තමුන්ටම කියා යතුරු පැදියක් නැතත් යතුරු පැදිවල නැගී යද්දි ආරක්ෂාවට පළඳින හිස් වැස්මක් අතින් රැගෙන දිනපතාම සේවයට යන පුද්ගලයකු පිළිබඳ පුවතකි.


තරමක් අර්ධ නාගරික ප්‍රදේශයකි. ඔහු එම ප්‍රදේශයේ එක්තරා ආයතනයක සැලකිය යුතු මට්ටමේ රාජකාරියක් කරන සේවක මහතෙකි.
 සිය නිවසේ සිට කිලෝමීටර් හය හතක් ඈතින් තම නිවස පිහිටීම නිසාත් නිවසේ සිට තමා සේවය කරන ආයතනය වෙත ඒමට නිසි බස් සේවාවක් නොමැති වීම නිසාත් ඔහුට කලට වේලාවට සේවා ස්ථානය වෙත පැමිණීම ගැටලු‍වක්ව තිබිණි.


එම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු තමුන් මිල දී ගත් යතුරුපැදිවලින් සේවයට පැමිණියත් මතට ඇබ්බැහි වීම නිසා ආර්ථික තත්ත්වය පිරිහී සිටි ඔහුට යතුරු පැදියක් මිලදී ගැනීමේ හැකියාවක් ද නොතිබිණි. 


තමන් යන එන මාර්ගයේ ඕනෑතරම් යතුරු පැදි හමු වුවත් හිස් වැස්මක් නොමැතිව පුද්ගලයන් ප්‍රවාහනයේ දී පොලීසියෙන් දඩ කෑමට සිදුවන නිසා යතුරුපැදි හිමිකරුවන් ඔහු නංවා ගැනීම සෑම විටම ප්‍රතික්ෂේප කිරීම ඔහුට මහත් හිසරදයක් වී තිබිණි.


 කපටි නුවණක් ඇත්තකු වූ හෙතෙම සේවයට ඒමටත් සේවය නිමවී නිවසට යෑමටත් අපූරු උපායක් යෙදෙව්වේ සිය ගණදෙවි නුවණ මෙහෙයවමිනි.


යතුරුපැදියක් මිල දී ගැනීම පසෙක තැබූ ඔහු යතුරුපැදිවල නැගී යනවිට පළඳින ආරක්ෂිත හිස්වැස්මක් හෙවත් හෙල්මටයක් මිල දී ගත්තේ සුළු වියදමක් දරමිනි. දැන් කලෙක සිටම උදේ හවස පාගමනින් සේවයට පැමිණිය ද ඔහුගේ ගමන් බෑගයට අමතරව අනෙක් අතේ ආරක්ෂිත හිස් වැස්මකි.


 යන එන මග හුදකලාව ගමන් ගන්නා යතුරුපැදිකරුවකු දුටුවහොත් ඔහු ඊට අත දමන්නේ අනෙක් අතේ ඇති හිස්වැසුම ද ප්‍රදර්ශනය කරමිනි. එවිට යතුරුපැදිකරු ඔහු නංවාගෙන යන්නේය. ඔහු බොහෝ විට දැන් සේවයට පැමිණෙන්නේත් සවසට නිවස බලා පිටව යන්නේත් අතේ ඇති හිස්වැස්මට පින්සිදු වන්නටය. 


එපමණක් නොව සේවා ස්ථානයේ කිසිවෙකුට හෝ හදිසි ගමනක් යාම සඳහා අතිරේක හිස්වැස්මක් අවශ්‍ය වූ විට ඊට පිහිට වන්නේ ද ඔහුගේ හිස් වැස්මය.


ඒ නිසාම ඔහුගේ අතේ හෙල්මටයක් දක්නට නොලැබුණොත් අයිය කෝ අද හෙල්මට් එක යැයි අසන්නට එහි සෙසු සේවකයෝ ද අමතක නොකරති.

 

වියලු‍ව වාර්තාකරු