- SME අංශයෙන් සියයට 60ක් ගනුදෙනු සිදු වන්නේ කාසි සහ නෝට්ටු මත
- ඉන්දියාවේ ගනුදෙනුවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් ඩිජිටල් ගනුදෙනු
- Lankapay හරහා 2025 දී කළ පියවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 429 ක්
භානුක අමරසිංහ
මෙරට ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යාපාර වැඩි වශයෙන් ෆින්ටෙක් (Fintech) ඇතුළු ඩිජිටල් ගනුදෙනු වෙත යොමුවීම එම ව්‍යාපාරවලට වාසියක් බව තාක්ෂණික විශේෂයෝ යළිත් අවධාරණය කරති.
මේ හරහා එම ව්‍යාපාරවලට ගනුදෙනුවල විනිවිදභාවය, සුරක්ෂිතභාවය මෙන්ම බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් සමගින් වන විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීමේ අවස්ථාව උදා වන බව ඔවුහු සඳහන් කරති.
මෙම ෆින්ටෙක් හෙවත් මූල්‍ය තාක්ෂණය රට තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය (Fintech Forum) ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයත් හා එක්ව සංවිධානය කරන ප්‍රථම ෆින්ටෙක් උළෙල (Fintech Festival) සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම සඳහා පැවැති හමුවේදී මෙම අදහස් පළ විය.
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, අද වනවිට Lankapay ආයතනය හා එක්ව රට තුළ QR ගනුදෙනු, Govpay ඇතුළුව අනෙකුත් ඩිජිටල් ගෙවීම් ප්‍රචලිත කිරීම සිදු කෙරෙන බව සඳහන් කළේය.
“අපේ රටේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගෙන් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කාසි සහ නෝට්ටු මතයි. මේවා බොහෝමයක් අවිධිමත් ව්‍යාපාර. ඒ නිසාම ඒවා ඩිජිටල් ගනුදෙනු වෙත යොමුවීම අඩුයි. එහෙත් මේ ව්‍යාපාර ඩිජිටල් ගනුදෙනු වෙත යොමුවුණොත් ඔවුන්ට තමන්ගේ මූල්‍යමය ශක්තිමත් බව, සිය හැකියාව පිළිබඳව මූල්‍ය ආයතන වෙත පෙන්වන්න පුළුවන් වෙනවා. එය ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සැපිරිමට එම ආයතන වෙත පහසුවක් වේවි. එය වෙනත් කළු කඩ හරහා අරමුදල් සම්පාදන අවශ්‍යතාව නැති කරාවි.’
විශේෂයෙන්ම ෆින්ටෙක් තාක්ෂණය සාර්ථක ලෙස යොදා ගෙන ඇති රටක් ලෙස ඉන්දියාව දැක්විය හැකි බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අද වනවිට එරට ගනුදෙනුවලින් සියයට 90කට වැඩි ප්‍රතිශතයක් UPI ෆින්ටෙක් වේදිකාව හරහා සිදු වන බව පවසා සිටියේය.
“ශ්‍රී ලංකාව අතින් ගත්තොත් මූල්‍ය ආයතන හරහා බොහෝ ෆින්ටෙක් පහසුකම් ඉදිරිපත් කළත්, ජනතාව සහ වෙළෙඳ ආයතන එම පහසුකම් භාවිත කිරිම ඉතාමත් අඩු මට්ටමක පවතින්නේ. එහෙත් රටේ ආර්ථිකයේ වර්ධනයට මෙය අවශ්‍යයි.’
මෙහිදී අදහස් දැක් වූ Fintech Forum හි සභාපති සහ Lankapay හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා, Lankapay හරහා 2025 වසරේදී පමණක් රුපියල් ට්‍රිලියන 429 කට අධික වටිනාකමින් යුත් තත්‍ය-කාලීන දළ පියවීම් ප්‍රමාණයක් සිදු කර ඇතැයි පවසා සිටියේය.
“ඒ වගේම 2025 වසර තුළ සිදු කර ඇති තත්‍ය-කාලීන ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 23කට අධිකයි. රජයේ ඩිජිටල් ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 3.2 කට අධිකයි. මේ දක්වා LANKAQR සමගින් ලියාපදිංචි වෙළෙඳුන් 460,000 කට අධික පිරිසක් සිදු කළ ණයකාඩ්පත් ගනුදෙනු මිලියන 20.7 ක් සමගින් සිදුකළ POS ගනුදෙනු මිලියන 438 ක් හරහා මෙම මුදල් හුවමාරුවීම සිදුව තිබෙනවා.’
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, රට තුළ බැංකු සහ මූල්‍ය ආයතන මගින් බොහෝ තාක්ෂණික පහසුකම් ලබා දුන්නද, රජයේ ආයතන හරහා ඒවා වෙත නියාමන පහසුකම් සැලසීමේ යම් අඩුවක් පවතින බව සඳහන් කළේය.
“උදාහරණයක් විදියට රට තුළ මොබයිල් කෑෂ් ව්‍යාප්තවීමට නම් දුරකතන නියාමන ආයතනවල අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒ නිසා හොඳ ප්‍රතිඵලයක් සඳහා රජයේ ආයතන හරහා වඩාත් දියුණු සම්බන්ධයක් ලබාදිය යුතු වෙනවා. එසේම ජනගනයෙන් සියයට 80 කට වැඩි බැංකු හා සම්බන්ධ ජනගහනයක් සමගින් ආසියානු කලාපයේ වැඩිම මූල්‍ය සාක්ෂරතාවක් සහිත ජනතාවක් ඉන්න රටක් ලෙස අපිට මේ ඩිජිටල් සාක්ෂතාවත් සම්බන්ධ කරන්න පුළුවන් නම් ඒ හරහා වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි.’
ඒ අනුව ඩිජිටල් අමාත්‍යාංශය ලෙස තමන්ට අවශ්‍යව ඇත්තේ එම ප්‍රතිලාභය සමාජයේ ඉහළ මට්ටමට පමණක් නොව සමාජයේ සියලු දෙනාටම එක සමාන ලෙස තාක්ෂණයේ බෙදීයාමක් බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් තාක්ෂණ උපදේශකවරයා වන ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී අදහස් දක්වමින්, දශකයකට වැඩි කාලයක් ක්‍රියාත්මක Lankapay හරහා මේ වනවිට ලංකාව කලාපයේ බොහෝ ඩිජිටල් ආර්ථිකයන්ට වඩා ඉදිරියෙන් සිටීමට හැකියාව ලබා දී තිබෙන බව පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදයේ උප සභාපති සහ ඛධඛක් ත්‍සබ්බජැ හි සභාපති කොන්රාඩ් ඩයස් මහතා, තවමත් මේ ෆින්ටෙක් හරහා සිදුකරන ගනුදෙනු පිළිබඳව පමණක් කතා කරමින් සිටින බවත් රටක් තුළ ෆින්ටෙක් පරිසරයක් වර්ධනයවීමත් සමගින්ම ඊට වඩා දේ කළ හැකි බවත් සඳහන් කළේය.
“රජය හඳුන්වාදී ඇති ඩිජිටල් වත්කම් පිළිබඳ නීති හරහා ඩිජිටල් මුදල් ඒකක ඉදිරිපත්වීමෙන් ෆින්ටෙක් ආයතන වෙත ඒ හා සම්බන්ධ නවෝත්පාදන ඉදිරිපත් කිරිමට වැඩි අවස්ථාවක් හිමි වේවි. ගෝලීයව වුණත් මේ ෆින්ටෙක් කර්මාන්තයේ දියුණුව ඇති වුණේ නියාමකයන් සහ ඊට සම්බන්ධ පිරිස් එකට එක්ව එහි දියුණුවට අවශ්‍ය පිළිතුරු ලබාදීම හරහායි.“ යනුවෙන් සඳහන් කළේය.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd