- 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 48.5ක බදු පසු ලාභයක් වාර්තා කරයි
- රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණයේ සන්ධිස්ථානයක් බව පවසයි
කොළඹ හිල්ටන් හෝටලය හිමි රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසායක් (SOE) වන හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් සමාගම 2025 මූල්‍ය වර්ෂය සඳහා ලාබ ඉපැයීම සම්බන්ධයෙන් එම සමාගමෙහි සියයට 100ක කොටස් හිමිකරුවා ලෙස සිය සතුට පළ කරන බව මහා භාණ්ඩාගාරය සඳහන් කරයි.
ඒ අනුව මෙලෙස හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් සමාගම 2017 සිට වසර හතකට පසුව ලාබ වාර්තා කිරීම රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවත් පවසයි. මෙම මූල්‍ය වාර්තාවට අනුව 2025 මූල්‍ය වර්ෂය සඳහා හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් සමාගම රුපියල් මිලියන 48.5 ක බදු පසු ලාබයක් වාර්තා කිරිමට සමත් විය.
අදාළ කාලසීමාවේදී සමාගම වාර්තා කළ ආදායම රුපියල් බිලියන 5.38 ක් ලෙස සටහන් වන අතර, පොලී, බදු සහ ක්ෂයවීම්වලට පෙර ලාබය (EBITDA) පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා කළ රුපියල් මිලියන 872 ක සිට රුපියල් බිලියන 1.22 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබේ. එසේම මෙහෙයුම් ලාබයද පෙර වසරේ වාර්තා කළ රුපියල් මිලියන 311 ක සිට රුපියල් මිලියන 746ක් දක්වා දෙගුණයකින් ඉහළ නැංවී තිබේ.
“රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විනයානුකූල කළමනාකරණය, සමබර රාජ්‍ය මුදල් අධීක්ෂණය සහ වඩාත් පුළුල් ප්‍රතිව්‍යුහගතකරණ යනාදිය මින් පෙන්නුම් කරනවා.” යනුවෙන් මහා භාණ්ඩාගාරය සඳහන් කරයි.
රජය සතු මෙම වත්කම නැවත ලාභදායී තත්ත්වයට පත්වීම මගින් රාජ්‍යය වෙනුවෙන් එහි ඇති අභ්‍යන්තර වටිනාකම යළිත් ඉස්මතු කෙරෙන බවත්, දේපළ නැවත තක්සේරු කිරීම හරහා සමාගමේ ශේෂ පත්‍රය ශක්තිමත් වී ඇති බවත් පවසයි. එසේම 2025 දී අත්කරගත් වර්ධන වේගයට අනුකූලව, 2026 මූල්‍ය වර්ෂය තුළ ප්‍රාග්ධන අඩු කිරීමක් ඇතුළත් යෝජිත ප්‍රාග්ධන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා එම ශේෂ පත්‍රය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් මහා භාණ්ඩාගාරය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd