වෛද්‍ය ආර්.එස්. මවුජූඩ් (ළය රෝග විශේෂඥ) 


වර්තමානයේ බොහෝ රටවල්වල පොදු අරමුණක් බවට පත්ව ඇත්තේ දුම්පානය හේතුවෙන් ඇතිවන බලපෑම අවම කිරීමයි. එනමුත් බොහෝ පිරිසක් දුම්පානය කෙරෙහි ඇබ්බැහි වී ඇති නිසා මෙය ඉතාම සංකීර්ණ අභියෝගයක් වන අතරම ඒ සඳහා නව විසඳුම් ඉදිරිපත් කිරීම කෙරෙහිද දැඩි අවධානයක් යොමුවිය. 
 මෙලෙස දුම්පානය අවම කිරීම සඳහා ඉදිරිපත් කළ විසඳුම් අතරින් “දුම්කොළ හානි අවම කිරීම”‍ නම් ප්‍රායෝගික ගෝලීය මහජන සෞඛ්‍ය උපාය මාර්ගය මේ වන විට ඉතා ජනප්‍රිය වී තිබීම දක්නට ලැබේ. එහි මූලික පදනම වන්නේ දුම්පානය නතර කිරීමට නොහැකි සහ දුම්පානය නතර කිරීමට අකැමැති වැඩිහිටියන්ට දුම් රහිත විකල්පයක් හඳුන්වා දීමයි. දත්ත මගින්ද තහවුරු වී ඇත්තේ මෙය ඉතාම සාර්ථක ක්‍රමවේදයක් බවයි. 
එහි සාර්ථකත්වය වඩාත් පැහැදිලිව දක්නට ලැබෙන්නේ ස්වීඩනයෙනි. දුම් රහිත නිකොටින් නිෂ්පාදන පාරිභෝගිකයාට ලබාදීම හරහා, යුරෝපා සංගමයේ අඩුම දුම්පාන අනුපාතය (දැනට සියයට 5 ට වඩා අඩු) වාර්තා කිරීමට ස්වීඩනය සමත්ව ඇත. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්පානයෙන් තොර රටක් ලෙස අර්ථ දක්වා ඇති සියයට 5 සීමාවට වඩා අඩු අගයකි. මෙම සුවිශේෂී ප්‍රගතිය නිසා ස්වීඩනය යුරෝපයේ අඩුම දුම්කොළ ආශ්‍රිත මරණ අනුපාතය හිමි රට බවට පත්ව තිබේ. 
ශ්‍රී ලංකාවේ මරණ හා රෝගාබාධ ඇතිකරන වායු දූෂණය, ආහාර රටාව සහ අධික රුධිර පීඩනය වැනි ප්‍රධාන සාධක දහය අතරට දුම්කොළ භාවිතයද එක්ව තිබීම දක්නට ලැබේ. දුම්පානය මගින් ශ්වසන රෝග, හෘද රෝග සහ අංශභාගය ඇතිවේ.
ලංකාවේ වර්තමාන ප්‍රතිපත්තිවලට විවිධ නිකොටින් නිෂ්පාදන අනුකූල වන අතර අවදානම සහ වෙනස හඳුනා ගැනීමට නොහැකි වී ඇත. නිකොටින් පැසි වැනි දුම් රහිත නවීන නිෂ්පාදන, සාම්ප්‍රදායික සිගරැට් සමග එක සේ සැලකීම නිසා දුම්පානය කරන වැඩිහිටි පුද්ගලයන් තවදුරටත් මෙම දුම්පානයේම එල්බ සිටීම දක්නට ලැබේ. 
මේ හේතුවෙන් දුම්පානයෙන් ඉවත් වීමට ඇති අවස්ථාද අහිමිවන අතර මහජන සෞඛ්‍යය දියුණු කිරීමට ඇති අවස්ථා ද මගහැරී යයි. විද්‍යාත්මකව තහවුරු කරන ලද, අවදානම අඩු නිෂ්පාදන සඳහා ඇති ප්‍රවේශය අප වැළැක්වූ විට, වඩා හොඳ විකල්ප ලැබිය යුතු මිලියන සංඛ්‍යාත වැඩිහිටි දුම්පානය කරන්නන් අප අතින් මගහැරී යාමද සිදුවේ.


විසඳුම
නිකොටින් පැසි භාවිතය සහ සාම්ප්‍රදායික දුම්කොළ භාවිතය අඩු කිරීමේ යහපත් ප්‍රතිඵල පිළිබඳව විද්‍යාත්මක පදනමකින් යුතු සංවාදයක් ඇතිවිය යුතු අතර වර්තමාන රෙගුලාසි සත්‍ය වශයෙන්ම මහජන සෞඛ්‍යයට යහපත් ආකාරයෙන් බලපෑමක් ඇති කරන්නේද එසේත් නැතිනම් ප්‍රගතිය අඩාල කරන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය. 
එසේම නව නියාමන රාමුවක් ගොඩනැගිය යුත්තේ එක් එක් නිෂ්පාදනයේ පවතින සාපේක්ෂ අවදානම පදනම් කරගෙනයි. දුම්පානය කරන වැඩිහිටි පුද්ගලයන් දුම් රහිත නිෂ්පාදන වෙත යොමු කිරීමට දිරිමත් කළ යුතු අතරම ඒවායේ දැඩි ප්‍රමිතිද පවත්වා ගත යුතුය. විශේෂයෙන්ම මෙයට වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් අතට මෙම නිෂ්පාදන පත් නොකිරීමට නීති සම්පාදනය කළ යුතු අතරම වැඩිහිටි පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු ලබාදීමේ ක්‍රමවේද ඇතුළත් විය යුතුය. මෙය නියාමනය කිරීම හෝ නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොව, ප්‍රගතිය වේගවත් කරන “බුද්ධිමත් නියාමනයක්”‍ තෝරාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් බව වටහා දිය යුතුයි. 
ස්වීඩනයේ සාර්ථකත්වය දෙස බලා මේ සඳහා ලංකාව තුළද වඩාත් ගැලපෙන ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ හැකිය. එවිට වැඩිහිටි දුම්පානය කරන්නන්ට තමන් තෝරාගන්නේ නියාමනය කරන ලද, සහ අඩු හානිකර නිෂ්පාදනයක් බවට විශ්වාසයකින් යුතුව එම විකල්ප වෙත යොමුවීමට හැකියාව ලැබෙනු ඇත. 
මෙම ප්‍රගතිය පිළිබිඹු කරන ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට දැන් කාලය එළඹ ඇත. මේ සඳහා කර්මාන්තකරුවන්, නියාමකයන් සහ මහජන සෞඛ්‍ය ක්‍රියාකාරීන්ගේ සාමූහික වගකීම අත්‍යවශ්‍ය වේ. සාක්ෂි මත පදනම් වූ නියාමන පරිසරයක් නිර්මාණය කිරීමෙන්, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය ඉහළ නංවාලීම සඳහා මෙම නිෂ්පාදන සතු පරිවර්තනීය හැකියාව ප්‍රයෝජනයට ගත හැකිය.