• 2025 වසරේදීත් ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන හවුල්කරු චීනයයි

ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා-චීන ව්‍යාපාරික කවුන්සිලය, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ආර්ථික හා වෙ​ෙළඳ සහයෝගීතාවයේ 25 වන සංවත්සරය පසුගියදා සමරන ලදී. “නොසැලෙන සන්ධානයක වසර 25ක්”‍ තේමාව යටතේ පැවති මෙම උත්සවය සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, කවුන්සිලයේ හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් මෙන්ම දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෝ ද එක්ව සිටියහ. 

ඒ අතර ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ සභාපති මෙන්ම චයිනා හාබර් ඉංජිනේරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ගෑන්ග් මහතා ද වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගි වූ වෙෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, 2025 වසරේදීත් ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන හවුල්කරු ලෙස චීනය කටයුතු කළ බව සඳහන් කළේය. එහිදී යකඩ හා වානේ, ගෙතූ රෙදිපිළි සහ වාහන ප්‍රධාන ආනයන අතරට අයත් වූ බවත්, ඇඟලු‍ම්, තේ, සක්‍රීය කාබන්, ශාකමය තන්තු සහ පොල් ලෙලි කැබලි ආදිය ශ්‍රී ලංකාවෙන් චීනයට සිදු කෙරෙන අපනයන අතරට අයත් වූ බවත් පෙන්වා දුන්නේය.

චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා වෙනුවෙන් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත ප්‍රධානී ෂු යන්වේ (Zhu Yanwei) මහතා, දෙරට අතර ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම ප්‍රවර්ධනය කිරීම, වැඩි වශයෙන් චීන ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකික නිෂ්පාදන චීනය වෙත අපනයනය කිරීම පහසු කිරීම යන කටයුතු අඛණ්ඩව සිදු කරනු අපේක්ෂාව බව පැවසීය.