රෝගියා පැවසූ වදනින් වෛද්‍යවරයා නිරුත්තරවීමේ පුවතක් වයඹ පුරවරයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


වයඹ පුරවරයේ ප්‍රසිද්ධ නගරයක රාජ්‍ය සේවයේ නියැලී සිටි අයෙක් හදිසියේ නැගිට ගැනීමේ අපහසුතාවයකින් පසු වූ නිසා ඔහු නිවාඩු ලබා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි තම නිවහන කරා ගොස් ඇත. එම රෝගී තත්ත්වය තවත් උත්සන්නවීම නිසා සිරිලක රෝහල් අතර ප්‍රසිද්ධියක් උසුලන රෝහලකට ඔහු ගොස් ඇත්තේ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර මත හෝ එය නිට්ටාවට සුවකර ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුවය.


එසේ ගිය පසුව පළමුව රෝගියා සායනයේ ලියාපදිංචි කොට ඊට අදාළ පොතක් ද රැගෙන රෝගියා ඉන් අනතුරුව පෝලීමේ රැඳී සිට විශේෂඥ වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක් කෙරුණි.


රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරයා රුධිර පරික්ෂාවක් කරගෙන එන ලෙසට රෝගියා දැනුවත් කර ඇත. 


ඒ අනුව ඔහු පෞද්ගලිකව මුදලක් ගෙවා පරික්ෂණය සිදුකරගන දින කිහිපයකට පසුව ලද ප්‍රතිඵල වාර්තාවත් රැගෙන නැවතත් අදාළ වෛද්‍යවරයා හමුවීමට වෙනත් දිනයක සායනය සඳහා ගොස් තිබේ.


වෛද්‍ය වාර්තාව පරික්ෂාවට ලක් කළ වෛද්‍යවරයා රෝගියාගේ කොඳු ඇට පේළියේ තිබෙන යම් රෝගීතාවක භයානකකම තේරුම් කර දී එය සුවකර ගැනීමට කඩිනමින් එන්නත් හයක් ද්‍ිය යුතු බවත්, ඒ එකක මිල රුපියල් ලක්ෂයක් වන නිසා එන්නත් හයට ලක්ෂ හයක් පෞද්ගලිකව මිල දී ගත යුතු බවත් රෝගියාට පැවසීය.


 රෝගියා එවැනි මුදලක් වැයකර එන්නත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් තිබේ ද කියා විමසීය.


‘‘සමහර විට හරි යයි. හරි ගියේ නැත්නම් ආයෙත් සැත්කමක් කරන්න වෙනවා’’ වෛද්‍යවරයාගේ පිළිතුරු විය.


‘‘සැත්කමකින් පස්සෙ ලෙඩේ නිට්ටාවට සනීප වෙයිද?’’ රෝගියා නැවතත් ප්‍රශ්න කළේය.


‘‘සමහර විට හරියන්නත් පුළුවන්, සමහරවිට වරදින්නත් පුළුවන්. වැරදුණොත් දිගටම ඔත්පලව ඉන්න වෙන්නේ’’ දොස්තර කීය.
ඒ සමඟම රෝගියා පුටුව පස්සට දමා නැගිට්ටේය.


‘‘සර්, මම යන්නම්. සර් සායන පොත තියා ගන්න. මට ඔය පොත එපා. මම ආයෙත් බෙහෙත් ගන්න සායනයට එන්නෙත් නෑ’’ යැයි කීවේය.


‘‘ඇයි? බෙහෙත් ගන්නේ නැතිව ඔයා මොකක්ද කරන්න හදන්නේ?’’  පිටත්ව යාමට සූදානම් වන රෝගියාගෙන් දොස්තර මහතා ප්‍රශ්න කළේය.


‘‘නැහැ සර්, මම ඔත්පල වෙනකම් ඉන්නම්. මම යන්නම්.’’ රෝගියා නික්ම ගියේය.


දොස්තර සායන පොතත් නැතිව නික්ම යන රෝගියා දෙස බලා සිටියේය.


රෝගියා එදා සිට මේ දක්වා එවැනි කිසිදු රෝගයකට ලක් නොවී තවමත් යහතින් සිටිනවාලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම