දළ ආදායම රුපියල් බිලියන 430 ඉක්මවයි


මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2.3 ඉක්මවයි


මුළු කොටස් හිමිකාරීත්වය රුපියල් බිලියන 654 දක්වා වර්ධනය වේ


2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාකාරීත්වයක් වාර්තා කළ අතර, එය ආදායම් වර්ධනය, මූලික මෙහෙයුම් ලාබදායීතාවේ කැපී පෙනෙන ප්‍රසාරණය සහ මූල්‍ය සේවා කේන්ද්‍ර කරගත් විවිධාංගීකරණ ව්‍යාපාර ආකෘතියේ අඛණ්ඩ වර්ධනය මගින් ශක්තිමත් වී ඇත.

2026 මූල්‍ය වර්ෂයේදී සමූහයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රුපියල් බිලියන 71.5 දක්වා සියයට 49කින් ඉහළ ගිය අතර, පෙර වර්ෂයේ එය රුපියල් බිලියන 47.9ක් විය. මෙම වර්ධනය සඳහා දළ ආදායම සියයට 28කින් ඉහළ ගොස් රුපියල් බිලියන 430.3 දක්වා වර්ධනය වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. ක්ෂයවීම් සහ කාලික ණය නිදහස් කිරීම්වලට පෙර මෙහෙයුම් ලාබයද සැලකිය යුතු ලෙස වර්ධනය වී රුපියල් බිලියන 88.8 දක්වා ඉහළ ගියේය. පෙර වසරේ එය රුපියල් බිලියන 60.6ක් විය.

 

ශක්තිමත් මෙහෙයුම් ලාභදායීතාව ව්‍යාපාරික වේග ශක්තිය පිළිබිඹු කරයි.

2026 මූල්‍ය වර්ෂයේ කාර්යසාධනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙහෙයුම් ලාභදායීතාවේ දැවැන්ත වර්ධනයයි. මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රුපියල් බිලියන 23.6කින් ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රධාන ව්‍යාපාරික අංශවල ඉහළ දායකත්වය සහ සමූහය පුරා වැඩිදියුණු වූ මෙහෙයුම් කාර්යක්ෂමතාව මගින් මෙහෙයවනු ලැබීය.

දළ ආදායම රුපියල් බිලියන 430.3 දක්වා වර්ධනය වීම, සමූහයේ ආදායම් උපයන වත්කම් පදනමේ අඛණ්ඩ වර්ධනය සහ විවිධ ක්ෂේත්‍ර හා භූගෝලීය කලාප හරහා ආදායම් වර්ධනය ගොඩනැංවීමේ හැකියාව පෙන්නුම් කරයි.

ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 105.6 සිට රුපියල් බිලියන 119.9 දක්වා ඉහළ ගිය අතර, ආදායම රුපියල් බිලියන 109.2 සිට රුපියල් බිලියන 158.2 දක්වා වර්ධනය විය. දළ ලාභයද රුපියල් බිලියන 43.5 සිට රුපියල් බිලියන 61.4 දක්වා ඉහළ ගොස් සමූහයේ මෙහෙයුම් ශක්තිය තවදුරටත් ශක්තිමත් කර ඇත. 

2026 මූල්‍ය වර්ෂයේ බදුවලට පසු ලාභය රුපියල් බිලියන 23.4ක් ලෙස වාර්තා වූ අතර, වාර්ෂික වෙනසට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පෙර වර්ෂයේ හඳුනාගත් එක් වරක් පමණක් සිදුවූ ගනුදෙනු කිහිපයකි.

 

මූල්‍ය සේවා තවදුරටත් ප්‍රධාන ආදායම් අංශය ලෙස කැපී පෙනේ 

පෙර වර්ෂයේ රුපියල් බිලියන 39.2ක් වූ මූල්‍ය සේවා අංශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල 2026 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 51.7ක් වාර්තා කරමින් තවදුරටත් සමූහයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය බවට පත්ව ඇත. LOLC මූල්‍ය සේවා මෙහෙයුම් මේ වන විට ආසියාවේ රටවල් 7ක, මධ්‍යම ආසියාවේ රටවල් 3ක සහ අප්‍රිකාවේ රටවල් 11ක ඇතුළුව රටවල් 21ක් පුරා විහිදී ඇත.

මූල්‍ය සේවා වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 1.09 සිට රුපියල් ට්‍රිලියන 1.36 දක්වා වර්ධනය වූ අතර, මෙය සමූහයේ මූලික ව්‍යාපාරික වේදිකාවේ පරිමාණය සහ ශක්තිය තවදුරටත් තහවුරු කරයි.

 

ණය ගුණාත්මකභාවය ලාභදායී වත්කම් වර්ධනයට සහාය වෙයි

මූල්‍ය වත්කම් සම්බන්ධ ශුද්ධ හානි අලාභය රුපියල් බිලියන 18.8 සිට රුපියල් බිලියන 15.9 දක්වා පහත වැටීම, සමූහයේ ණය කළමනාකරණ ශක්තිය තහවුරු කරයි. එමෙන්ම අත්තිකාරම් සහ අනෙකුත් ණය රුපියල් බිලියන 751.4 සිට රුපියල් බිලියන 981.8 දක්වා වර්ධනය විය. 

 

නිෂ්පාදන හා වෙළෙඳාම් අංශයේ ලාභදායීතාවේ විශාල ඉහළ යාමක්

නිෂ්පාදන හා වෙළෙඳාම් අංශය 2026 මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. මෙහෙයුම් ප්‍රතිඵල රුපියල් බිලියන 1.1 සිට රුපියල් බිලියන 9.2 දක්වා අට ගුණයකට වැඩි වර්ධනයක් වාර්තා කර ඇත. දළ ආදායම රුපියල් බිලියන 50.0 සිට රුපියල් බිලියන 76.6 දක්වා ඉහළ ගිය අතර, මෙහෙයුම් වියදම්වලට පෙර ලාබය රුපියල් බිලියන 14.7 සිට රුපියල් බිලියන 25.3 දක්වා වර්ධනය විය.

 

වතු වැවිලි සහ කෘෂිකර්ම අංශය නැවත ලාභ පෙන්නුම් කරයි 

වතු වැවිලි සහ කෘෂිකර්ම අංශය සැලකිය යුතු හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කරමින් 2025 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 5.1ක මෙහෙයුම් අලාභයක සිට 2026 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 1.7ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත. එහීදී දළ ආදායම රුපියල් බිලියන 55.2 සිට රුපියල් බිලියන 88.2 දක්වා වර්ධනය වූ අතර, මෙහෙයුම් වියදම්වලට පෙර ලාභය රුපියල් බිලියන 29.6 සිට රුපියල් බිලියන 48.5 දක්වා ඉහළ ගියේය.

LOLC සමූහය මේ වන විට ලොව ප්‍රමුඛතම තේ නිෂ්පාදන වේදිකාවක් ගොඩනගා ඇති අතර, වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් හෙක්ටයාර 100,000කට ආසන්න භූමි ප්‍රමාණයක් කළමනාකරණය කරයි.

 

රක්ෂණ, විවේක හා දේපළ සංවර්ධන අංශවල ස්ථාවර දායකත්වය

දිගුකාලීන හා සාමාන්‍ය රක්ෂණ අංශය 2026 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 1.5ක මෙහෙයුම් ප්‍රතිඵල වාර්තා කරමින් ස්ථාවර කාර්යසාධනයක් සනිටුහන් කළේය.

විවේක හා දේපළ සංවර්ධන අංශය පෙර වර්ෂයේ රුපියල් බිලියන 1.9ක මෙහෙයුම් ප්‍රතිඵලයට සාපේක්ෂව රුපියල් බිලියන 2.0ක් වාර්තා කළ අතර, මෙම කාලය තුළ සමූහය මාලදිවයිනේ Barceló Whale Lagoon Maldives Resort හෝටලය ඇමෙරිකානු ඩොලර් මිලියන 57.5කට විකිණීමෙන් සැලකිය යුතු ආදායමක් උත්පාදනය කළේය. ඒ අතරම, ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල ප්‍රදේශයේ Newburgh Ella හෝටලය විවෘත කරමින් සංචාරක අංශයේ ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කළේය.

 

ජාත්‍යන්තර මෙහෙයුම් සමස්ත ආදායම තවදුරටත් ශක්තිමත් කරයි

LOLC සමූහයේ ජාත්‍යන්තර ව්‍යාපාරික මෙහෙයුම් සමූහයේ වටිනාකම් ගොඩනැංවීමට 2026 මූල්‍ය වර්ෂයේදී ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. රටවල් 21ක මූල්‍ය සේවා මෙහෙයුම් සමග, රටවල් 27ක් පුරා ව්‍යාප්ත මෙහෙයුම් ඊට අයත් වේ. එහිදී LOLC සමූහය ආසියාව, මධ්‍යම ආසියාව, අප්‍රිකාව සහ අනෙකුත් උපායමාර්ගික වෙළෙඳපොළවලට නිරාවරණය වූ බහුජාතික මෙහෙයුම් වේදිකාවක් ගොඩනගා ඇත.

විදේශීය මෙහෙයුම්වල මූල්‍ය ප්‍රකාශන පරිවර්තනය කිරීමෙන් සමූහය අනෙකුත් සමස්ත ආදායම් යටතේ රුපියල් බිලියන 24.0ක ලාභයක් වාර්තා කළේය.

 

සංශෝධිත සමස්ත ආදායම ශක්තිමත් මූලික වර්ධනයක් පිළිබිඹු කරයි

2026 මූල්‍ය වර්ෂය සඳහා සමස්ත ආදායම රුපියල් බිලියන 47.2ක් ලෙස වාර්තා විය. 2025 මූල්‍ය වර්ෂයේ සමස්ත ආදායම රුපියල් බිලියන 58.9ක් වූ අතර, එම වසර තුළ සමූහයේ ආයෝජන අත්පත් කර ගැනීම් සහ විකිණීම්වලින් ලැබූ රුපියල් බිලියන 54.0ක සැලකිය යුතු ලාභයක් සහ අත්හිටවූ මෙහෙයුම්වලින් සිදුවූ රුපියල් බිලියන 11.5ක පාඩුවක් ඇතුළත් විය.

