• පෙර වසර හා සැසඳීමේදී ආදායම සියයට 8.3 කින් පහළට

මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ගත වූ මුල් මාස 10 තුළදී මෙරට සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,437.9 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ ඩොලර් මිලියන 2,659 ක ආදායම හා සැසඳීමේදී සියයට 8.3 ක අඩුවිමකි.

මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත අනුව මෙම අගයන් සටහන්ව ඇත.

මෙහිදී මුල් මාස 10 තුළ පැමිණි සංචාරකයන් 1,862,304ක් හරහා මෙම ආදායම ලැබී තිබේ. පසුගිය වසරේ එම කාලසීමාවේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,890,687ක් විය. ඒ අනුව මෙය සංචාරක පැමිණීම්හි වසරින් වසර සියයට 1.5 ක පහළ වැටීමකි.

මේ අතර ඔක්තෝබර් මාසයේදී පැමිණි සංචාරකයන් 168,625ක් හරහා ලැබුණු ආදායම ඩොලර් මිලියන 192.7 ක් ලෙස සටහන්ව ඇත. මෙය 2025 ඔක්තෝබරයේදී පැමිණි 165,193ක් හරහා ලැබුණු ඩොලර් මිලියන 186.1 ක ආදායමට සාපේක්ෂව සියයට 3.5 ක ඉහළ යාමකි.