බෙල්ලෙනුත් පහළට කොණ්ඩය වවා ඇති මාතලීගේ කන් දෙකෙහිම රවුම් තෝඩු දෙකකි. කකුල්වල ඇඟිලිවල ද සුදු පැහැති මුදු දෙක තුනකි. මොහු පදවන රියද තොරණක් වැනිය. එය සැරසීමට විවිධාකාරයේ උපාංග යොදා ඇත. ඒ සියල්ල ඉවසිය හැකි වුවද රියෙන් නැඟන ඇසෙන ඝෝෂාකාරී කන්කරච්චල් සංගීතය පාරේ යන එන අයටද මහත් කරදරයකි. මහා හඬින් නිකුත් වන සංගීත රාවය හරියට සංගීත සංදර්ශනයක් පාවෙනවා වැනිය. මෙය නොරිස්සු ගමේ තරුණ පිරිසක් දිනක් මග රැක සිට රියට අත එසවූහ. කුලී ගමනක් යැයි සිතා රියැදුරු තරුණයාද එය නතර කළේ රථයේ සංගීත හඬ තවත් ටිකක් වැඩි කරමිනි. මොකක්ද මල්ලී මේ කරච්චලේ. පාරේ යන එන අයටවත් කනක් ඇහිලා ඉන්න නෑනේ. යැයි එක් තරුණයෙකු කීය. ‘‘ගණන් ගන්න එපා අයියා.  ඕක ඇග නැටවෙන සංගීතයක්නේ’’ රියැදුරු තරුණයා ගණනකට නොගෙන පැවසුවේය. ‘‘මල්ලි මේක තව වැඩි කරන්න බැරිද?’’ ඒ තවත් තරුණයෙක්ගේ පැනයකි. ‘‘අපොයි පුළුවන්. ඔන්න බලන්න. දැන් මේ සද්දේ මීටර් සීයක් දුරට ඇහෙනවා.” රියැදුරු තරුණයා ගීතයේ හඬ තවත් වැඩි කරමින් ඉමහත් උජාරුවෙන් පැවසීය. ‘‘ආ දැන් ඉතිං තමුසේ මේ සංගීතෙට නටනවා නැත්නම් අපි වාහනේ අර ඇළට පෙරළනවා.” මෙසේ කී තරුණ පිරිස රියැදුරු තරුණයාට සංගීතයට අනුව නටන ලෙසට බල කර සිටියේ, එසේ නොකළ හොත් ඇඟ රිදෙන්න බේත් දෙන බවට ද තර්ජනය කරමිනි. මෙය දුටු වටපිට සෙනඟ ද එතැනට රැස් වෙද්දී රියැදුරු තරුණයා ගීතයට අනුව හොඳහැටි නටන්නට විය. බලනවා මීට පස්සේවත් අනිත් අයට කරදරයක් නැතුව පාරේ යන්න. ඔය සංගීතෙ අඩු කරලා. හොඳටම හෙම්බත් වනතුරු රියැදුරා නැටවූ තරුණ පිරිස ඔහුට යන්නට හැරියේය.