මෙම ප්‍රධාන එක් වරක් පමණක් සිදුවන අයිතම ඉවත් කළ විට, 2025 මූල්‍ය වර්ෂය සඳහා මූලික සමස්ත ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 16ක් විය. 2026 මූල්‍ය වර්ෂයේදී, ආයෝජන අත්පත් කර ගැනීම් සහ විකිණීම්වලින් ලැබූ රුපියල් බිලියන 2.1ක ලාභය ඉවත් කළ පසු, සංශෝධිත සමස්ත ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 45ක් විය.

 

සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 2.3 දක්වා පුළුල් වෙයි

2026 මූල්‍ය වර්ෂය තුළ LOLC හි ශේෂ පත්‍රය තවදුරටත් පුළුල් වූ අතර, සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 2.32 දක්වා ඉහළ ගියේය. පෙර වසරේ එය රුපියල් ට්‍රිලියන 2.03ක් විය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ අත්තිකාරම් සහ අනෙකුත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 230.4කින් වැඩි වී රුපියල් බිලියන 981.8 දක්වා ඉහළ යාමයි. 

සමූහය සිය ආයෝජන සහ වත්කම් පදනම ද ශක්තිමත්ව පවත්වාගෙන ගිය අතර, ආයෝජන සුරැකුම්පත් වටිනාකම රුපියල් බිලියන 140.9 සිට රුපියල් බිලියන 169.6 දක්වා වැඩි විය. දේපළ, යන්ත්‍රෝපකරණ සහ උපකරණ වටිනාකම රුපියල් බිලියන 315.4ක් ලෙස වාර්තා විය.

 

මූල්‍ය සේවා ප්‍රමුඛ සමූහයක් උදෙසා සංරක්ෂණාත්මක ණය මට්ටමක්

ශේෂ පත්‍රය පුළුල් වූවත්, LOLC සමූහය පරීක්ෂාකාරී ණය ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. 2026 මාර්තු 31 වන විට සමස්ත කොටස් හිමිකාරීත්වය රුපියල් බිලියන 654.3ක් වූ අතර, පොලී සහිත ණය රුපියල් බිලියන 672.6ක් විය. ඒ අනුව, පොලී සහිත ණය ප්‍රමාණය සමස්ත කොටස් හිමිකාරීත්වයට ආසන්න වශයෙන් 1.0 ගුණයක් විය.

 

වඩාත් ශක්තිමත් ක්‍රියාත්මක කිරීමේ වේගයක් සහිත විවිධාංගීකරණය වූ වේදිකාවක්

2026 මූල්‍ය වර්ෂයේ LOLC හි කාර්යසාධනය මගින්, වඩාත් ශක්තිමත් මෙහෙයුම් ලාභදායීත්වයක්, පුළුල් ආදායම් මූලාශ්‍ර, වැඩිදියුණු වූ හානි අවම කිරීමේ ප්‍රවණතා, විශාල මූල්‍ය සේවා ශේෂ පත්‍රයක් සහ ඉහළ ශුද්ධ වත්කම් වටිනාකමක් සහිත සමූහයක් පිළිබිඹු කරයි.

මූල්‍ය සේවා අංශය ආසියාව, මධ්‍යම ආසියාව සහ අප්‍රිකාව පුරා රටවල් 21ක මෙහෙයුම් සමග ප්‍රධාන ආදායම් උත්පාදක අංශය ලෙස පැවති අතර, සමූහය දැන් ලතින් ඇමෙරිකාවේ ද නව අවස්ථා සොයා බලමින් සිටී.

රක්ෂණ, විවේක හා දේපළ වෙළෙඳාම් අංශ අඛණ්ඩ මෙහෙයුම් දායකත්වයක් ලබා දුන් අතර, විවේක අංශය ඇමෙරිකානු ඩොලර් මිලියන 57.5ක වටිනාකම  Barceló Whale Lagoon Maldives Resort විකිණීම, Newburgh Ella ව්‍යාපෘතියේ ව්‍යාප්තිය සහ Marina Port City ව්‍යාපෘතියේ අඛණ්ඩ ප්‍රගතිය හරහා වටිනාකම් ඉහළ නංවමින් වර්ධනයක් පෙන්නුම් කළේය.

මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2.32ක්, මුළු කොටස් හිමිකාරීත්වය රුපියල් බිලියන 654.3ක් සහ මෙහෙයුම් ප්‍රතිඵල රුපියල් බිලියන 71.5ක් සමග, LOLC සමූහය විශාල පරිමාණයක්, වැඩි ආදායම් හැකියාවක් සහ වඩාත් විවිධාංගීකරණය වූ ශේෂ පත්‍රයක් සමග සිය මීළඟ වර්ධන අදියර වෙත පිවිසෙයි.