පිටකොටුව පීපල්ස් පාර්ක් හී Sudha Book Shop අධිපති - පී. සුදාගර්

කොළඹ 11, බෝධිරාජ මාවතේ පීපල්ස් පාර්ක් වෙළෙඳ  සංකීර්ණය පිළිබඳ ලංකාවේ නොදන්නා කෙනකු නැති තරම් ය. එය තොග වෙළෙඳාම පිළිබඳව නම් දැරූ තැනකි. විශේෂයෙන්ම අභ්‍යාස පොත් පත් ඇතුළු පාසල් උපකරණ අඩුමිලට ගන්නා බොහෝ දෙනකුගේ මතකයට එන්නේ පීපල්ස් පාර්ක් වෙළෙඳ  සංකීර්ණයයි. එහිදී ද පාසල් උපකරණ සහ පීපල්ස් පාර්ක් කී සැණින් බොහෝ දෙනකුට සිහිපත් වන නමක් තිබේ. ඒ sudha book shop ආයතනයයි. sudha book shop අධිපති පී. සුදාගර් මහතාගේ චරිතය අපට වැදගත් වන්නේ එසේ පියවරින් පියවර ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණි අය අතර සිටින ආදර්ශවත් පුද්ගලයකු නිසාය. මතු දැක්වෙන්නේ ඔහු ලැබූ අත්දැකීම් හා ඔහු පැමිණි ගමන පිළිබඳව විමසමින් ඔහු සමග අප කළ කතාබහක සටහනකි. 
“මම ව්‍යාපාර පටන්ගත්තෙ තාත්තගෙන්. ඒ 1986දී පමණ. තාත්තා ව්‍යාපාර හැටියට කළේ ටොෆි, පැණිරස කෑමවර්ග අලෙවි කිරීමයි. තොග කඩයක් හැටියට තමයි තාත්තා පීපල්ස් පාර්ක් එකේ මේ ව්‍යාපාරය කළේ. ඒත් මට ඕනැ වුණා ඊට වෙනස්ව යන්න. ඒ අනුව තමයි අභ්‍යාස පොත් ක්ෂේත්‍රයට එන්න කල්පනා කළේ. හැමෝම කරන දේ කරලා හරියන්නෙ නෑ. අලු‍තින් හිතන්න ඕනෑ. 
 අභියෝග දුෂ්කරතා ගොඩක් තිබුණා. මගේ නෑදෑ කෙනෙක් ඒ කාලෙ පොත් කඩයක් කළා. මම මුලින්ම කළේ ඔහුගේ ව්‍යාපාරය අධ්‍යයනය කරපු එක. මුල්ම ගැටලු‍ව තමයි මට තිබුණු ඉඩකඩ සීමිත වීම. මුද්‍රිත පොත් දාලා විකුණන්න තරම් මට ඉඩක් තිබුණේ නෑ. ඒ නිසා මම අභ්‍යාස පොත්වලින් පටන්ගත්තා. 
පීපල්ස් පාර්ක් එකේ කඩකාමර හැදුවෙ ආර්. ප්‍රේමදාස මහත්තයාගෙ කාලෙ. ඒත් කාලයක් යනකල් කවුරුත් මෙතන බිස්නස් කරන්න ගියේ නෑ. ව්‍යාපාරිකයන් මෙතැන පාවිච්චි කළේ ගබඩාවක් හැටියට.  ඒත් අපි බිස්නස්වලට බැස්සට පස්සෙ මේ තත්වය වෙනස්වුණා. 
 තමන්ගෙ දරුවන්ට හොඳ මට්ටමේ පොත් හොයන දෙමවුපියෝ ගොඩක් හිටියා. මට ඕනැ වුණේ ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදන දෙන්න. අනිත් එක මම කල්පනා කළා ලොකු වට්ටමක් පාරිභෝගිකයාට දෙන්න. ඒකෙන් මට එන ලාබය අඩුවීම ගැන මම හිතුවෙ නෑ. වැඩි වට්ටම් දුන්න නිසා ගොඩක් මවුපියෝ මට ස්තුති කරලා කිව්වෙ ඉතිරි වෙන මුදලින් දරුවට සපත්තු දෙකක් හරි අරගෙන දෙන්න පුළුවන් කියලා. 
 මම හිතුවෙම පාරිභෝගිකයගෙ පැත්තෙන්. මගේ ලාබය අඩුවීම ගැන මම එච්චර හිතුවෙ නෑ. පාරිභෝගිකයා සතුටුවීම මගෙත් සතුටක් වුණා. සතුට කියන එක සල්ලිවලින් මනින්න බෑ. මගේ ව්‍යාපාරයට පාරිභෝගිකයාගේ ආශිර්වාදය ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මගෙ ලාබෙ සුළුවුණාට සතුට ඉතිරි වුණා. තවතවත් වැඩ කරන්න හිතේ ධෛර්යයක් ඇතිවුණා. මගේ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙන්න මේ කාරණය තමයි ප්‍රධාන වුණේ. අනෙක් පොත් ව්‍යාපාරිකයන්ට අභියෝගයක් වෙන තරමටම ව්‍යාපාරය දියුණු වුණේ අපි පාරිභෝගිකයාගේ පැත්තෙන් සෑමවිටම හිතපු නිසයි. ව්‍යාපාරයක් දියුණු වෙන්න නම් වැදගත්ම දේ තමයි පාරිභෝගිකයාගේ සිත් දිනාගැනීම. 
මම යන එන හැමතැනකදීම ව්‍යාපාරිකව මා ආකර්ෂණය වන තැන් නිරීක්ෂණය කළා. ඒවා පොඩි පොඩි කාරණා වෙන්න පුළුවන්. ඒත් ඒ නිරීක්ෂණයෙන් අලු‍ත් යමක් කරන්න මග පෑදෙනවා. ඉන්දියාවේ චෙන්නායිවලදි මම හරිම ආකර්ෂණීය රෙදි කඩයක් දැක්කා. චෙන්නායි නගරයේ දවාලට ඇවිදගෙන යද්දි අධික රස්නයක් තියෙනවා. දහදිය ගලනවා. ඒත් ඒ සාරි කඩේ ඉස්සරහින් යද්දි හරිම සිසිලසක් දැනෙනවා. ඒ සිසිල එන්නෙ කොහෙන්ද කියල බලන්න හිතෙනවා. එහෙම බලනකොට පේන්නෙ සාරි කඩේ. කඩේ ආකර්ෂණීයයි. ඊට පස්සෙ ඒ ඇතුළට ගිහින් බලන්න හිතෙනවා. එයාලා පාරෙ යන එන මිනිස්සුන්ගෙ ආකර්ෂණය තමන්ගෙ වෙළෙඳසලට යොමු කරගන්නෙ කඩේ ඇතුළෙන් ඒසී එකක් පාරට යවලා. මේ නිසා ඕනැම කෙනකුට හැරිල බලන්න හිතෙනවා. මට මේක හරියට හිතට ඇල්ලු‍වා. ඉන්දියාවේ බොහෝ ව්‍යාපාරිකයන් අලු‍ත් අත්හදාබැලීම් එක්ක ව්‍යාපාර දියුණු කරනවා. ඒත් අපේ රටේ තවමත් තියෙන්නේ මීට අවුරුදු පනහකට හැටකට එහා කාලෙ තාක්ෂණය. මම මේ අත්දැකීම අරගෙන කළේ මගේ පොත් කඩේ හැමතැනකම විශාල ප්‍රමාණයේ බල්බ් සවිකරපු එක. එයින් විශාල එළියක් නිකුත් වුණා. පීපල්ස් පාර්ක් එකට එන මිනිස්සු බැලු‍වා කොහෙන්ද මේ එළිය එන්නෙ කියලා. 
 දොස්තර හොඳහිත කාටුන් එකේ තිබුණු තේමා ගීතය මතකද? බෑ කියලා බෑ කියලා බෑ. ව්‍යාපාර කරනවා නම් බෑ කියලා දෙයක් නෑ. අභියෝග දුෂ්කරතා හමුවේ පසුගාමී වෙන්න නරකයි. අනික තමයි තමන්ගෙ නිවැරැදි ගමන මොකද්ද කියලා තේරුම් ගන්න ඕනැ. වංචාව දූෂණය හිතින් ඉවත් කළාම දේව ආශිර්වාදය ලැබෙනවා. තමන්ගෙ දැක්ම තමයි වැදගත්. එන අභියෝග බාරගන්න ඕනැ. තාත්තා මට කිව්වෙ කිසි දේකට බය වෙන්න එපා එක දොරක් වැහුණොත් තව දොරවල් නවයක් තියෙනවා කියලා.