උල්කාපාත වර්ෂාවක් ඇද හැලෙනවා යැයි රූපවාහිනී නාළිකාවක ගිය ප්‍රවෘත්තියක් දැක අලුයම් කාලයේ තරු බලන්න ගිය පුද්ගලයෙකු නොසිතූ අකරතැබ්බයකට මුහුණ දී තරු පැනපු කතාවක් ගැන දකුණේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
කුඩා කල සිටම පරිසරයට පෙම් බැන්ද මෙම පුද්ගලයා දැන් ඉන්නේ විශ්‍රාම සුවයේය. ගෙවත්තේ ගහ කොළ වවාගෙන කුරුල්ලන්ට කෑම බීම දෙමින් කුරුළු කූඩුවල ඉන්න පැටවුන්ට පවා කෑම කවමින් හේ නිරන්තරයෙන්ම පරිසරයේ සුව වින්දේය.
පසුගිය දිනෙක හෙතෙම රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටින විටදී හෙට අලුයම් කාලයේ උල්කාපාත වර්ෂාවක් ඇද හැලෙන බවත්, එය පාන්දර හතර පහ කාලයේ දී නැගෙනහිර අහස්කුසේ දී දැක ගැනීමට හැකි බවත් නිවේදනය කළේය.
එය ශ්‍රවණය වූ ගමන්ම අනිවාර්යයෙන්ම එය නැරඹිය යුතු යැයි ඔහු අදිටන් කර ගත්තේය. ඒ ගැන බිරියට කිව්වා නම් ‘‘අනේ ඔහේට පිස්සු වුණාට අපිට පිස්සු නෑනෙ!” කියන පිළිතුර ලැබෙන නිසා ඒ ගැන සිය ඇඹේනියටවත් කිව්වේ නැත.
උල්කාපාත සිහියෙන් නිදාගත් ඔහුට හරියටම හතරයි කාලට ඇහැ ඇරුණි. සින්ක් එක ළඟට ගිහින් ඇස් දෙකත් සෝදාගෙන හිස් බඩට වතුර වීදුරුවකුත් බී ජංගම දුරකථනය හා විදුලි පන්දමත් අරගෙන සද්ද නොනැගෙන සේ දොරත් ඇරගෙන ඔහු එළියට බැස්සේය.
වත්තේ ගස් නිසා මිදුලේ සිට නැගෙනහිර අහස දිස් නොවන නිසා ඔහු ගේට්ටුවත් ඇරගෙන පාරට බැස්සේය. පාරෙන් එහා පැත්තේ තියෙන්නේ වතු සමාගමකට අයත් පැළ පොල් වගාවකි. ඔහු කම්බි පොටක් පාත්කරගෙන ඒ වත්තට පැන්නේය. දැන් හරි නියමෙට පේනවා යැයි සිතමින් පොල් ගසකට හේත්තුවී ඔහු නැගෙනහිර අහස දෙස බලා උන්නේය.
තවම එක තරුවක්වත් කඩා වැටුණේ නම් නැත. කූඹියකු වැනි කුඩා සතකු කකුල් දිගේ නගිනවා දැනී කකුල් දෙක ගසා දැමීය. දෙපාරක් තුන් පාරක්ම තදින් කකුල් දෙක බිම ගසමින් හේ නැගෙනහිර අහස දෙසම බලා සිටියේය.
ඔහු කකුලෙන් ගැසීම නිසා පොල් මුලේ සිටි කඩිගුල ඇවිස්සී කකුල් දෙක දිගේ ඉහළට නැගි කඩියෝ ඔහුට දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. සරමත් උඩ අමුණාගෙන සිටි නිසා ඉහළට නැගි කඩියන්ට ප්‍රහාරය පහසු වී තිබුණි. කඩි කෑමෙන් තරු පෙනුණු ඔහුට උන් හිටිතැන් අමතක විය. කලබලෙන් කම්බි වැට පැනගන්නට ගොස් කකුලත් තුවාල කරගෙන හෙතෙම ගෙදර දිව්වේය.
පසුව බිරිය හා පුතා එක්ව ඔහුගේ කකුල් දෙක සපාගෙන සිටි කඩි ගලවා උන් සපා කෑ තැන්වල බෙහෙත් තෙල් ගැල්වීය.” නාකි මිනිස්සු පාන්දර යාමෙ නැගිට ගෙන ඉලන්දාරි කරන වැඩ කරන්න යනවට හොඳ වැඬේ ඔහේට වුණේ” කියමින් බිරිඳ පටන්ගත් ආඩපාලිය බිමට එළිය වැටෙන තෙක්ම නතර නොවීය. ” කඩි කෑවත් කමක් නෑ. එක තරුවක්වත් දැක්කෙ නෑ. ” යැයි කියමින් ඔහු තවමත් ඉන්නේ වික්ෂෝපයෙන්ලු.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd