British Council විසින් මෑතකදී අධ්‍යාපනය තුළ භාෂාවේ භූමිකාව සම්බන්ධයෙන් විශේෂ පත්‍රිකාවක් ගෝලීය මට්ටමින් ප්‍රකාශයට පත්කරන ලදී. එහි අරමුණ වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භාෂා භාවිත සම්බන්ධ සැබෑ තත්වය පිළිබිඹු කරන අතරම සමානාත්මතාව සහිත, කාටත් විවෘත, කාර්යක්ෂම අධ්‍යාපන ක්‍රමවේද ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දීමය. භාෂාමය විවිධත්වයේ මෙන්ම සන්දර්භය අනුව තීරණ ගැනීමේ වැදගත්කම අවධාරණය කරන අතරම ගෝලීය වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ ක්‍රමයෙන් විකාශනය වන සහ සංකීර්ණ භූමිකාව හඳුනා ගනිමින්, අධ්‍යාපනයට අදාළ භාෂා ප්‍රතිපත්ති සහ භාවිත සම්බන්ධයෙන් British Council අනුගමනය කරන ප්‍රවේශය මෙම පත්‍රිකාව මගින් පිළිබිඹු වේ.
ලොව පුරා විවිධ අධ්‍යාපන පද්ධති තුළ සිසුහු බහු භාෂාමය තත්වය යටතේ අධ්‍යාපනය ලබති. එහිදී ඔවුන් පාසලේදී භාවිත කරන භාෂාව, ඔවුන් නිවසේදී ව්‍යවහාර කරන භාෂාවට වඩා වෙනස් විය හැක. ඉංග්‍රීසි භාෂාව තවදුරටත් අධ්‍යාපනය, ගමනාගමනය සහ පෞද්ගලික හා වෘත්තීය දියුණුව සම්බන්ධයෙන් වැදගත් ගෝලීය භූමිකාවක් ඉටුකරන නමුත්, British Council හි අදහස වන්නේ අධ්‍යාපනයේදී සෑම රටකදීම එක සමාන ප්‍රතිඵල ලබාදෙන තනි භාෂා ආකෘතියක් නොමැති බවයි. එබඳු තනි ආකෘතියක් සෙවීමට උත්සාහ කරනු වෙනුවට අදාළ රටේ සන්දර්භයට ගැලපෙන, සාක්ෂි අනුව තීරණය කළ ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය යන්න British Council හි මතය වේ. මෙවැනි ප්‍රවේශයක් තුළ ඉගෙනුම සහ ඉගැන්වීම සිදුකරන භාෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් විසින් ඓතිහාසික, ආර්ථික, දේශපාලනික හා සමාජයීය යථාර්ථය සැලකිල්ලට ගත යුතුය. මෙම මතයට පදනම් වී ඇත්තේ භාෂා-ප්‍රතිචාරාත්මක අධ්‍යාපන පද්ධති (Language-responsive Education Systems) සංකල්පයයි. භාෂාව යනු ඉගෙනුමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන, සමස්ත අධ්‍යාපන පද්ධතිය පුරා භාෂාව සම්බන්ධ සාධක සැලකිල්ලට ගන්නා අධ්‍යාපන පද්ධති මින් අදහස් වේ. අධ්‍යාපනික ප්‍රතිපත්ති, විෂයමාලා, ඉගැන්වීමේ ක්‍රමවේද, අධ්‍යාපනික උපකරණ, විභාග ක්‍රම සහ ගුරු පුහුණුව යනාදී සියල්ල මීට ඇතුළත්ය. මෙමගින් අවධාරණය කරනු ලබන්නේ, සාර්ථක අධ්‍යාපන ප්‍රතිපත්තියක් යනු හුදෙක් ඉගැන්වීම සඳහා භාවිත කරන භාෂාව කුමක්ද යන්න මත පමණක් තීරණය වන්නක් නොවන බවයි. ඒ වෙනුවට, ඕනෑම ප්‍රවේශයක සාර්ථකත්වය රඳා පවතින්නේ ඉගෙනීම සාර්ථක වීමට අවශ්‍ය තත්වය අධ්‍යාපන පද්ධති මගින් නිර්මාණය කරනු ලබන්නේද යන සාධකය මතය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ වන්නේ අධ්‍යාපන පද්ධති ඉගෙනීමට කොතරම් හොඳින් සහාය වන්නේද යන්නයි.
ඉගෙනුම සහ ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිත වන අවස්ථාවලදී, සිසුන්ට තමන් හදාරන විෂයන් හොඳින් ඉගෙන ගැනීමට හැකි වන ආකාරයට ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගැන්වීමේ විධිවිධාන ශක්තිමත් කිරීම මෙන්ම, සිසුන් දැනටමත් පරිහරණය කරන භාෂා සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම තවදුරටත් වර්ධනය කිරීමද සිදු කළ යුතුය. මේ සඳහා භාෂා ඉගැන්වීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් මනා පුහුණුවක් ඇති ගුරුවරුන්, ඉගැන්වීම සඳහා නිසි පහසුකම් සහ භාෂා සංවර්ධනයේ තත්වයට සංවේදී විභාග ක්‍රමවේද අවශ්‍ය වේ.
ලොව විවිධ අධ්‍යාපන පද්ධති තුළ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සහ ඉගැන්වීම පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ සම්බන්ධයෙන් British Council විසින් සිදුකරන ලද පුළුල් සමාලෝචනයකින් අනතුරුව මෙම පත්‍රිකාව පිළියෙළ කර ඇත. ගුරුවරුන්ගේ දැනුම, අධ්‍යාපන පද්ධතිවල ධාරිතාව සහ දේශීය භාෂා හා සංස්කෘතික සන්දර්භ සමග භාෂා ප්‍රතිපත්ති කොතරම් දුරට ගැලපෙන්නේද යනාදී සාධක මත ප්‍රතිඵල බොහෝ දුරට වෙනස් වන බව මෙම සමාලෝචනය මගින් පෙන්වා දී තිබේ. එමෙන්ම නිසි පසුබිම සකස් නොකර අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයට හැරවීම මගින් මතුවිය හැකි අවදානමද මෙමගින් පෙන්වා දෙනු ලබන අතර, යහපත් අධ්‍යාපනික ප්‍රතිඵල ලබාගැනීම සඳහා දීර්ඝකාලීනව සැලසුම් කිරීම, ගුරුවරුන් නිසි පරිදි පුහුණු කිරීම සහ සම්පත් සඳහා ආයෝජනය කිරීම කෙතරම් වැදගත්ද යන්නද මෙමගින් අවධාරණය කර ඇත.
“භාෂාව යනු අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක්. සිසුන් සම්බන්ධ භාෂාමය යථාර්ථය අවබෝධ කරගෙන ඒවාට නිසි ප්‍රතිචාර දක්වන්නේ නම් වඩාත් හොඳින් අන්තර්කරණය වූ ඉගෙනුම් පරිසරයක් සකස් කරමින් අධ්‍යාපනය තුළින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබෙනවා. අප මේ පත්‍රිකාව මගින් පෙන්වා දෙන්නේ සාක්ෂි පදනම් කරගෙන තීරණ ගැනීමේ සහ, සමස්ත පද්ධතිය ආවරණය වන පරිදි සැලසුම් සකස් කිරීමේ වැදගත්කමයි. එසේ කිරීමෙන් භාෂා ප්‍රතිපත්ති මගින් ඇතිවන ගැටලු අවම වී, දරුවන්ගේ සාර්ථකත්වයට විශාල රුකුලක් ලැබෙනවා.” British Council හි ඉංග්‍රීසි හා පාසල් අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ මයිකල් කොනලි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd