IMG-LOGO

එජාපය ඔය පත්වීම පිළිගන්නේ නෑ

අකිල විරාජ් කාරියවසම්ගේ විග්‍රහය මෙසේ විවර කරමු.

ප්‍රශ්නය - හිටිගමන් ආණ්ඩුවට වුණේ කුමක්ද?

පිළිතුර - ආණ්ඩුවට මොනවත් වෙලා නැහැ. නව අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්. ඒක ඉතාම පැහැදිලි කරුණක්. මේ පත්වීම අපි කිසි ලෙසකින්වත් පිළිගන්නේ නැහැ. නීත්‍යනුකූල නොවන දෙයක් පිළිගන්න මේ රටේ අති බහුතරය සූදානම් නැති බව පැහැදිලිවම කිවයුතු කරුණක්. පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණට. පාර්ලිමේන්තුවේ බහුතරයට අවශ්‍ය සංඛ්‍යාව අපට ඉන්නවා. එනිසා ආණ්ඩුවට මොකුත් වෙලා නැහැ. මේක වැරැදි පත්කිරීමක්. වැරැදි තීරණයක්. ඒකට එරෙහිව අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය - මොනවද ඒ ක්‍රියාමාර්ග?

පිළිතුර - හොඳම දේ තමයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම. ඒක අපට බොහොම පැහැදිලිව කරන්න පුළුවන්. එ.ජා. පෙරමුණේ සියලුම පක්ෂ නායකයන්, කණ්ඩායම් සමග පෙරේදා අපි රැස්වී අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළා. ඒ අයගේ සහයෝගය ඉදිරියටත් එජා පෙරමුණු ආණ්ඩුවට තිබෙන බව පැහැදිලිව කියා සිටියා. යළිත් මේ රට අඳුරු යුගයකට ගෙන යාමට ඔවුන් ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා. අලුත් අගමැතිවරයකු පත්කරන්න ධූරයේ හිස්වීමක් වුණේ නැහැ. ඒ වගේම වෙනත් කාට හෝ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනව නම් ඒ බව පෙන්වන්න ඕන. මේ දෙකෙන් එකක්වත් වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න මේ අයට බැරි නිසා පාර්ලිමේන්තු සැසිවාරය කල්දැම්මා. විවිධ ක්‍රම යොදාගෙන බහුතරය හදාගන්න දැන් කටයුතු කරමින් සිටිනවා. එහෙම බහුතරය හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීලනිපයේ පමණක් නෙමෙයි පොදුජන පෙරමුණෙනුත් අපි සමග සම්බන්ධ වීමට කණ්ඩායමක් සාකච්ඡා කර තිබෙනවා.

ප්‍රශ්නය - ඔබලා සාකච්ඡා කර කර සිටින විට එජාප මන්ත්‍රීවරු මේ වනවිට අනෙක් පැත්තට ගිහින් නේද?

පිළිතුර - ඒක අපට ප්‍රශ්නයක් නෙමෙයි. අපට මන්ත්‍රී 107 ක් ඉන්නවා. එයින් ප්‍රශ්න තිබෙන එක්කෙනෙක් දෙන්නෙක් සිටියා. අපි ඒ අය අතහැරලයි සිටියේ. ඒ අයට තිබෙන්නේ වෙන වෙන ප්‍රශ්න. අපට ඒව විසඳන්න බැහැ. සමහර ප්‍රශ්න කොහොමටවත් විසඳන්න බැහැ. ඒ නිසා ඕවා අපට ගැටලුවක් නෙමෙයි.

ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වට එජාපයේ විස්සකට වැඩි පිරිසක් නව අගමැතිට සහය දෙන බවට ඔවුන් අභියෝග කරනවා නේද?

පිළිතුර - පුළුවන් නම් එහෙම අරගෙන ආණ්ඩුවක් හදල පෙන්නන්න කියා අපි අභියෝග කරනවා. මීට පෙරත් විශ්වාසභ​ංගයක් ගෙනැවිත් අපට අභියෝග කළා. ඒ අභියෝගය දැවැන්ත පරාජයකට ලක්කරන්න අපට පුළුවන් වුණා. ඒ වගේම මේ අභියෝගය බාරගන්න අපි ලෑස්තියි. එදාටත් වඩා හොඳ ස්ථාවරයක අපි සිටිනවා. හොඳ මන්ත්‍රී සංඛ්‍යාවක් එතැන ඉන්නවා.

ප්‍රශ්නය - එදා තිබුණු විශ්වාසය අද තිබෙනවා කියා ඔබලාට විශ්වාසද?

පිළිතුර - ඊට වඩා විශ්වාසයක් මෙවර අපි පෙන්වනවා. ඒක ලියා තබාගන්න ගියවර ජවිපෙ ආදී පක්ෂ විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද දුන්නා. මෙවර ඔවුන් කිසිදු පක්ෂයකට ඡන්දය නොදී සිටීමට තීරණය කර තිබෙනවා. මේ අවස්ථාවේ තිබෙන්නේ අගමැතිවරයකු හෝ ආණ්ඩු පෙරළීමක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමක්. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අාරක්ෂා කිරීම සම්බන්ධ සටනක්. ජවිපෙ ඇතුලු අනෙකුත් පක්ෂ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහයෝගය දේවි කියා විශ්වාස කරනවා.

ප්‍රශ්නය - බහුතරය නැතිව අගමැතිවරයකු පත්කරගන්න තරම් දුර්වල මට්ටමක ජනපති ප්‍රමුඛ කණ්ඩායම ඉන්නව කියල සිතන්න පුළුවන්ද?

පිළිතුර - මේ අයට වැඩ පිළිවෙළක් නැහැ. විශ්වාසභංගයත් ජයගන්නව කියා උදම් ඇනුවා. හැබැයි දැවැන්ත පරාජයක් ලැබුවා. එජාපය සහ එජා පෙරමුණ කියන්නේ වැඩපිළිවෙළක් තිබෙන කණ්ඩායමක්. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන තෙක් මේ සෑම එකක්ම වලංගුභාවයෙන් තොරයි.

ප්‍රශ්නය - අගමැතිවරයා පත් කිරීමේ නිසි බලධාරියා වන ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමේ බලයත් තිබෙනවා නේද?

පිළිතුර - පත්කරන්න පුළුවන්. එහෙම පත්කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනාවයි. එහෙම නැතුව හිතුමතේට පත් කරන්න බැහැ. කෙනෙක් පත් කළානම් ඔහු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්න ඕන. නැතිනම් පාර්ලිමේන්තුවේ බහුතරයට අභියෝග නොකළ යුතුයි. එහෙත් අපි මෙතැනදී අභියෝග කර තිබෙනවා.

ප්‍රශ්නය - මේ පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ඔබලා කියන්නේ ඇයි?

පිළිතුර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව සංශෝධන යටතෙත් මේ ආකාරයට අගමැතිවරයකු පත්කරන්න බැහැ. අගමැතිධූරය හිස්වුණේ නැහැ. මම ආයෙම කියන්නේ පත් කළේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කෙනකු නෙමෙයි. ඒක ව්‍යවස්ථා විරෝධියි.

ප්‍රශ්නය - යහපාලනයක් කළ ඔබලා මෙතරම් ඉක්මනට අර්බුදයට ගියේ ඇයි?

පිළිතුර - අපට ගොඩක් දේවල් අහිමි වුණේ යහපාලනය නිසයි. ජනතාවට යහපාලනය, නිදහස, ස්වාධීන කොමිෂන් සභා දෙන්න ගිහින් පක්ෂයක් හැටියට අපට බොහෝ දේ අහිමි වුණා. ජනතාව ප්‍රාර්ථනා කළ සමාජය ගොඩනඟන්න අපි කැපවුණා. ප්‍රශ්නය තිබෙන්නේ අපේ නෙමෙයි. අපි විශ්වාසකර පත්කළ නායකයාගෙයි.

ප්‍රශ්නය - මේ පුපුරාගියේ අගමැති සහ ජනපති අතර තිබූ ගැටුමද?

පිළිතුර - අගමැතිතුමා ගැටලුවක් ඇතිකරගෙන නැහැ. ප්‍රශ්න තිබුණේ ජනාධිපතිතුමාටයි. එනිසා එතුමගෙන් තමයි ඕක අහන්න ඕන. නිකම් කතා කිව්වට බැහැ. චෝදනා නඟනවා නම් ඒවා කරුණු ඇතිව ඔප්පු කරන්න ඕන. රටේ නීතිය අනුව කටයුතු කරන්න ඕන.

ප්‍රශ්නය - ඔබලා මොන තර්ක ගෙනාවත් නව අගමැති ලේකම්වරයකුත් පත් කරලා නේද?

පිළිතුර - මේ ඔක්කොටම වලංගුභාවය ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නා තෙක් පමණයි. එහෙම නැතුව මේ එකක්වත් ආණ්ඩු බලයක් සහිත වෙන්නේ නැහැ. එනිසා මේ එකක්වත් අදාළ නැහැ. මේවා ඉතා කෙටිකාලීන පත්කිරීම්. ඉතා කෙටිකාලීන තීන්දු තීරණ. පාර්ලිමේන්තු බහුතරයත් සමග මේ සියල්ල වෙනස් වෙනවා. ඔය සියලුදෙනාට මේ සියල්ල අත්හරින්න වෙනවා. ජනතා පරමාධිපත්‍ය බලයට අභියෝග කරන්න කාටවත් බැහැ.

ප්‍රශ්නය - බහුතරය ඔබලාට තිබේ නම් මේ ජනපති සමග ඉදිරියට යන්න පුළුවන්ද?

පිළිතුර - 2001 දීත් අපි ආණ්ඩුව ගෙනිච්චා. අලුත් ව්‍යවස්ථාව අනුව මේ ජනාධිපතිට එදා සිටි ජනපතිට තරම් බලතල නෑ. එනිසා තනියම ආණ්ඩුව ගෙනයන්න මේක ප්‍රශ්නයක් නෙමෙයි. එජා පෙරමුණු ආණ්ඩුවක් අපි පිහිටුවනවා. තවමත් මේ රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි.

සාකච්ඡා කළේ චමින්ද මුණසිංහ

 



අදහස් (2)

එජාපය ඔය පත්වීම පිළිගන්නේ නෑ

RNG Wednesday, 31 October 2018 03:46 AM

එජාපය පිළි නොගත්තට රටේ බහුතරයක් ජනතාව පිළිගන්නවා..

:       132       246

Sandun Wednesday, 31 October 2018 05:40 AM

කෙසේ කලත් මෙ බල පෙරළිය රටට නරක අාදර්ශයක්. මන්ත්‍රින්ගේ පැනිල්ල කුජිතයි. බල තණ්හාව නිසා ලංකාවෙ අනාගතය වලපල්ලට යනවා.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site