• GS1 Lanka ‘Sunrise 2027’ යටතේ මෙම මුලපිරීම සිදු කෙරේ
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට සාම්ප්‍රදායික 1D බාර්කෝඩ් වෙනුවට QR කේත සහ ඩේටා මෙට්‍රික්ස් කේත ඇතුළත් නවතම 2D බාර්කෝඩ් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව GS1 Lanka ආයතනය පවසයි. මේ හරහා එම නිෂ්පාදන සම්බන්ධයෙන් වඩාත් විශ්වාසනීය තොරතුරු පාරිභෝගිකයා වෙත ලබා ගැනීමේ හැකියාව පවතින බව සමාගම සඳහන් කරයි.
 
පසුගියදා පැවැත්වුණු GS1 Lanka සමාගමේ 10 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි සභාපති රෙවාන් ප්‍රනාන්දු මහතා මෙම කරුණු දක්වා තිබේ. ගෝලීයව ක්‍රියාත්මක සමාගම මේ දක්වා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙත ගෝලීය පිළිගැනීමක් ලබාදීමට කටයුතු යොදා තිබේ. 
 
“අපගේ මීළඟ දැවැන්ත පියවර වෙන්නේ ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙත සාම්ප්‍රදායික බාර්කෝඩ් වෙනුවට 2D බාර්කෝඩ් හඳුන්වාදීමයි. විශේෂයෙන්ම පාරිභෝගිකයන් භාණ්ඩයක අනන්‍යතාවට එහා ගොස්, එහි නිෂ්පාදනය, අඩංගු ද්‍රව්‍ය, සත්‍යතාව සහ භාවිතය පිළිබඳ විශ්වාස කළ හැකි තොරතුරු සොයා බැලීමට වැඩි වැඩියෙන් උනන්දුවක් දක්වන පසුබිමක මෙය වැදගත් වෙනවා.” ඒ මහතා පවසයි.
 
GS1 Lanka ආයතනය සැලසුම් කර ඇති ‘GS1 Sunrise 2027’  වැඩසටහන යටතේ මෙම නව හඳුන්වාදීම සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව 2D barcodes භාවිතයට මාරුවීම සඳහා ව්‍යාපාර සූදානම් කිරීමට සිල්ලර වෙළෙඳ සහ සෞඛ්‍ය සේවා අංශ සමග එක්ව කටයුතු කරමින් සිටින බවත් සමාගම පවසයි. 
 
මෙම GS1 Sunrise 2027 යනු, 2027 වසර අවසන් වන විට සිල්ලර වෙළෙඳසල්වල ගෙවීම් කටයුතු සිදුකරන පද්ධති (checkout systems) මගින්, සාම්ප්‍රදායික 1D බාර්කෝඩ් අමතරව QR කේත සහ Data Matrix කේත වැනි 2D කේත ද කියවීමට හැකි වන පරිදි එම පද්ධති පරිවර්තනය කිරීම අරමුණු කරගත් ගෝලීය කර්මාන්ත මුලපිරීමකි.