• ගුවන් සේවය ලාබදායී කර ගුවන් යානා සංචිතය ඉහළ නැංවීම අරමුණයි
  • යානා 23 වසර 12ක් පමණ පැරණි වීමෙන් තාක්ෂණික දෝෂ ඇතිවීමේ අවදානම ඉහළයි
  • යානා මිලදී ගැනීම‍ට සකස් කළ විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාව ගැසට් කිරීමට යයි 
  • 2029 වන විට ගුවන් යානා සංචිතය යානා 29ක් දක්වා ඉහළ නැංවීම පස් අවුරැදු සැලැස්මේ ඉලක්කයක්
  • ගුවන් සේවය පිරිවැය පියවා ගන්නා මට්ටමක් සඳහා වන පියවර යෝජනා නොවැම්බර් 30 ට පෙර ඉල්ලයි

වසර ගණනක් තිස්සේ පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාබදායී මට්ටමකට ගෙන ඒම සඳහා වන පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණු යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

2026 වසරේ පළමු භාගය තුළදී පමණක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති පාඩුව රුපියල් බිලියන 35 ක් පමණ වන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය වාර්තාවේ සඳහන්ව තිබේ. එසේම ජනාධිපතිවරයා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේදීද ගුවන් සමාගම එමිරේට්ස් සමාගමෙන් යළි පවරාගත් 2008 වසරේ 2026 වසර දක්වා සමස්ත පාඩුව රුපියල් බිලියන 528ක් වන බව සඳහන් කළේය.

ඒ අනුව ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාද, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාද මඟහරවමින් ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සහ එහි යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ මෙම සැලසුම තුළ අවධානය යොමු කර ඇතැයි ගුවන් සමාගමේ ප්‍රධානීන් කාරක සභාව වෙත දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔවුන් මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඒ අනුව දැනට පවතින ගුවන් යානා 23කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාද පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරී තිබේ. 

විශේෂයෙන්ම එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.

මෙහිදී ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලි අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාද පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව මෙම තත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි.

එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.

මෙම නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව පටු බඳ සහිත ගුවන් යානයක් සහ පුළුල් බඳ සහිත ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 

ඒ අනුව 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29ක් දක්වා ඉහළ නැංවීම මෙම පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

එසේම මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමග පවතින තරගකාරීත්වයද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව සාකච්ඡා වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මගින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බවද සඳහන් කෙරී තිබේ.

ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් සඳහන් වෙයි.