ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශගුණික විපර්යාස- ප්‍රතිචාරයෙන් පෙර සුදානමට ලෝකයේ විවිධ නම්වලින් හැඳින්වෙන දේශගුණික වෙනස්කම් සංකල්ප පමණක් නොව, දැන් සාමාන්‍ය ජන ජීවිතයට බෙහෙවින් බලපාන සාධක බවට පත්වී ඇත. ඒවායේ ඍජු බලපෑම කෘෂිකර්මාන්තය, ජල සම්පත් සහ බලශක්ති ක්ෂේත්‍රවලට පවා විහිදී ඇත. මෙකී වෙනස්කම්වලට කේන්ද්‍රීය වී ඇත්තේ දකුණු එල් නිනෝ දෝලනය (ENSO) වශයෙන් හැදින්වෙන්නාවු එල්නිනෝ (El Nino) සහ ලා නිනා (La Nina) අතර මාරුවෙන් මාරුවට වෙනස් වෙමින් පවත්නා ස්වාභාවික දේශගුණික තත්වයකි.
මෙකී තත්වය මිනිස් බලපෑමකින් තොරව නිර්මාණය වූ අතිශය ස්වාභාවික ක්‍රියාවලීන්ය. කෙසේ වුවද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දකුණු එල්නිනෝ දෝලනය (ENSO) වශයෙන් ඉහත හැඳින්වූ සංසිද්ධිය ක්‍රියාත්මක වන පසුබිම වෙනස් කරමින් එහි බලපෑම තවදුරටත් උග්‍ර කරයි. එනම් වියළි කාලවලදී උණුසුම් තත්වය වැඩි කරයි.


අසාමාන්‍ය ලෙස ඉහළ යන උණුසුම් කාල ගුණය
මේ දිනවල ශ්‍රී ලංකාව අසාමාන්‍ය ලෙස ඉහළ යන උණුසුම් කාල ගුණයකට මුහුණ දී ඇති බව ජනතාවට හොඳින් දෑනී ඇති දෙයකි. මෙයට ප්‍රධාන හේතුව එල් නිනො තත්වයක් බව කාල ගුණ විද්‍යාඥයෝ අදහස් කරති. ලෝකයේ විශාලතම වූද, ගැඹුරුම වූද, පෘථුවි තලයෙන් තුනෙන් එකක පමණ පැතිර පවත්නා වූද පැසිපික් සාගරයෙන් ආරම්භ වුවත් මෙම ගෝලීය සංසිද්ධි අප රටේ වර්ෂාව, උණුසුම් කාලගුණය සහ ජල ප්‍රභව කෙරෙහි උග්‍ර බලපෑමක් ඇති කරයි. 
පසුගිය වසරේ දෙසැම්බර් මස හටගත් අධික වැසි සහිත කාලගුණය ලා-නිනා හෙවත් සිසිල් කාලගුණයක් සහිත ප්‍රබල සුළං තත්වයක් නිසා ඇතිවූ බලපෑමක් විය හැකි වන අතර, වර්තමානයේ පවත්නා ඉහළ යමින් පවතින වියළි සහ උණුසුම් කාල ගුණය එල් නිනෝ, එනම් උණුසුම් කාලය දුර්වල සුළං තත්වය නිසා හට ගත හැකි වුවද මෙම තත්ව දෙකම ප්‍රාදේශීය දේශගුණික සාධකවලට අනුකුලව හැඩතල ගැන්වී ඇති බව පෙනේ.


