ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2026, එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අධ්‍යාපන ආයතන, සේවා යෝජකයන් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනය, සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වෘත්තිකයන්ට තම අනාගතය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අසමසම අවස්ථාවක් සලසා දෙයි. 
දින දෙකෙහිම පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතින මෙම ප්‍රදර්ශනය හරහා දිවයිනේ කීර්තිමත් අධ්‍යාපන ආයතන 45කට ආසන්න සංඛ්‍යාවක්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන 10ක් සහ ෆින්ලන්තය හා ජපානය යන රටවල ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් සෘජුවම මුණගැසීමේ අවස්ථාව හිමිවේ. ලංකාවේ මෙන්ම විදේශයන්හි උසස් අධ්‍යාපන සහ රැකියා අවස්ථා ගවේෂණය කිරීමට ඉඩ සලසමින්, තම අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය අනාගතය සවිබල ගන්වා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයකුට අවශ්‍ය සියලු‍ම තොරතුරු එකම ස්ථානයකින් ලබාගත හැකි පරිදි මෙය සංවිධානය කර ඇත. 
ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් ආදම් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් මෙම උළෙල නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. 
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නිමකළ හෝ ඊට පෙනී සිටීමට සූදානම් වන සිසුන්ට විවිධ අධ්‍යාපන මාර්ග සැසඳීමටත්, උසස් අධ්‍යාපන ආයතන පිළිබඳව අධ්‍යයනය කිරීමටත්, පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට ඇති අවස්ථා පිළිබඳව දැනුවත් වීමටත් EDEX හරහා විශාල පිටිවහලක් ලැබේ. මවුපියන්ට සහ භාරකරුවන්ට තම දරුවන් සඳහා පවතින සුදුසුම තේරීම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට ද මෙය මග පාදයි. එමෙන්ම වෘත්තිකයන්ට සහ රැකියා අපේක්ෂකයන්ට සේවා යෝජකයන් සමග සම්බන්ධ වීමටත්, වෘත්තීය සංවර්ධන අවස්ථා හඳුනා ගැනීමටත් මෙම ප්‍රදර්ශනය කදිම වේදිකාවකි. 
EDEX Mid-Year Expo 2026 හි ප්‍රධානතම අංගයක් වන EDEX Job Fair හරහා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ප්‍රමුඛ සමාගම් එක්රැස් වේ. එමගින් රැකියා අපේක්ෂකයන්ට සහ යොවුන් වෘත්තිකයන්ට රැකියා අවස්ථා ගවේෂණය කිරීමටත්, සේවා යෝජකයන් සමග සෘජුවම සම්බන්ධ වීමටත් අවස්ථාව සැලසේ. සෞඛ්‍ය සංරක්ෂණ, FMCG, කෘෂිකර්මාන්ත, ගුවන් සේවා, භාණ්ඩ ප්‍රවාහන, විදුලි සංදේශ, රථවාහන, ප්‍රවාහන, මෘදුකාංග, බැංකු සහ මූල්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් රැසක් මේ සඳහා සහභාගී වේ. මෙම Job Fair සංවිධානය කර ඇත්තේ රැකියා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරන්නන් හා නව දක්ෂතාවලින් යුත් පිරිස් සොයන ආයතන එකිනෙක සම්බන්ධ කිරීමේ අරමුණිනි. 
මේ පිළිබඳව අදහස් දක්වමින් EDEX සභාපති මහින්ද ගලගෙදර මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට මීළඟ විභාගයෙන් ඔබ්බට සිතමින්, තම අනාගත ඉලක්ක පිළිබඳව අවධානය යොමු කිරීමට උපකාර කිරීම EDEX හි නිබඳ අරමුණයි. දශක දෙකක කාලය පුරා අධ්‍යාපනය, කුසලතා සහ රැකියා අවස්ථා එකිනෙක යා කරන සුවිශේෂී වේදිකාවක් ගොඩනැගීමට අපි සමත් වුණා. තරුණ පරපුරට සහ ඔවුන්ගේ පවුල්වලට අනාගතය වෙනුවෙන් සාර්ථක තීරණ ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමින් මෙම Mid-Year Expo හරහාත් අප ඉටු කරන්නේ එම ජාතික වගකීමයි.”‍ 
2026 ප්‍රදර්ශනයෙන් ලාංකේය තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සහ රැකියා වෙළෙඳපොළට අවතීර්ණ වීමට ඇති අවස්ථා තවදුරටත් ශක්තිමත් කෙරේ. දේශීය සමාගම් සහ අධ්‍යාපන ආයතනවලට අමතරව ෆින්ලන්තය සහ ජපානය වැනි රටවල ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් ද මීට එක්වන බැවින්, දේශීය අවස්ථාවලට අමතරව විදේශීය අධ්‍යාපන හා වෘත්තීය මාවත් පිළිබඳව ද සොයා බැලීමට පැමිණෙන පිරිසට අවස්ථාව හිමිවේ.