අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පසුගියදා කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කළේය. අමානා බැංකුව යනු ශ්‍රී ලංකාවේ පොලිය මත පදනම් වූ බැංකු ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ක්‍රියාත්මක වන එකම බැංකුවයි. 

2011 වසරේදී ආරම්භ වූ අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි ස්වාධීන බැංකුවක් වන අතර, එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇත. සෞදි අරාබියේ ජෙඩා නුවර මූලස්ථානය කරගත් IsDB සමූහය අමානා බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකරු වේ. IsDB  සමූහය යනු රාජ්‍යයන් කිහිපයක් එක්ව පිහිටුවා ගන්නා ලද, රටවල් 57 ක් සාමාජිකත්වය දරන, ‘AAA’  ණය ශ්‍රේණිගත කිරීමක් සහිත අන්තර්ජාතික බහුපාර්ශ්වික සංවර්ධන මූල්‍ය ආයතනයකි.

මේ වන විට අමානා බැංකුවේ ශාඛා සහ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 80 කට අධික සංඛ්‍යාවක් රට පුරා පිහිටුවා ඇති අතර, එහි පාරිභෝගික පදනම වේගයෙන් පුළුල් වෙමින් පවතී. ප්‍රධාන වශයෙන් පාරිභෝගික බැංකුකරණය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකුකරණය සහ සංවර්ධන බැංකුකරණය කෙරෙහි අවධානය යොමු කරන අමානා බැංකුව, තෝරාගත් ප්‍රවේශයක් ඔස්සේ සමාගම් හා ආයතන සඳහාද සේවා සපයයි.  බැංකුවේ වත්කම් මත පදනම් වූ මූල්‍යකරණ ආකෘතිය (Asset-backed banking model)  මගින් ආර්ථිකයේ ඵලදායී ක්ෂේත්‍ර වෙත අඛණ්ඩව මූල්‍ය පහසුකම් සපයනු ලබන අතර, එමගින් බැංකුවේ වටිනාකම් සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යවසායකයන්, පවුල් සහ ව්‍යාපාර සඳහා මූල්‍ය සහය ලබාදීම සිදු වේ.

ප්‍රධාන දේශකයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මේ ආකාරයට සංකේතාත්මකව සීනුව නාදකිරීමෙන් අමානා බැංකුවේ 15 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළ අප වෙත අවස්ථාව ලබාදීම අපට මහත් ගෞරවයක්. මෙය පසුගිය වසර 15 පුරා සංවර්ධනය කේන්ද්‍ර කරගත් මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයකින් සංවර්ධනයට අත්වැලක් සපයමින් ජීවිත ඉසුරුමත් කිරීම සඳහා අප දැරූ උත්සාහයට ලැබුණු ඇගයීමක් ලෙස අප දකිනවා. ඉදිරියේදී අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින්, ගනුදෙනුකරුවන්ගේ, ප්‍රජාවගේ සහ ආර්ථිකයේ ප්‍රගතිය උදෙසා දිගින් දිගටම දායක වීමට අප සූදානම්.”‍

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාද මෙහිදී අදහස් දැක්වීය. ‘මෙම අවස්ථාව අප වෙත ලබාදීම පිළිබඳව අප කොළඹ වෙළෙඳපොළට ස්තූතිවන්ත වනවා. මෙය හුදෙක් සංවත්සර සැමරුමක් පමණක් නොව, ලැයිස්තුගත මූල්‍ය ආයතනයක් ලෙස අමානා බැංකුව පැමිණ ඇති දුර පිළිබඳව ආපසු හැරී බැලීමටත්, නව විශ්වාසයකින් යුතුව අපගේ ගමනේ මීළඟ පරිච්ඡේදය වෙත පිවිසීමටත් ලැබුණු අනගි අවස්ථාවක්. ඉදිරියේදී අමානා බැංකුව තවදුරටත් ශක්තිමත් කරමින් අපගේ කොටස් හිමියන් සඳහා තිරසාර ප්‍රතිලාභ පිරිනැමීමටත්, රටේ ආර්ථික සංවර්ධනයට අඛණ්ඩව දායක වීමටත්, ‘සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ හිතවාදී බැංකුකරණය’ යන අපගේ ප්‍රතිඥාව දිගින් දිගටම ඉටුකිරීමටත් අප කැප වී සිටිනවා.”