IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බ්‍රවුන්ස් සමූහය 150 වසරක ව්‍යාපාරික විශිෂ්ටත්වය අභිමානයෙන් සමරයි

 

විවිධාංගීකරණය වූ ශ්‍රී ලාංකීය ව්‍යාපාර සමූහ අතර කැපීපෙනෙන ප්‍රමුඛතම සමූහයක් වන “බ්‍රවුන්ස්” අද දින සිය 150 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි. අභියෝග මධ්‍යයේ නොසැලෙන ස්ථාවරත්වය, වෙනස්වන වෙළෙඳපොළ අවශ්‍යතා අනුව බලගැන්වූ නව්‍යකරණයේ ජවය සහ දූරදර්ශී නායකත්වයේ මෙහෙයවීම සමග බ්‍රවුන්ස් සමූහය මේ මොහොත වන විට ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්ව සිටියි.

බ්‍රවුන්ස් සමූහයේ සාඩම්බර 150 වැනි සංවත්සරය පිළිබඳ අදහස් දැක්වූ එහි සභාපති ඉෂාර නානායක්කාර මහතා මෙසේ පැවසීය. “1875 වසරේදී වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ යාන්ත්‍රික ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයක් විදිහට ආරම්භ වෙලා අද වන විට එකිනෙකට වෙනස් ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක කටයුතුකරන දැවැන්ත ව්‍යාපාර සමූහයක් බවට බ්‍රවුන්ස් පත්ව තිබෙනවා. පාරම්පරික විශිෂ්ටත්වය සුරැකෙන ආකාරයට කාලයේ තාලයට වෙනස් වෙමින්, පරම්පරාවෙන් පරම්පරාවට ජනතා විශ්වාසය නොවෙනස්ව දිනාගනිමින් අප පැමිණි මේ අතිසාර්ථක ව්‍යාපාරික ගමන්මගේදී දැවැන්තම ශක්තිය වූ බ්‍රවුන්ස් සමූහයේ කාර්ය මණ්ඩලය මා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. අප සමග විශ්වාසයෙන් රැඳී සිටින පාරිභෝගික ජනතාවටත් අපගේ ව්‍යාපාරික සහකරුවන් සියලු‍ දෙනාටත් බ්‍රවුන්ස් 150 වැනි අභිමානවත් සංවත්සරය සමරන මේ මොහොතේදී මා හෘදයාංගමව ස්තූතිවන්තවනවා.”

150 වසරක බ්‍රවුන්ස් ව්‍යාපාරික විශිෂ්ටත්වයේ ගමන් මග තුළ කෘෂිකර්මය හා වැවිලි කර්මාන්තය, රථවාහන ක්ෂේත්‍රය, ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රය, ආයෝජන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, සමුද්‍ර ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, ඖෂධ ක්ෂේත්‍රය, බලශක්ති උත්පාදන ක්ෂේත්‍රය යනාදී වශයෙන් විවිධාංගීකරණය වූ ක්ෂේත්‍ර රැසක කටයුතු ඔස්සේ දෙස් විදෙස් ජනතා අවශ්‍යතා රැසක් ඉටු කෙරේ. බ්‍රවුන්ස් ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් ලොව විශාලතම තේ නිෂ්පාදකයා සහ අපනයනකරුවා බවට පත්ව සිටින්නේ සියරාලියෝන් හි අතිසාර්ථක උක් වගාවක් ද පවත්වාගෙන යමිනි. 

ලොව ප්‍රකට තේ සැපයුම් සමාගමක් වන Lipton Teas and Infusions සතු අප්‍රිකානු තේ වතු රැසක් අත්පත් කරගැනීම හරහා ශ්‍රී ලාංකීය තේ සමඟ බැඳුනු කීර්තිමත් උරුමය රැකගනිමින් දෙස් විදෙස් තේ වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය වැඩිදියුණු කරගැනීමට බ්‍රවුන්ස් සමත්ව සිටියි.

