
- දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් ට්‍රිලියන 3.02 ක්
- 2026 පළමු කාර්තුව හා සැසඳීමේදී ආර්ථික වර්ධනයේ කැපී පෙනෙන පහත වැටීමක්
- කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා අංශවල ආර්ථික දායකත්වය සියයට 8.4ක්, 25.9 ක් සහ 52.7ක්
- දෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල සියයට 2.3 ක පසු බැසීමක්
- සේවා අංශය යටතේ රාජ්‍ය පරිපාලනයේ පමණක් සියයට 2.4 ක පසු බැසීමක්
2026 වසරේ දෙවැනි කාර්තුවේදී (අප්‍රේල් 01 සිට ජූනි 30 දක්වා) මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 3.02ක් (රුපියල් මිලියන 3,029,816ක්) ලෙස සටහන් වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙය 2025 වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් ට්‍රිලියන 2.90 ක (රුපියල් මිලියන 2,908,570ක) දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව වසරින් වසර සියයට 4.2 ක ධනාත්මක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙවැනි කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම කරුණු දක්වා තිබේ.
කෙසේ වෙතත් 2026 පළමු කාර්තුවේදී වාර්තා කළ සියයට 5.1ක ආර්ථික වර්ධනය හා සැසඳීමේදී දෙවැනි කාර්තුවේදී එම වර්ධනය කැපී පෙනෙන පහළ වැටීමක් පෙන්නුම් කර තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. 2025 වසරේදී එමම ආර්ථික වර්ධනය සියයට 5.0ක අගයක් ගෙන තිබුණි.
“මැදපෙරදිග උත්සන්න වෙමින් පැවැති අර්බුදකාරී තත්වය හේතුවෙන්, 2026 දෙවැනි කාර්තුව ආරම්භ වූයේ ආර්ථිකය පිළිබඳ එතරම් සුබවාදී තත්වයක් සහිතව නොවේ. එම අවිනිශ්චිතතාව මත පදනම් වූ ආර්ථිකය පිළිබඳ අපේක්ෂා නිශ්චිත නොවීම සහ බොර තෙල් සැපයුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ඇති වේ යැයි පැවති වාතාවරණය දෙවන කාර්තුවේ ආර්ථික කටයුතු කෙරෙහි බලපෑම් ඇති කර ඇත. එසේම සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය මන්දගාමීවීමෙන් එම අහිතකර බලපෑම වඩාත් පෙන්නුම් කර තිබේ.’ එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව දෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල සංකෝචනයක් දක්නට ලැබුණු අතර, ඇතැම් ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් 2025 දෙවැනි කාර්තුවට සාපේක්ෂව අඩු ප්‍රසාරණයක් වාර්තා කර තිබේ. එහිදී නවාතැන් සහ ආහාර පාන සැපයීම, මූල්‍ය සේවා ක්‍රියාකාරකම් සහ රක්ෂණ සේවා ක්‍රියාකාරකම් සාපේක්ෂව අඩු වර්ධන වේගයක් වාර්තා කර ඇත.
මෙම දත්ත අනුව කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුනෙහි ආර්ථික කටයුතු, 2026 දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙළින් සියයට 8.4ක්, සියයට 25.9ක් සහ සියයට 52.7ක් ලෙස සටහන්ව තිබේ. එසේම භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) ලබාදුන් දායකත්වය සියයට 13ක් ලෙස සටහන්ව ඇත.
මෙහිදී 2026 වසරේ දෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 2.3 ක පසු බැසීමක් වාර්තා කර ඇති අතර, කර්මාන්ත ආර්ථික කටයුතු සහ සේවා ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 7.3 ක් සහ සියයට 2.7ක් ලෙස ධන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මීට අමතරව භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) සියයට 11.9 කින් වර්ධනය වී තිබේ.
“2026 දෙවැනි කාර්තුවේදීද ආනයන පරිමාවෙහි අඛණ්ඩ වර්ධනය තවදුරටත් දැකගත හැකිය. එම ආනයන වර්ධනය දේශීය කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමට ඉවහල් වී තිබේ. එසේම ආනයන ආශ්‍රිත බදු හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීමටද දායක වී ඇත.’
මේ අතර 2026 දෙවැනි කාර්තුවේදී නිමැවුම් කර්මාන්ත ආර්ථික කටයුතු සමස්තයක් ලෙස පුළුල් වීමක් වාර්තා වී ඇති අතර, භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු වටිනාකමෙහි වර්ධනයක් වාර්තා වී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එහිදී ගොඩනැගිලි සහ ද්‍රව්‍ය සැපයුම වැඩිවීමත් සමග ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් ප්‍රසාරණය වී ඇති අතර එය පහත් හා කැනීම් කර්මාන්තයේ වාර්තා වී ඇති වර්ධනය සඳහා හිතකර අයුරින් බලපා ඇතැයිද සඳහන් කරයි.
මෙහිදී සේවා ආර්ථික කටයුතු දෙවැනි කාර්තුවේදී සියයට 2.7 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, ඒ යටතේ අනෙකුත් සියලුම අංශ ධන වර්ධන වේගයක් වාර්තා කරද්දී, “රාජ්‍ය පරිපාලනය’ පමණක් සියයට 2.4 ක පසු බැසීමක් වාර්තා කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd