ශ්‍රී ලංකාව තුළ වාහන හිමිකාරිත්වය ලබා ගැනීම නවමු මාවතකට යොමු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව, යුරෝ මෝටර්ස් (Euro Motors) සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ හරහා හඳුන්වා දෙන නවීන මූල්‍ය විසඳුම් නිසා පාරිභෝගිකයන්ට උසස් තත්වයේ වාහන ඉතා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. මෙරට පාරිභෝගිකයන්ට ඉහළ පෙළේ වාහන වඩාත් පහසුවෙන් සහ සහනදායී මිලකට මිලදී ගැනීමට හැකිවන අයුරින් සකස් කළ ලීසිං සැලසුම් රැසක් මෙම සහයෝගීතාව ඔස්සේ වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

මෙහිදී, බැංකු ක්ෂේත්‍රයේ HNB සතු දශක ගණනාවක විශ්වාසනීයත්වය සහ DONGFENG හා JETOUR වැනි ජාත්‍යන්තරව පිළිගත්, ලොව ප්‍රමුඛ පෙළේ වාහන මාදිලි රැසක් මෙරටට හඳුන්වා දෙන යුරෝ මෝටර්ස් හි සේවා විශිෂ්ටත්වය එකිනෙකට එක්කර ඇත.

මෙම සහයෝගීතාවේ අරමුණ වන්නේ විශ්වාසනීය මෙන්ම සහනදායී මූල්‍ය පහසුකම් අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට අත්වැලක් වීමයි. එමෙන්ම, මෙරට මෝටර් රථ වෙළෙඳපොළේ DONGFENG හා JETOUR වාහන සඳහා ඇති ඉල්ලු‍ම තවදුරටත් වර්ධනය කිරීම ද මෙයින් බලාපොරොත්තු වේ. මෙම හවුල්කාරිත්වයෙන් පාරිභෝගිකයන්ගේ පෞද්ගලික මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතාවලට මනාව ගැළපෙන, ආකර්ෂණීය ලීසිං ප්‍රතිලාභ රැසක් හිමි වේ. කාලයෙන් කාලයට වෙනස් වන ප්‍රවාහන අවශ්‍යතාවලට සරිලන පරිදි මෙම ප්‍රතිලාභ සැලසුම් කර ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB හි ජ්‍යෙෂ්ඨ උප සභාපති/ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය.

“සියලු‍ ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා ශක්තියක් වන නව්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට HNB අපි සැමවිටම කැපවී සිටිනවා.

යුරෝ මෝටර්ස් සමාගම සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වයෙන් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත්, පහසුවෙන් ලබාගත හැකි ලීසිං පහසුකම් ලබා දීමට අප දක්වන විශේෂ අවධානය මනාව පෙන්නුම් කරනවා. මෙරට වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ මූල්‍ය ආයතනයක් ලෙස HNB සතු මූල්‍ය ශක්තිය, විශ්වාසය සහ විශිෂ්ට පාරිභෝගික සේවය මෙම සියලු‍ පහසුකම් පිටුපස ඇති ප්‍රධානතම ශක්තියයි.”