දේශයේ ජීවනාලිය බඳු කෘෂිකර්මයේ යහපැවැත්ම උදෙසා බ්‍රවුන්ස් මහඟු‍ මෙහෙවරක් ඉටුකරනු ලබයි. ලොව උසස්ම තත්වයේ කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ, වගා ආරක්ෂණ කෘෂි රසායන ද්‍රව්‍ය, පොහොර සහ වැඩිදියුණු කළ බීජ වර්ග රැසක් බ්‍රවුන්ස් කෘෂි නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. 2022 වසරේදී පරිසරය කෙරෙහි වගකීම්සහගත ලෙස ව්‍යාපාර කටයුතු මෙහෙයවීම වෙනුවෙන් ලබාදෙන ISO 14001 ජාත්‍යන්තර තත්ව සහතිකය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකීය පශු වෛද්‍ය ඖෂධ අංශය බවට Browns Veterinary Pharmaceuticals පත්වීම හරහා අපේ රටේ පශු සම්පත් සංවර්ධනය උදෙසා බ්‍රවුන්ස් ලබාදෙන අනගි දායකත්වය තවදුරටත් තහවුරු කෙරිණ. 

උසස් තත්ව කළමනාකාරීත්වයක් හා මෙහෙයුම් විශිෂ්ටත්වයක් අඛණ්ඩව පවත්වාගැනීම අගයමින් Browns Veterinary Pharmaceuticals වෙත ISO 9001 ජාත්‍යන්තර තත්ව සහතිකයද හිමිව ඇත.

LOLC Holdings හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සහ බ්‍රවුන්ස් සමූහයේ අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා බ්‍රවුන්ස් 150 වැනි සංවත්සරය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“සියවසකුත් තවත් අඩසියවසක් ගෙවීයන මොහොත වන විටදීත් බ්‍රවුන්ස් සහ සමාගම සාමාන්‍ය සාම්ප්‍රදායික සමාගම් ආකෘතියෙන් මිදුණු නව්‍යකරණයෙන් පිරිපුන් ආකෘතියකින් ඉතා විශිෂ්ට ආකාරයකින් කටයුතු කරමින් ඉන්නවා. 

තිරසාර වර්ධනයක් ඉලක්ක කරමින් අවශ්‍යම මොහොතේදී එළැඹුණු ව්‍යාපාරික සහයෝගීතාද සලකා බලද්දී, මේ තමයි මේ යුගයේ ව්‍යාපාරයක් කටයුතු කළ යුතු නිවැරැදිම ව්‍යාපාරික දැක්ම. ජයග්‍රාහී බ්‍රවුන්ස් සන්නාමය මුළුමහත් LOLC සමූහයටම සාඩම්බර ජයග්‍රහණය” 

පුනර්ජනනීය බලශක්ති විසඳුම් සැපයීම හා තිරසාර කෘෂිකර්මය කෙරෙහි බ්‍රවුන්ස් සමූහය යොමුව ඇත්තේ පරිසර හිතකාමී තිරසර සංවර්ධනයක් වෙත ගමන් කිරීම අරමුණු කරගත් තම ව්‍යාපාරික දැක්ම සාක්ෂාත් කරගැනීමෙහිලාය. 

කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ විශාලතම ශ්‍රී ලාංකීය ආයෝජකයා බවට පත් වෙමින් ඉදිකෙරෙන සුඛෝපභෝගී මරිනා ව්‍යාපෘතිය බ්‍රවුන්ස් සතු අනාගත දැක්ම විදහා දැක්වීමකි.

බ්‍රවුන්ස් සමූහය 150 වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී තමා සතු අතීත අත්දැකීම්, වර්තමානයේ විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහ සමාජයෙන් උපයාගත් විශ්වාසය මුසු ගෞරවය සමග දීප්තිමත් අනාගතයකට පියවර තබන්නට සූදානම් වන්නේ සමාජ සවිබලගැන්වීමෙහිලා ආයතනික වගකීමද නිසි ලෙස ඉටුකරමිනි.



අදහස් (0)

බ්‍රවුන්ස් සමූහය 150 වසරක ව්‍යාපාරික විශිෂ්ටත්වය අභිමානයෙන් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site