හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ මුල් මාස පහක කාලයේදී මෝටර් රථ ආනයනය කිරීමට පමණක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක මුදලක් වියදම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) පැවැසීය.
මෝටර් රථ, රත්තරං සහ තෙල් ආනයනය කිරීම සඳහා කරන ඉහළ ආනයන වියදම් ආර්ථිකයේ අංශ රැසකට බලපෑම් කරන බැවින් විශේෂයෙන්ම මෝටර් රථ සහ රත්තරං ආනයනය කිරීමේ වියදම් අඩු කිරීමේ අවශ්‍යතාවක් තිබූ බව ද මහ බැංකු අධිපතිවරයා කීය.
මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධිපතිවරයා එම කරුණු කීවේය.
පසුගිය මාසයේදී බදු පනවමින් රත්තරං ආනයනය සීමා කිරීමට පියවර ගත් බවත් ඒ අනුව යමින් මෙවර මෝටර් රථ ආනයන සීමා කිරීම සඳහා ඒ මත බදු පැනවීමට පියවර ගත් බවත් මහ බැංකු අධිපතිවරයා කීය.
වෙළෙඳ ගිණුමේ හරි අඩක පිරිහීමට හේතු වී ඇත්තේ වාහන ආනයනය යැයි ද මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
මේ වසරේ මුල් මාස පහක කාලයේදී වෙළෙඳ හිඟය වැඩි වී ඇති බව කී මහ බැංකු අධිපතිවරයා මේ වසරේ මුල් මාස පහක කාලයේදී වෙළෙඳ ගිණුමේ අගය එක්සත් ජනපද ඩොලර් මිලියන 716ක් දක්වා පුළුල් වී ඇතැයි ද එම කාලයේදී මෝටර් රථ ආනයන කිරීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් දක්වා වැඩි වී ඇතැයි ද කීය.
මේ අනුව වෙළෙඳ ගිණුමේ හරි අඩක පිරිහීමට හේතු වී ඇත්තේ වාහන ආනයන යැයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
වෙළෙඳ ගිණුම මත බලපෑම් කරන ප්‍රධාන සාධක තුනක් ඇති බවත් එයින් දෙකක් මේ වනවිට පාලනය කිරීමට හැකි බවත් මහ බැංකු අධිපතිවරයා කීය.
තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ කීය.
“රත්තරං, වාහන සහ ඉන්ධන ආනයන වෙළෙඳ ගිණුමට පීඩනයක් එල්ල කරනවා. පසුගිය අවස්ථාවේදී අපි රත්තරං ආනයන ගැන කතා කළා. ඊට අදාළ පියවර ගත්තා. එම පීඩනය පාලනය කරන්න අපට හැකිවුණා. අපි දැන් මෝටර් රථ ආනයනය සීමා කිරීමට පියවර අරගෙන තිබෙනවා. එහෙත් අපට තෙල් ආනයනය සීමා කරන්න බැහැ. එය අපේ පාලනයෙන් තොරයි. ඒ වගේම ඊට භූ දේශපාලනය බලපෑම් කරනවා.
කෙටි කාලයේදී වෙළෙඳ ශේෂය පිරිහීමට පාලනය කිරීමට පියවර ගන්න ඕනේ. එසේ නැති වී වෙළෙඳ ශේෂය පිරිහී ගිහින් ගෙවුම් ශේෂය පිරිහුණහොත් අපිට විදෙස් ණය ගන්න වෙනවා. ගෙවුම් ශේෂයේ තත්ත්වය බරපතල වුණොත් එය විදේශ විනිමයට බලපානවා. එය ජීවන තත්ත්වයට බලපානවා.
එයින් වඩාත් පීඩාවට පත්වන්නේ දුප්පත් සහ අවදානම් මට්ටම්වල සිටින ජනතාව. ඒ නිසා ගෙවුම් ශේෂය දක්වා අර්බුදය යන්න කලින් ඊට පෙර පියවර ගන්න ඕනේ. හැමෝගෙම යහපත ගන්න ඕනේ. ගෙවුම් ශේෂය දුර්වල වීම විදේශ විනිමයට බලපාන්න පෙර අපි පියවර ගන්න ඕනේ ”.
මෙම මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු නිලධාරීහු පසුගිය වසරේ සහා මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා වන වසරේ මුල් මාස 5 වාහන ආනයන පිළිබඳ දත්ත ඉදිරිපත් කළහ. එම දත්ත මෙසේය.
‘‘මේ අනුව මේ වසරේ ජනවාරි-මැයි කාලයේ සමස්ත ආනයනවලින් සියයට 6.9කට හිමිකම් කියනුයේ වාහන ආනයන වන අතර ඉන්ධන නොවන සමස්ත ආනයනවලින් සමස්ත සියයට 6.9කට හිමිකම් කියනුයේ වාහන ආනයන වේ.
මේ වසරේ මුල් මාස පහක කාලයේදී එන්ජින් ධාරිතාව 1000 හෝ ඊට අඩු පෙට්‍රල් මෝටර් රථ ආනයන කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 195ක් වියදම් කර තිබේ. පසුගිය වසරේ එම කාලයේදී අදාළ කාණ්ඩයේ මෝටර් රථ ආනයනය කර ඇත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 26ක් පමණි.
එන්ජින් ධාරිතාව 1500 හෝ ඊට අඩු පෙට්‍රල් මෝටර් රථ ආනයනය කිරීම සඳහා මේ වසරේ මුල් මාස පහක කාලයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 73.2ක් වියදම් කර තිබෙන අතර පසුගිය වසරේ මුල් මාස පහක කාලයේදී අදාළ කාණ්ඩයේ මෝටර් රථ ආනයනය කිරීම සඳහා වැය කර ඇත්තේ මිලියන 20ක් පමණි.
මේ වසරේ මුල් මාස පහක කාලයේදී එන්ජින් ධාරිතාව 3000 හෝ ඊට අඩු පෙට්‍රල් වාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 21කි. එහෙත් පසුගිය වසරේ ජනවාරි-මැයි කාලයේ දී එන්ජින් ධාරිතාව 3000 හෝ ඊට අඩු වාහන ආනයන කරන ලද වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 33කි.
එන්ජින් ධාරිතාව 3000 හෝ ඊට අඩු ඩීසල් මෝටර් රථ ආනයනය සඳහා මේ වසරේ මුල් මාස 5 දී කර ඇති ආනයන වියදම මිලියන 8.8ක් වූ අතර පසුගිය වසරේ මුල් මාස 5 දී එම වාහන ආනයන කිරීම සඳහා කරන ලද වියදම ඩොලර් මිලියන 2.6කි.
එන්ජින් ධාරිතාව 2500 හෝ ඊට අඩු ඩීසල් වාහන ආනයන කිරීම සඳහා පසුගිය වසරේ මුල් මාස පහක කාලයේදී කර ඇති ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.9ක් වූ අතර මේ වසරේදී එය එක්සත් ජනපද ඩොලර් මිලියන 5.4ක් දක්වා වැඩි වී තිබේ.
පසුගිය වසරේදී මෝටර් රථ ලියාංපදිංචිය සියයට 13.3කින් අඩු වූ වී ඇති බව මහ බැංකු නියෝජ්‍ය අධිපති කේ.ඩී රණසිංහ කීය. එහෙත් පසුගිය වසරේ මුල් මාස හය සැලකීමේදී මේ වසරේ මුල් මාස හයේදී මෝටර් රථ ලියාපදිංචිය 19,000 සිට 41,000 දක්වා සියයට 114කින්‘‘ වැඩි වී ඇතැයි ද හෙතෙම කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මෙව්ව මොන දර්ශනද කියල. වෙලද ගිණුම පිරිහෙන්නේ අපනයනවලට වඩා ආනයන වැඩි උනාම තමයි. එහෙම කියල අපනයන ආදායම වැඩි කරන්න කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන මිනිස්සු හිඟා නොකා හිඟා කාල ගේන වාහනේ බද්ද ඉහල දාල හරියනවද. වෙලද ගිණුම පිරිහිලා කියල කවද වෙනකම් බදු වැඩි කර කර ඉන්නද කල්පනාව. අනික ඒක ද තියන හොඳම විකල්ප විසදුම. මේ ඔක්කොම උගත් කියාගන්න මිනිස්සු ටික කරන්නේ පොඩි මිනිහට මොකක් හරි කෙබරයක් ඇදබාල තමන්ගෙ තනතුරු රැකගන්න එක. අනික ඔය තරම් බන දෙසන එක ලොක්කෙක්වත මටත් කාර් එපා මාත් උඹල එක්ක බස්එකේ යන්නම් කියල එනව නම් අපි ඕන බද්දක් ඉවසනව. මුන් ඔක්කොම සැප විදිනකොට සාමාන්‍ය මිනිහගෙ ජීවතේ අපායක් කරල මුන් බණ කියනවා. අනික වැඩි කරපු බද්ද දැං රටේ සංවර්ධනය වෙනුවෙන් මේ දේ කරන්නයි අපි වියදම් කරන්නේ කියන්න මුන්ට දැක්මක් තියනවද. ඒ බද්දේ ආදායම යන්නේ අර ඌරු කොටුවෙ ඉන්න කාලකණ්නින්ගේ වැඩි කරපු වැටුපි ගෙවන්න. නොදකින් විතරක්. උඹලගෙ වැදි බන උඹලම තියා ගනියව් අපි දැං ඕව එක්ක්වත් අහන්නේ නෑ.
වැඩිකතා ඕනේ නැහැ. නිකන් ලැබෙන පර්මිට් වලින් අලුත් කාර්වල ගිහින් අපිට බර කරත්තවල යන්න කියන්න.
රටක සංවර්දනය කියන්නේ ජනතාව අපහසුතාවයට පත්කරන එක නෙමෙඉ . සංවර්දනයට අවශ්‍ය යටිතල පහසුකම් හදනෙකනේ
ඔක්කොම සෙල්ලම් ඡන්දෙ එනකන් විතරයි.
අපේ පරණ වාහන වෙන රට වලට යවන ක්‍රමයක් ඉස්සර කතා වුන බව මතකයේ තියෙනවා යන්තමට.
මෙහෙම ජනතව පීඩනයට පත් කරලා වාහන ගෙන්වන එක නැවත වන්නේ නැතුව, අනිත් සේවා දියුණු කරලා ජනතාව ප්‍රවාහන සේවා වලට යොමු කරන්න. එතකොට ඔබ තුමාටත් බස් එකේ වැඩට එන්න පුළුවන්. කාර් එකේ එන්න ඕන නෑ.
අපට සිද්දවුනේ අපේ මුදලින් අපිට හූනියම් කරගත්තු වැඩක්. බොරු පොරොන්දු දීලා ජනතාව රවට්ටලා ඡන්දටික ගත්ත අන්තිමට පස්ස පෙන්නවා. ඡන්ද පොරාන්දු කඩකරන අයට නඩු දාණ්ඩ ඕනේ නැතිනම් මින් ඉදිරියටත් බොරු බේගල් කිය කියා ඡන්ද ගනීවි.
වාහන සීමා කරන එකද හරි එහෙම නැතිනම් පරණ වාහන පාරවල් වලින් ඉවත් කරලා අලුත් වාහන වලට ඉඩ දෙන එකද හරි? අනික, අපි පුද්ගලික අංශයේ වැඩ කලත් රජයේ සේවකයෝ වගේ රටට බරක් වෙලා ඉන්නේ නැහැ. අඩුගානේ මිනිසුන්ට බොරු ප්‍රශ්න දමන්නේ නැතුව ජීවත් වෙන්න ඉඩ දෙන්න. බලන්න අපි වාහනයක් ගන්න ගියාම 300%ක බදු. ඒ ගන්න වෙන්නේ ඉන්දියන් ලඩියක් එහෙම නැතිනම් පොඩි කාර් එකක්. ඇයි මිනිසුන්ට හොද ආරක්ෂාකාරී වාහනයක යන්න බැරි. පාර්ලිමේන්තුවේ උන්දලා සහ රජෙය් වැඩ කරන උනදලා ගන්නේ එක්කෝ යුරෝපීය හෝ ජපන් අනර්ග වාහන. ඇයි අනික් මිනිසුන්ට ඒවා අකැපද? හරියට බැලුවොත් ජ වී පෙ නායකයාගේ පුතාට කැප පුද්ගලික විශ්වවිද්‍යාල අපට අකැප වෙනවා වගේ. මෙච්චර මින්සුන්ව මානසික පීඩාවට පත් කරන්න එපා.
ලංකාවට ගැලපෙන හොදම හොද වාහනයක් ලංකාවේ නිර්මාණය කරන්න ඩොලර් මිලියන කියක් යනවද? කරන්න ඕන ඒක නේද? නිකන්වත් ඒ ගැන හිතුවද? කරුණාකර ඒක කරන්න. නමුත් දැන් තියෙන වගේ පිටරටින් කෑලි ගෙනත් මෙහෙ අටවන වැඩක් නෙවෙයි වෙන්න ඕන. කරන්න පුළුවන් ව්‍යාපාරිකයෝ මෙහෙන් හොයාගන්න පුළුවන් රජයෙන් උදව් කරනවානම්. ප්‍රශ්නය තියෙන්නේ එවැනි යෝජනාවක් ගෙනාවොත් එම දෙය සදහා අනුමැතිය දෙන්න පවතින රජයට සන්තෝෂම් දෙන්න වෙනවා, ඒ වගේම නිලදාරින්ටත් සන්තෝෂම් දෙන්න වෙනවා එතකොට මෙය කරන්නට බැරිවෙනවා ..මේක තේරුම් ගන්න බැරිනම් ජනතාව සැමදා මෙවැනි ප්‍රශ්නවලට මැදි වෙනවා..