සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 100 ඉක්මවයි


විවිධාංගීකරණය වූ මහා පරිමාණ සමාගමක් වන CIC  හෝල්ඩින්ග්ස් 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී සියයට  20ක ලාබ වර්ධනයක් සමගින් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 2.74ක සමස්ත ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි.  

ඒ අනුව සමූහයේ දළ ලාබය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.26 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6.01 ක් වූ අතර, දළ ලාබ ආන්තිකය දළ වශයෙන් සියයට 27.3 දක්වා වර්ධනය විය. විශිෂ්ට කළමනාකරණය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ප්‍රධාන ව්‍යාපාරික අංශවල ඉහළ දායකත්වය හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාබය සියයට 12.70කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.20 ක් ලෙස සටහන් විය. බදු පසු ලාබය සියයට 19.69 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.81ක් බවට පත් වූ අතර සමාගමේ කොටස් හිමියන්ට සියයට 23.24ක සුවිශේෂී වර්ධනයක් සමගින් රුපියල් බිලියන 1.51 ක ලාබයක් හිමි විය. 

එහිදී CIC හි කෘෂිකාර්මික අංශය සමූහයේ මෙම සමස්ත ආදායමට ඉහළම දායකත්වයක් ලබා දුන් අතර  එය එම ආදායමෙන් සියයට 45 ක් පමණ විය. සත්ව නිෂ්පාදන අංශය සියයට 22 ක් සහ සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශය සියයට 21 ක් ලෙස එම ආදායමට දායක වූ අතර, කාර්මික විසඳුම් හි දායකත්වය සියයට 12 ක් පමණ විය.

තවද මෙම කාර්තුව තුළ සත්ව නිෂ්පාදන සහ කාර්මික විසඳුම් අංශවල කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි වූ අතර ඒ අනුව එම අංශ දෙකෙහි ආදායම හා ලාබය සැලකිය යුතු ලෙස ඉහළ යන ලදී. සත්ව නිෂ්පාදන අංශයේ වර්ධනයට සත්ව ආහාර අලෙවිය ඉහළ යාම, කුකුළු මස් සඳහා පැවති ඉල්ලුම සහ සත්ව වෛද්‍ය සේවා අංශයේ වර්ධනය හේතු වූ අතර වෙළෙඳපොළ ඉල්ලුම සහ නිසි කළමනාකරණය කාර්මික විසඳුම් අංශයේ වර්ධනයට හේතු විය. කාලගුණික සහ වෙනත් කාලීන සාධක හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ ආදායම පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව තරමක අඩුවීමක් පෙන්නුම් කළද, එය තවදුරටත් සමූහයේ විශාලතම ව්‍යාපාරික අංශය ලෙස සමස්ත සාර්ථකත්වයට ශක්තියක් වී ඇත. ඖෂධ සහ පාරිභෝගික සෞඛ්‍ය නිෂ්පාදන අංශවල අඛණ්ඩ සාර්ථකත්වය මත සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශය ද ස්ථාවර වර්ධනයක් පවත්වාගෙන යනු ලැබීය. 

සමූහයේ බදු සහ පොලී ගෙවීමට පෙර ලාබය (EBIT)  රුපියල් බිලියන 3.20 ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය වසරේ එම කාර්තුව තුළ වාර්තා වූ රුපියල් බිලියන 2.84 ට වඩා ඉහළ යාමකි. බදු පෙර ලාබය සියයට 17.52 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.76 ක් වූ අතර, මෙම කාලසීමාව තුළ ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය වූ ක්‍රියාකාරී ප්‍රාග්ධනය ඉහළ යාම හේතුවෙන් ශුද්ධ මූල්‍ය පිරිවැය සියයට 16.38කින් වැඩිවී රුපියල් මිලියන 613.00 ක් බවට පත්විය.

එසේම මෙම කාලසීමාව තුළ විවිධ අභියෝග මධ්‍යයේ CIC  සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර හතර වන කෘෂිකාර්මික අංශය, සත්ව නිෂ්පාදන, කාර්මික විසඳුම් සහ සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර යන සියලුම අංශයන්හි පිබිදීමක් දැකිය හැකි විය. එහිදී සත්ව නිෂ්පාදන අංශයේ ආදායම රුපියල් බිලියන 4.45 සිට රුපියල් බිලියන 4.90 දක්වා ඉහළ ගිය අතර, කාර්මික විසඳුම් අංශය රුපියල් බිලියන 1.87 සිට රුපියල් බිලියන 2.63 දක්වා ඉහළ යමින් ඉහළම ආදායම් වර්ධනය වාර්තා කළේය. සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශයේ ආදායම රුපියල් බිලියන 4.73 සිට රුපියල් බිලියන 4.80 දක්වා වැඩි වූ අතර, කෘෂිකාර්මික අංශය රුපියල් බිලියන 9.97 ක ආදායමක් ලබා ගැනීමට සමත් විය.

ලාභදායීත්වය පිළිබඳ සැලකීමේදී සත්ව නිෂ්පාදන අංශය සියයට 111.37 ක දැවැන්ත වර්ධනයක් සමග රුපියල් මිලියන 660.25 ක ලාබයක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ ඉහළම ලාබ වර්ධනය වාර්තා කරමිනි. කාර්මික විසඳුම් අංශයේ ලාබය සියයට 62.22 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 533.90 ක් විය. රුපියල් බිලියන 1.08 ක ලාබයක් සමගින් කෘෂිකාර්මික අංශය සමූහයට වැඩිම ලාභයක් ලබාදුන් අංශය බවට පත් වන විට සෞඛ්‍ය හා පුද්ගලික සත්කාර අංශය රුපියල් මිලියන 662.51 ක ලාබ දායකත්වයක් දක්වනු ලැබීය. සමස්තයක් ලෙස සියලුම අංශවල ශක්තිමත් පැවැත්ම හේතුවෙන් සමස්ත ශුද්ධ අංශ ලාබය සියයට 11.84කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.94 ක් ලෙස සටහන් විය.