එල් නිනෝ සහ ලා නිනා යනු කුමක්ද?
එල් නිනෝ සහ ලා නිනා වසර දහස් ගණනාවක් පුරා පැවතෙන මහා පරිමාණයේ දේශගුණික චක්‍ර වන අතර ඒවා ලොව කාලගුණ රටාවට දැඩි සේ බලපායි. සාමාන්‍යයෙන් එම සංසිද්ධි වසර 2-7 කාලයකට වරක් සිදුවේ.
17 වැනි සියවසේදී පේරු රටෙහි ධීවරයන් විසින් ‘එල් නිනෝ’ යන නාමය නත්තල් සමයේ මුහුදේ පවතින උණුසුම් ජල තත්වය හැඳින්වීම සඳහා භාවිතයට ගැනුණු “Christ Child”  යන අදහස ඇති වචනයකි.
එල් නිනෝ තත්වයට හේතු වන්නේ පැසිපික් සමුදුරෙහි මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල මුහුදු මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමය. මෙම ක්‍රියාවලිය මගින් ආසියා මහාද්වීපය දෙසට උණුසුම් ජල ප්‍රවාහ තල්ලු‍කිරීම සිදුවන වෙළෙඳ සුළං දුර්වල කිරීමට හේතු වේ. එවිට උණුසුම් ජලය දකුණු ඇමෙරිකාව දෙසට ගමන් කරයි. මෙහි ප්‍රතිඵලය වනුයේ වර්ෂාව ලැබෙන රටාව වෙනස් වී ඉන්දුනීසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි රටවල වියළි තත්ව වර්ධනය වීමයි. 
ලා නිනා යනු little girl යන තේරුම ඇතිව ධීවරයන් විසින් එයට විරුද්ධ සංසිද්ධිය සඳහා යෙදූ වචනයක් වන අතර, එය ‘පැසිෆික් සමුදුරෙහි සිසිලනය’ වශයෙන්ද හැඳින්වේ. ප්‍රබල වෙළෙඳ සුළං හේතුවෙන් උණුසුම් ජලය නැවත ආසියා සහ ඔස්ට්‍රේලියා මහාද්වීප දෙසට තල්ලු‍ කරයි. 
දකුණු ඇමෙරිකාව අසල ගැඹුරු මුහුදු ජලය, මුහුදු මතුපිටට ප්‍රවේශ වෙමින් මුහුදු මතුපිට සිසිල් කරයි. මෙහි ප්‍රතිඵලය වනුයේ දකුණු සහ නැගෙනහිර ආසියා වේ වර්ෂා තත්වය වැඩි කිරීමයි.
ලා නිනා තත්ත්ව කාලයේදී ශ්‍රී ලංකාව වටා උණුසුම් ජලය, ජලය වැඩි වීම, වායු ගෝලයේ තෙතමනය වැඩිවීම සහ ප්‍රබල මෝසම් වැසි තත්වයක් ඇතිවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මහ කන්නයේදී ජලාස පිරීයාම සහ භූගත ජලය නැවත පිරීම සිදු වේ. මේ අතර ගං වතුර ගැලීම සහ කෘෂි වගා හානි ඇතිවීමට ඉඩ ඇත.
එල්නිනෝ සහ ලා නිනා සංසිද්ධි අතර වෙනස්කම් සැකෙවින් එල් නිනෝ සංසිද්ධියෙහි ප්‍රතිඵලය උණුසුම් සහ වියළි තත්ව හටගැනීම වන අතර ලා නිනා සංසිද්ධියෙහි ප්‍රතිඵලය වැසි සහ ගං වතුර අවදානම් වැඩි කරන තත්වයකි.
එල් නිනෝ තත්වය යටතේ මුහුදු ජලය උණුසුම් වේ. සුළං තත්ව දුර්වලවේ.
වැසි තත්වය ඉතා අඩුය. ජල හිඟය නිසා කෘෂි කර්මාන්තයට බලපෑම් ඇතිවේ.
ජලාශවල ජල මට්ටම පහළ යන අතර, ජල විදුලි නිෂ්පාදනය අඩු වීමටටද හේතු වේ.
ලා නිනා තත්ව කාලයේදී ශ්‍රී ලංකාව වටා සුළං තත්වය ප්‍රබල වේ. වර්ෂාපතනය වැඩිවේ. ගං වතුර ගැලීම වැඩි වන අතර ඉන් වන හානිය ඉහළය.
ජලාශවල ජල මට්ටම ඉහළ යමින් ජල විදුලි නිෂ්පාදනය වැඩිවීමට හේතු වේ.
එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධිවල බලපෑම් එල් නිනෝ කාලවලදී ශ්‍රී ලංකාවෙහි වර්ෂාපතනය අඩු වන අතර ජලාශවල ජල මට්ටම පහළ යයි. වාරි පද්ධති මත යැපීම වැඩි වන අතර භූගත ජල භාවිතයද වැඩි වේ. ජල විදුලි නිෂ්පාදනය අඩුවේ.
ලා නිනා කාලවලදී අධික වර්ෂා පතනයක් ඇති වන අතර ජලාශ සහ භූගත ජලය නැවත පිරවීම සිදුවේ. අධික ගං වතුර සහ පස් කඳු කඩාවැටීම් මෙන්ම යටිතල පහසුකම්වලට බලවත් හානි සිදු වේ.
ඇතැම් අය පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව වැනි කුණාටු තත්ව ලා නිනා තත්ව සමග සම්බන්ධ කිරීමට පෙළඹී ඇත. එහෙත් එවැනි සංසිද්ධි විද්‍යාත්මකව පිරික්සීමේදී ඒවා සාධක සමූහයක් මත පදනම් වූ මිශ්‍ර බලපෑම් බව පෙනී යයි. ලා නිනා සංසිද්ධියෙන් සිදුවන්නේ ඉහත තත්ව සඳහා ඇතිවන පසුබිම බලවත්වීම පමණයි.


ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් සහ වියළි තත්ව
ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් සහ වියළි තත්ව එල්නිනෝ සංසිද්ධියේ බලපෑමට අනුකුල බව පෙනේ. වර්තමාන මෝසම් වැසි අඩුවීම්, ජලාශවල ජලය අඩුවීම්, වාෂ්පීභවනය සහ උණුසුම වැඩිවීම, පානීය ජලය අඩුවීම සහ වාරි පද්ධතිවලට සිදුවන අධික බලපෑමෙන් මෙය පැහැදිලි වේ.
වියළි කලාපයේ ගොවිතැන් සඳහා ජලාශවලින් ලබාගන්නා ජලය ප්‍රධාන ප්‍රභවය වන බැවින් එක දුර්වල මෝසම් වැසි කාලයක් වුවද කෘෂිකර්මය කෙරෙහි දැඩි බලපාම් ඇති කරයි. මෙවැනි අවස්ථාවල ගොවීන් විසින් භූගත ජලය ලබාගැනීමට පෙළඹෙන බැවින් දිගු කාලීනව ජලය ලබාගැනීම කෙරෙහි විවිධ ගැටලු‍ ඇති වේ.


ශ්‍රී ලංකාවේ වර්තමාන දැඩි කාලගුණික වෙනස්වීම් චක්‍රය
ශ්‍රී ලංකාව තුළ එකම වසරක් තුළ පවා පවත්නා දැඩි වියළි කාලගුණික තත්වය සහ ඊට පසු පවත්නා අධික වර්ෂා තත්වය සහිත දැඩි කාලගුණික තත්වය මාරු වෙමින් පවතින චක්‍රයක් නිර්මාණය කරයි. මෙම වෙනස්වීම් මීට ඉහත දක්වූ ‘ENSO’ තත්වය පමණක් නොව විශාල දේශගුණික අස්ථාවරත්වයක් පිළිබඳ පුළුල් රටාවකි. දේශගුණික තත්ව එල් නිනෝ සහ ලා නිනා තත්ව අතරේ පිළිවෙළක් නොමැතිව වෙනස් වේ. මේ අතර ප්‍රාදේශීය බලපෑම් ඇතිවිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ සුළු කාලාන්තරවලදී ප්‍රාදේශීය ගං වතුර සහ නියගයන්ට ගොදුරු වීමට හැකියාව ඇත.


ජල කළමනාකරණය කෙරෙහි බලපෑම්
ජල කළමනාකරණය කෙරෙහි බලපෑම් වර්ධනය වෙමින් පවත්නා ඉහත සඳහන් වෙනස්කම් සම්ප්‍රදායික ඉඩම් සහ ජලකළමනාකරණ පද්ධති කෙරෙහි දැඩි ලෙස බලපායි. මීට හේතුව මේවා සැලසුම් කොට ඇත්තේ ස්ථාවර දේශගුණික තත්වයක් සඳහා පමණක් වීමය. දැනට පවත්නා අභියෝගය මෙකී උග්‍ර තත්වයට මුහුණ දීම පමණක් නොව එවැනි තත්ව කෙරෙහි අපේක්ෂාවෙන් සිටීමය. ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට පැසිපික් සයුරේ තත්වය පාලනය කිරීමට නොහැකි වුවද පෙර සූදානම් තත්ව වැඩි දියුණු කළ හැකිය. මෙහිදී ප්‍රමුඛතා වනුයේ,
1. දේශගුණික වෙනස්කම් ජල සැපයුම්වලට ඇතුළත් කිරීම
2. භූගත ජල පාලනය
3. ජලය ගබඩා කිරීම් සහ බෙදාහැරීම් වැඩි දියුණු කිරීම
4. ගංවතුර පාලනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
5. නාය යාම්වලට මුහුණදීමේ පෙර සුදානම් කටයුතු වැඩිදියුණු කිරීම.
6. දේශගුණයට අනුකූලවූ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය යන කරුණු වේ.


ප්‍රතිචාරයෙන් පෙර සුදානමට
එල් නිනෝ සහ ලා නිනා තත්ව නව සංසිද්ධි නොවුණද ඒවායේ බලපෑම් දැන් වැඩි වී ඇත. වර්තමානයේ, ශ්‍රී ලංකාව දැඩි දේශගුණික වෙනස්කම්වලට භාජන වෙමින් පවතින රටක් බවට පත් වෙමින් ඇත. එබැවින් කෘෂි කර්මාන්තය, ජල කළමනාකරණය සහ ආපදා කළමනාකරණයෙන් එකී සිද්ධිවලට ප්‍රතිචාරය දැක්වීමේ යාන්ත්‍රණයට පමණක් සීමා නොවී මනා පෙර සූදානමකින් යුක්තවීම ඉතා වැදගත් වී තිබේ.
මේ සඳහා අදාළ සියලු‍ ආයතනවල මනා සම්බන්ධීකරණයක් අවශ්‍යය. පෙර සඳහන් කළ පරිදි, ගෝලීය දේශගුණ පද්ධති අපගේ පාලනයෙන් තොර වුවද නිසි සැලසුම් සහ කළමනාකරණයෙන් අවදානම් අඩු කළ හැකිය.  අනාගත ජල ආරක්ෂාව සහ කෘෂිකාර්මික ස්ථායිතාව තීරණය වනුයේ මෙකී පෙර සුදානම සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් දීමෙන් පමණී.
(හෙන්රි ගමගේ මහතා ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් කෘෂි ඉංජිනේරු විද්‍යා (B.Sc) උපාධියද නෙදර්ලන්තයේ වාගනින්ගන් විශ්ව විද්‍යාලයෙන් පාංශු සම්පත් සහ ජල කළමනාකරණය පිළිබඳ M.Sc උපාධියද ලබා ඇත. ඔහු ජල කළමනාකරණය සහ පාංශු සංරක්ෂණය පිළිබඳ විශේෂඥයෙකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධක්ෂකවරයකු ද වෙයි. ඒ මහතා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමග බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවේ කෘෂි සහ ජල කළමනාකරණ ව්‍යාපෘති මෙහෙයවීමෙහිද යෙදී ඇත.)


Daily FT පුවත්පතේ පළවූ “Sri Lanka’s Rising Heat: Is El Niño the Real Cause?” නම් ලිපියේ සිංහල පරිවර්තනය 
ඒ.එම්. ජයසේකර