(ගයාන් සූරියආරච්චි)

මදුරුවකුගේ දෂ්ට කිරීම මගින් සිරුරට ඇතුළු වන ඩෙංගු වයිරසය, ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා වර්ධනයවී මාරාන්තික තත්ත්වයක් පවා ඇති කෙරේ.

මේ දිනවල පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ගෙවත්තේ ඇති ටින්, පොල්කටු, බිත්තර කටු, බෝතල් සහ වහලයේ පීලිවල ජලය රැඳී මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉතා වැඩිය.

ඊඩීස් ඊජිප්ටි (Aedes aegypti) නැමැති මදුරු විශේෂයේ ගැහැනු මදුරුවා ඩෙංගු වයිරසය ආසාදනය කිරීම සිදුකරයි.

ඩෙංගු මදුරුවකු දෂ්ට කළ සැනින් ඩෙංගු රෝග ලක්ෂණ පහළ නොවන අතර ඒ සඳහා දින 3 ත් 14 කාලයක් ගතවේ. (බොහෝ විට දින 4 ත් 7 ත් අතර රෝග ලක්ෂණ මතුවේ.

ඩෙංගු රෝගියකුගේ රුධිර උරා බිව් මදුරුවකුගෙන් තවත් පුද්ගලයකුට ඩෙංගු රෝගය ආසාදනයවේද?

මදුරුවකු ඩෙංගු රෝගියකුගේ රුධිර උරා බිව් පසුව යම් කාලයක් තුළදී මදුරුවාට ඩෙංගු රෝගය ආසාදනය වෙයි. එවැනි ආසාදිත මදුරුවකුගේ දෂ්ටනයක් මගින් තවත් අයකුට ඩෙංගු රෝගය ව්‍යාප්තවීම දැකිය හැකිය.

මෙහිදී සිදුවන්නේ ඩෙංගු රෝගියකුට මදුරුවකු දෂ්ට කිරීමෙන් අනතුරුව දින කීපයකින් මදුරුවාටද ඩෙංගු රෝගය ආසාදනයවීම සිදුවන අතර එම ආසාදිත මදුරුවා නිරෝගී පුද්ගලයකුට දෂ්ට කිරීම මගින් ඩෙංගු රෝගය ආසාදනයවීම දැකගත හැකිය.

ඩෙංගු රෝගියකුගේ දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, හන්දි හෝ මාංශ පේශී වේදනාව, රතු පැහැති පැල්ලම් මතුවීම (එම ස්ථානයට අත තබා තද කර නැවත ගත්විට කහපාටවීම) දැකිය හැකිය. එමෙන්ම කුඩා ලේ පැල්ලම් සමේ දැකිය හැකිය.

රුධිර පරීක්ෂණයේදී සුදු රුධිරාණු (WBC) 5000 ට වඩා අඩුවී දැකිය හැකිය. එමෙන්ම රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) 150,000 වඩා අඩුවිය හැකිය. සාමාන්‍යයෙන් උණත් සමග සුදු රුධිරාණු අඩුවීම සහ රුධිර පට්ටිකා අඩුවීම ඩෙංගු රෝගය ආසාදනයවී ඇති බවට සැක කළ හැකිය.

උණ, ඇඟපත වේදනාව සමඟ පාචනය වැනි තත්ත්ව ද දැකිය හැකිය. මෙහිදී එය උදරාබාධයක් ලෙස සිතා ගණන් නොගෙන සිටීම භයානකය. එමෙන්ම මෙම රෝග ලක්ෂණ සමඟ උගුරේ වේදනාවද දැකිය හැකිය.

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ සිරුරේ ඇති රුධිර පට්ටිකා 150,000 සිට 400,000 දක්වා පවතී.

ඩෙංගු රෝගය හඳුනාගන්න පරීක්ෂණ මොනවාද?

ඩෙංගු රෝගය හඳුනාගැනීම සඳහා මූලික වශයෙන් පරීක්ෂණ දෙකක සිදුකෙරේ.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය (NS1)

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සිදුකළ හොත් උණ හටගෙන පළමු දවසේ සිට 7 වැනි දින දක්වා ඩෙංගු ආසාදනයවී ඇති බව හඳුනාගැනීමට පිළිවන.

ඩෙංගු ඇන්ටි බොඩි පරීක්ෂාව

මෙම පරීක්ෂණයේදී සාමාන්‍යයෙන්  උණ ඇතිවී 5 වැනි දිනෙන් පසුව ඩෙංගු ආසාදනයවී ඇතිබව හඳුනාගැනේ.  මෙහිදී උණ ඇතිවී පළමු දින මෙම පරීක්ෂණය කළ හොත් ඩෙංගු ආසාදිතයකු වුවද සමහර විට ආසාදනය නොවුණ පුද්ගලයකු ලෙස ප්‍රතිඵල ලැබීමට ද ඉඩ ඇත.

3 වැනි දිනයෙන් පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) ලබාගත යුතුය. සාමාන්‍යයෙන් ඩෙංගු රෝගයේ සංකූලතා ඇතිවනුයේ 3 වැනි දිනයෙන් පසුවය.

ඩෙංගු රෝගය ආසාදනය වී ඇත්නම් ළඟම ඇති රෝහල වෙත පැමිණ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි නිවෙසේ සිට ප්‍රතිකාර ලබන්නේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ද යන්න පිළිබඳව උපදෙස් ලබාගත යුතුය.

නිවෙසේ සිට ප්‍රතිකාර ලබන්නේ නම්

ඩෙංගු ආසාදනයවූ රෝගියකුට විවේකය ඉතා අවශ්‍යය. එමෙන්ම උණ සඳහා වැඩිහිටියකුට පැරසිටමෝල් 2 බැගින් පැය 6 කට වරක් ලබාගත යුතුය. එය දිනකට පෙති 8 කට වඩා නොගත යුතුය. මෙහිදී පැරසිටමෝල් ගත්තද උණ තත්ත්වය සමහරවිට දැකිය හැකිය. එවිට තෙත රෙදි කැබැල්ලකින් හිස, පපුව, අත්යට ප්‍රදේශය තෙත මාත්තු කළ යුතුය.

පැනඩෝල් හැර වෙනත් වේදනා නාශක ඩෙංගු රෝගයේදී භාවිත කිරීම යෝග්‍ය නොවන අතර වමනය හෝ උදරයේ දැවිල්ල ඇතිවේනම් පවුලේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගැනීම සුදුසුය.

ඇඳ විවේකයේ සිටියද උණ ඇතිවී තෙවැනි දිනයේදී අනිවර්යයෙන්ම සම්පූර්ණ රුධිර පරීක්ෂණය (FBC) සිදුකළ යුතුය. මෙහිදී ඉතා වැදගත් කරුණ නම් තෙවන දිනෙන් පසුව දිනපතා සම්පූර්ණ රුධිර පරීක්ෂණ සිදුකරමින් ඩෙංගු සුව වනතුරු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්වේ. විවේකයට අමතරව  වැඩිහිටියකු නම් ලවණ අඩංගු දියර (තැඹිලි, ජීවනී) දියර වර්ග දිනකට මිලිලීටර් 2500 ක් පමණ පානය කළ යුතුය.

වමනය හෝ ප්‍රියතාවක් නොමැතිකම  හෝ හේතුවෙන් දියර වර්ග පානය කිරීමට අපහසුනම්, උණ අඩුවුවත් ඇඟේ වේදනාව සහ ක්ලාන්ත ගතිය පවතී නම් රෝහල්ගතවීම සුදුසුය. උණ බැසගිය පමණින් ඩෙංගු සුවවූවා යැයි නිගමනය කිරීම වැරැදිය. ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවනුයේ උණ බැසගිය පසුවය.

එමෙන්ම ලේ කැටි ගැසීම අඩුකරන ඖෂධ වර්ග භාවිත කරන රෝගීන් විශේෂයෙන්ම වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ප්‍රතිකාර ලබාගත යුතුය.

රෝහල්ගත යුත්තේ කුමන අවස්ථාවේදීද?

රුධිර පට්ටිකා ප්‍රමාණය 100,000 වඩා අඩුවේ නම් රෝහල් ගත විය යුතුය. එමෙන්ම එක් දිනක රුධිර පට්ටිකා ප්‍රමාණය ලක්ෂ 3 දක්වා වැඩිවී පසුදින 100,000 ට පමණ අඩුවේ නම් රෝහල්ගතවීම වැදගත් වේ.

රුධිර පට්ටිකා ප්‍රමාණය 100,000 වඩා වැඩි වුවත් තද උණ සමග උදරාබාධ තත්ත්වයක් ඇත්නම්, තද වමනය ඇත්නම්, හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් හෝ දත්වලින් හෝ විදුරුමස්වලින් ලේ ගැලීම සිදුවන්නේ නම් හෝ නිදිමත ගතිය හෝ ආතතිය තත්ත්වයක් ඇත්නම් වහාම රෝහල්ගත වියයුතුය.

අනිවාර්යයෙන්ම රෝහල්ගත වියයුතු අය කවුද?

සාමාන්‍යයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය 100,000 ට වැඩි වුවත් ඩෙංගු ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති ගැබිනි මවුවරුන්, වැඩිහිටි පුද්ගලයන්, අධික තරබාරු පුද්ගලයන් සහ වෙනත් නිධන්ගත රෝග ඇති (හෘද රෝග, වකුගඩු රෝග, දියවැඩියාව, තැලසීමියාව) පුද්ගලයන් රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීම වැදගත් වේ.

ඩෙංගු රෝගයෙන් වළකින්නේ කොහොමද?

ගෙවත්ත ඉතා පිරිසුදුව තබාගැනීම වැදගත් වන අතර ටින්, බෙලෙක්ක, පොල්කටු වැනි ජලය තැන්පත්වන උපකරණ පිළිබඳව අවධානය යොමුකර ඒවායේ ඇති ජලය ඉවත් කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම නිවෙසෙන් බැහැර කරන ඉවත දමන අපද්‍රව්‍ය ගෙවත්තේ වළක් කපා වළදැමීමෙන් බොහෝ දුරට මදුරුවන්ට බෝවීමට අවශ්‍ය පරිසරය සීමාවේ.

ඩෙංගු ආසාදිත රෝගියකුගෙන් මදුරුවකු ලේ උරාබීමෙන් දින කීපයකින් පසුව මදුරුවාටද ඩෙංගු ආසාදනය වී තවත් නිරෝගී පුද්ගලයකුට එම මදුරුවා මාර්ගයෙන් ඩෙංගු ආසාදනය විය හැකි බැවින් නිරෝගී පුද්ගලයන් මෙන්ම ඩෙංගු ආසාදනය වූ රෝගීන් ද මදුරු දැල් භාවිත කිරීම ඉතා වැදගත් වේ.