චීන එක්සිම් බැංකුවේ උප සභාපතිනිය මුදල් නියෝජ්‍ය ඇමති හමුවෙයි


චීන අපනයන - ආනයන බැංකුව හෙවත් චීන එක්සිම් බැංකුවේ (China EXIM Bank) උප සභාපතිනිය වන යැං ඩෙංනිං පසුගියදා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයනත් ප්‍රනාන්දු මහතා සහ භාණ්ඩාගාරයේ නිලධාරීන් හමු වී සාකච්ඡාවක් පැවැත් වූ බව එම අමාත්‍යාංශය පවසයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් චීන අපනයන-ආනයන බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වන I කොටස සඳහා වන සංශෝධිත මූල්‍ය ගිවිසුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ. 
ඒ අනුව දෙපාර්ශ්වයේ අදාළ අභ්‍යන්තර ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමට යටත්ව, 2026 අගෝස්තු මස අවසානයට පෙර සංශෝධිත මූල්‍ය ගිවිසුමට අත්සන් තැබීමේ අරමුණින් අවශ්‍ය විධිමත් කටයුතු සම්පූර්ණ කිරීම අපේක්ෂාව බව ශ්‍රී ලංකා රජය මෙහිදී උප සභාපතිනිය වෙත පවසා ඇතැයි සඳහන් වෙයි.
මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා, ගෝලීය වටිනාකම් දාමයන් සමග ඒකාබද්ධ වූ අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත, ප්‍රවාහන සහ සැපයුම්, බලශක්ති සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ප්‍රමුඛතා සංවර්ධනය කිරීම තුළින් රජය තිරසාර ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට අපේක්ෂා කරන බව පවසා තිබේ. 
එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම තුළින් රටේ ආර්ථික තරගකාරීත්වය ඉහළ නැංවීමටද කැපවී සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ. මීට අමතරව තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය තුළින් තරුණ තරුණියන්ගේ වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනයට රජය පියවර ගෙන ඇතැයි ඒ මහතා පවසා තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ධාරිතා සංවර්ධන වැඩසටහන්, දැනුම හුවමාරුව සහ අධ්‍යාපන සහයෝගිතාව තුළින් චීන සහ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතන අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සිය කැමැත්ත පළ කර ඇතැයිද අමාත්‍යාංශය පවසයි.