හෝටලයකට අලුතෙන් සේවකයකු පැමිණියේ තේ පිළියෙළ කිරීමටය. ඔහු ටී මේකර් ය. මුදලාලි ඔහු අමතා, ‘‘වතුර අපතේ යවන්න එපා කෑම කන කෙනාගේ මේසෙට වතුර වීදුරුවක් තිබ්බාම සමහරු වතුර වීදුරුවම බොනවා. තවත් අය බොන්නේ වතුර වීදුරුවෙන් භාගයයි.

ඒවා අරගෙන වේටර් ඔතනට ආවාම ඉතුරු වුණ වතුර බාගෙ විසි කරන්න එපා. මිනිස්සුන්ට පේන්නෙ නැතිවෙන්න, ඒ වතුර වීදුරු බාගෙට වතුර පුරවලා, තියන්න ඕනෙ හරිද’’ යැයි පැවසීය. 


සේවකයා එකඟ විය. මාසයක් ගතවිය. පොරොන්දු වූ වැටුප නොගෙවූ නිසා තේ සාදන්නා සිටියේ අමනාපයෙනි. මුදලාලිට පාඩුවක් කිරීමට තීරණය කළ තේ සාදන්නා මෙහෙයුමක් දියත් කළේය. හෝටලය වසන විට තේ පැන්ට්‍රියේ ජල කරාමය විවර කරන ඔහු උදෑසනම අවදිවී ජල කරාම වසා දැමුවේ කාටත් හොරාය.


මාසය අවසන දී තේ සාදන්නා ගමේ යෑම සඳහා තම වැටුප් ඉල්ලූවිට මුදලාලි දුන්නේ රුපියල් පන්දහසක් අඩුවෙනි. කිසිවක් නොකී තේ සාදන්නා තම ඇඳුම් ද රැගෙන පිටවූයේ ආපසු නොඑන අදහසිනි. 


දින දෙකකට පසු ජල මීටරය කියවන්නා ජල බිල්පත මුදලාලිට දුන්නේ ‘‘මුදලාලි මේ සැරේ නම් බිල ගොඩක් වැඩියි’’ කියමිනි.
බිල අතට ගත් මුදලාලිට තරු පෙනුණි. වෙනත් මාසවලට වඩා රුපියල් විසිදහසක වැඩිවීමක් බිලේ සඳහන් විය. ‘‘මේක අරූගේ ජරා වැඩක්’’ යැයි පැවසීය.


ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය