළ වැටලූ පොලිස් නිලධාරින්ගෙන් බේරීමට ගඟට පැන පීනා යමින් සිටි පුද්ගලයකු එසේ කියා ඇත්තේ ගඟ මැද දී තමාගේ කකුලෙන් අල්ලාගත් පොලිස් නිලධාරියාටය.
සිද්ධිය මෙසේය.
අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බූරු පොළකි. එය ඉතාම රහසිගතව පොලිස් ඇසට වැලි ගසමින් පවත්වාගෙන යන්නකි. එදින රාත්‍රී 8.00 හෝ 8.30ට පමණ ඇත. අමාවක දිනයක් බැවින් මුළු ප්‍රදේශයම ගණ අඳුරෙන් වැසී පවතී. වරින් වර ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව නිසාද තව තවත් ගණ අදුර වැඩිවෙමින් පැවතිණි. කලා මැදිරි එළියක් හැර වෙනත් එළියක් බූරු තිප්පොළ පැත්ත පළාතේ නැත. එනම් කෑලි කැපිය හැකි ගණ අඳුරකි.
ලද තොරතුරක් මත මෙම රහසිගත බූරු පොළ වැටලීමට පැමිණ ඇත්තේ සීතාවක කොට්ඨාස විශේෂ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරින් පිරිසකි.
පොලිසිය බූරු පොළ වටලන අවස්ථාවේ සූදු කෙළියේ යෙදී සිටි පිරිස් ඔන්න පොලීසියෙන් පැන්නෝයි පිරිසේ අයකු පවසනවාත් සමඟ බූරු ගැසූ පිරිස හිස් ලූ ලූ අත සී සී කඩ දුවන්නට පටන් ගත්හ.
ඒ අවස්ථාවේ 10ක් 15ක් වැනි පිරිසක් සූදු කෙළියේ යෙදී සිටි බව කියති. ඉන් පස් දෙනකුත් බූරු කුට්ටම සහ මුදලුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
බූරු ගැසූ පිරිස අතුරෙන් සූදු අන්තුවෝ දෙදෙනෙක් කැලණි නදියේ ගුරුගල්ල නව පාලම දෙසට වේගයෙන් දිව ගියහ. පොලිස් නිලධාරීහුද විදුලි පන්දම් එල්ල කරමින් එම දෙදෙනා පසුපස ලුහු බඳින්නට වූහ. තමන්ගේ පිහිනීමේ දක්‍ෂතාව ගැන පාරම්බෑවේ එම අවස්ථාවේ ගඟට පැන පිහිනූ එක් සැකකරුවෙකි.
පොලිස් නිලධාරියා අල්ලාගෙන සිටි කකුල වැරෙන් ගස්සමින් එගොඩ ගොඩට පිහිනා ගිය සූදු අන්තුවා ආධාර ඉල්ලා කෑගසා තිබේ. එම කෑගසීම ඇසී ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පන්දම් එළි රැගෙන පැමිණ පරික්‍ෂා කිරිමේදී මොහුගේ කකුලෙන් කොටසක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව හෙළිවිය.
ප්‍රදේශවාසීන්ගේ ආධාර ඇතිව ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය.
සීතාවක කොට්ඨාස පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත එම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එම්. ගරුසිංහ සැරයන් (69295) රාජගුරු, පොලිස් කොස්තාපල්වරු වන (745057) බණ්ඩාර, (88467) විජේසූරිය, (73844) ක්‍රිෂ්නා යන පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd