ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේදී රචකයා පැවැත්වූ ප්‍රධාන දේශනයකින් උපුටා ගන්නා ලදී.

  • බලාපොරොත්තු වූ බුද්ධි මට්ටමට අපගේ උපාධිධාරීන් පත්වී ඇති බව ඔවුන් අත් කර ගත්තේ යැයි කියන උපාධියෙන් සනාථ නොවන්නේ නම් විශ්වවිද්‍යාලය යනු උපාධි විකුණන කඩයක්ය යන නිගමනයට ජනතාව නිසැක ලෙස එළඹෙනු ඇත. එම නිසා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන සෑම සිසුවකුම අපගේ උපාධිය සහ පර්‌යේෂණ කාර්යයන් අවතක්සේරුවට භාජන වන කිසිදු ක්‍රියාවක නිරත නොවිය යුතුය. සිසුන් රැඩිකල් විය යුතුය, (නැතහොත් පවතින දැනුමට අභියෝගාත්මක විය යුතුය,) එහෙත් ඔවුන් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය.”‍
  • රාජ්‍ය අංශය දරන වියදම්වලට අමතරව පෞද්ගලික අංශයද දැනුම අත්පත්කර දීම සඳහා වියදම් දරයි. උදාහරණයකට පෞද්ගලික පාසල් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලද සිසුන්ගේ සෘජු උපකාරය පිණිස වියදම් දැරීම කරයි. ඊට අමතරව මවුපියෝ ද සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පෞද්ගලික උපකාරක පන්ති සඳහා ගාස්තු ගෙවීම කරති. ජාතික දෘෂ්ටියෙන් බැලූ විට එවැනි පුද්ගලික වියදම් ද අධ්‍යාපනයේ සමාජ ආයෝජන වලට ඇතුළත් කළ යුතුය.


 අධ්‍යාපනය : සම්ප්‍රදාය හා  නවීනත්වය යා කිරීම 


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලන සංගමයෙන් Classic 25 සඟරාව නිකුත් කරනු ලබන මේ අවස්ථාවේ රටේ අධ්‍යාපන ක්‍රමයට පුළුල් ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කිරීමට මෙම අවස්ථාව මම භාවිත කරන්නෙමි. මට එසේ කරන්නට මග හෙළි කරනු ලැබූයේ ක්ලැසික්ස් 25 සඟරාවේ සංස්කාරකවරයා විසිනි.
සඟරාවේ පිටකවරයේ සවිස්තරාත්මක සටහනක් ලියමින් සංස්කාරවරුන් ප්‍රකාශ කර ඇත්තේ, නුවරට පිවිසෙන්නට ඇති හොඳම පාලම අධ්‍යාපනය බවයි. එහිදී නුවර යනුවෙන් අදහස් කර ඇත්තේ අනාගතයයි. නුවරින් පිටත ප්‍රදේශය වන්නේ අප දැන් සිටිනා තැනයි.
මැද හරිය බිඳී ගිය එල්ලෙන වැල් පාලමකි, පාලම යට ඇත්තේ අඳුරු අගාධයකි. ඒ තුළ ඇද වැටෙන ඕනෑම අයකු එසැණින් මරුමුවට පත් වෙන සෙයක් පෙනේ. වැල් පාලමේ බිඳී ගිය තැන දෙපස දෙගිඩියාවෙන් පෙළෙන මිනිසුන් දෙදෙනෙකි. පරෙස්සම් සහගතව එගොඩ වන්නේ කෙසේදැයි ඔවුහු කල්පනා කරමින් ලත වෙති. කතුවරු මෙසේ කියති. “බෙදී ගිය අගාධය දෙපස ලෝක දෙකකි. එකක් සම්ප්‍රදාය, සරලත්වය, චාම් බව, සහ උරුම වූ දැනුම් සම්භාරය තුළ මුල් ඇද ගත් එකකි. අනෙක නවීකරණය, තාක්ෂණය සහ ශීඝ්‍ර ප්‍රගතියෙන් ඉදිරියට ඇදෙන්නකි.”‍
බිඳී ගිය පාලමෙන් සංකේතවත් වන්නේ නූතන අධ්‍යාපනය අභිමුවේ ඇති අභියෝගයයි. වෙන් වී බෙදියාම වැළැක්විය නොහැකි සේ පෙනී යන දෙපැත්ත කෙසේ යා කරන්නද? එම සබැඳියාව ඇතිවන්නේ දැනුමෙන් ය. එය නියෝජනය කරනුයේ විවෘත පොතකිනි. දැනුම අත්පත් කර ගැන්මට සිතන කවරෙකු හෝ භාවිත කළ යුතු උපකරණය එම පොතයි.
පරම්පරා, සංස්කෘති සහ කාල පරිච්ඡේද එකට යා කිරීමේ හැකියාව ඇති ප්‍රබලතම බලවේගය දැනුම යයි කතුවරු කියා සිටිති.ඔවුන් කියන අයුරු අධ්‍යාපනය යනු හුදෙක් සාර්ථකත්වය කරා යන අඩි පාරක් නොවේ. එය අවිනිශ්චිත භාවය අවස්ථාවක් බවටත්, විවිධත්වය ශක්තියක් බවට පරිවර්තනය කරනු ලබන පාලමකි. Classic 25 යනු ශිෂ්‍යයන්ට ඉදිරියේ ඇති නවීන ලෝකය වෙත ඇවිද යන්නට තැනූ පාලමක් වන අතර, සම්ප්‍රදායික ලෝකයෙන් ඔවුන් උගත් හර පද්ධතින්ද ඒ වෙත රැගෙන යා හැකිය. අධ්‍යාපනය මෙම වෑයමේ, මූලික හරය වන්නේ එයින් ඔවුන්ගේ ප්‍රවේශය සමතෝලනය කර ගැන්මට උගන්වන නිසාත් ඔවුන් තුළ විචාර චින්තාව ප්‍රගුණ කර ඔවුන් වගකීමෙන් යුතු පුරවැසියන් බවට පත් කරන නිසාත්ය. කතුවරු එය මෙසේ සමාප්ත කරති. “අප ඉදිරියට ඇදෙද්දී ලෝකය කෙතරම් දියුණුවට පත් වුවද අප එක් කොට තබා සියලු‍ බෙදීම්වලින් අප සුරක්ෂිතව එතෙර කරනු ලබන්නේ අධ්‍යාපනයයි.”


 පූජ්‍ය වැලිවිට සෝරත  හිමිපාණන්ගේ ප්‍රඥාව 


මගේ මතයේ හැටියට එය ප්‍රඥාව පිළිබඳව ආදර්ශමත් ප්‍රකාශයකි. කෙසේ වුව එය හුදෙක් පාසැල් හා විශ්ව විද්‍යාලවලට පමණක් අදාළ වන්නක් නොව ජීවිතයේදී විවිධ සමාජ හා වෘත්තීය තත්වය වෙත පා නගන අප සැමදෙනා ට අදාළ වූවකි. එය ප්‍රාරම්භක උපකුලපති ලෙස පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන් කටයුතු කළ විශ්වවිද්‍යාලයකට අලු‍ත් වූ දැනුමක්ද නොවන්නේමය. එකී ප්‍රඥාව ගැනම උන්වහන්සේ මෙසේ දේශනා කළේය.
“අපගේ මෙහෙවර වන්නේ, සමාජය වෙත, බුද්ධිමතුන් බිහිකිරීම විනා හුදෙක් උපාධිධාරින් බෝ කිරීම නොවේ. මෙම පූජනීය භූමිය යමෙක් උපාධි විකුණන ස්ථානයක් බවට පත්කරන්නට වෑයම් කරන්නේ නම්, නැතහොත් යාන්ත්‍රික විලාසිතාවකින් සිසුන්ට උපාධි දෙන තැනක් බවට පත්කරන්නේ නම්, එයින් විශ්වවිද්‍යාලයත් රටත් අප කීර්තියට ඇද දමනු ලබන්නේය. බලාපොරොත්තු වූ බුද්ධි මට්ටමට අපගේ උපාධිධාරීන් පත්වී ඇති බව ඔවුන් අත් කර ගත්තේ යැයි කියන උපාධියෙන් සනාථ නොවන්නේ නම් විශ්වවිද්‍යාලය යනු උපාධි විකුණන කඩයක්ය යන නිගමනයට ජනතාව නිසැක ලෙස එළඹෙනු ඇත. එම නිසා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන සෑම සිසුවකුම අපගේ උපාධිය සහ පර්‌යේෂණ කාර්යයන් අවතක්සේරුවට භාජන වන කිසිදු ක්‍රියාවක නිරත නොවිය යුතුය.”‍
“සිසුන් රැඩිකල් විය යුතුය, (නැතහොත් පවතින දැනුමට අභියෝගාත්මක විය යුතුය,) එහෙත් ඔවුන් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය”‍ යනුවෙන් පවසමින් උන්වහන්සේ මෙම තත්වය වැඩිදුරටත් විස්තර කළේය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හුදෙක් ඉගෙනුම ලබන යන්ත්‍ර නොවිය යුතු බවත්, විචාරාත්මක ප්‍රවේශයකින් මග පෙන්වනු ලැබ සාක්ෂි සොයමින් ගවේෂණයේ යෙදෙමින් පවත්නා ඥානය ඇගයුම් කිරීමේදී අභියෝගාත්මක විය යුතුය යනුවෙන් මෙම ප්‍රඥාව කෙටියෙන් කිවහැකිය. 
විශ්වවිද්‍යාලයේ විධිමත් උත්සවවලදී ගායනා කරනු ලබන විශ්වවිද්‍යාල ගීතය තුළ මෙම අදහස අන්තර්ගත වී තිබේ. විශ්වවිද්‍යාලයේ සම්ප්‍රදායක් ලෙස පිළිගැනුමට ලක්ව ඇත්තේ මෙම ප්‍රඥාවයි. එය ශ්‍රී ලංකාවේ සියලු‍ අධ්‍යාපන ආයතනවලට අදාළ වේ.


 අධ්‍යාපනය, සාකල්‍යයවාදී * සංකල්පයක් 


අධ්‍යාපනය යනු පාසැල්, විශ්වවිද්‍යාල හෝ තාක්ෂණික විද්‍යායතන, වැනි විධිමත් රජයේ ආයතනවලට පමණක් අදාල ක්‍රියාවලියක් ලෙස අධ්‍යාපනය නිර්වචනය කිරීමේ ප්‍රවණතාවක් පවතී. මෙම ප්‍රවණතාව අනුව යමින් වර්තමාන රජයෙන් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාසල් අධ්‍යාපනයට පමණක් සීමා වී තිබේ. කෙසේ වුවද, ස්වාභාවික ආචාර ධර්ම, සමාජ වගකීම, නවෝත්පාදන හා පාසල් අධ්‍යාපනය හරහා දිවිය පුරා ඉගෙනුම ලැබීමේ දැක්මක් සැලසුම් කිරීම කරා එය ව්‍යාප්ත වී තිබේ. 
ජීවිත කාලයක් පුරා ඉගෙනුම ලබන්නවුන්, සමානාත්මතාව, සාමය, සමෘද්ධිය, යුක්තිය, තිරසාර බව, ගෝලිය පුරවැසිභාවය, කරා උත්තේජනයෙන් මෙහෙයවන දැක්මක් පිළිබඳව එය තවදුරටත් විස්තර කර තිබේ. ඒවා ප්‍රශංසනීය අරමුණු වුවද, පාසැල් අධ්‍යාපනයෙන් පමණක් ළඟා කර ගත නොහැකි ඒවාය. ශ්‍රී ලංකාවට මෙම අරමුණු කරා ළඟා වීමට පාසැල් අධ්‍යාපනය ඉවහල් වන අතර එය පමණක් ප්‍රමාණවත් නොවන්නේය. එසේ වනුයේ අධ්‍යාපනය යනු, අවශ්‍ය නිපුණතා වන, නිර්මාණශීලී බව, නවෝත්පාදනයට නැඹුරුබව, සහ නවීකරණයට නැඹුරු බව ආදියෙන් සන්නද්ධ කරමින්, සමාජය අඛණ්ඩව ඉදිරියට යාම පහසු කරවීම සඳහා සමාජයක සාමාජිකයන් සංවර්ධනය කිරීම වන බැවිනි. එය ගර්භාෂයේ පටන් මිනීවල දක්වා දිවෙන කාර්ය පරිපාටියකි.
සමාජයක සාමාජිකයන්ට ආකාර තුනකින් අධ්‍යාපනය සම්පාදනය කරනු ලබයි. එකක් වන්නේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ, හිමිකාරිත්වය සහිත එම අංශවලින් මෙහෙයවනු ලබන, විධිමත් ආයතන වන පාසැල් විශ්වවිද්‍යාල, තාක්ෂණික විද්‍යායතන තුළින් අධ්‍යාපනය ලබාදීමයි. මෙම ආයතන සතුව ව්‍යුහගත පාඨමාලා, පවතින අතර, ඉගෙනුම ලබන්නන් ඇගයුම් තුළින් හඳුනාගෙන, ඔවුන්ට සහතික සහතික පත් පිරිනමනු ලබයි.
දෙවැනි ක්‍රමය වන්නේ අවිධිමත් ආයතන හරහා අධ්‍යාපනය ලබාදීමයි. ඒවායේ ව්‍යුහගත පාඨමාලා තිබෙන නමුත්, ඇගයුම් තුළින් සහතික පත් පිරිනැමීම සිදු නොකෙරේ. තුන්වැනි ක්‍රමය, පවුල්වලින්, මිතුරන් හෝ සමාජයේ අනෙකුත් සාමාජිකයන් වෙතින් අඛණ්ඩ පදනමකින් සමාජයෙන් අධ්‍යාපනය සම්පාදනය කිරීමේ අවිධිමත් අධ්‍යාපනයයි. මෙම තුන්වැනි ක්‍රමයේ විධිමත් පාඨමාලා නොමැත, එහෙත් එය අනෙකුත් වර්ග දෙක මෙන්ම ඵලදායිවේ. වර්තමානයේ මෙම අවිධිමත් අධ්‍යාපනය බහුල ලෙස සමාජ මාධ්‍ය හරහා සපයනු ලැබේ. මෙම ක්‍රම තුනේම ප්‍රතිඵලය වන්නේ, විධිමත්ව මානව සම්පත් සංවර්ධන යනුවෙන් හඳුන්වන වටිනා මානව ප්‍රාග්ධනය සංවර්ධනය වීමය.


 රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛන  අත්පොත 


මානව සම්පත් සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම රජයේ සහ පෞද්ගලික ආයතන යන අංශ දෙකෙන්ම කරනු ලබන අතර පුද්ගලයන් විසින් ඒ සඳහා කරන මූල්‍ය සම්පාදනය ද ඊට ඇතුළත්ය. රජය එසේ කරනු ලබන්නේ ජනතාවගෙන් බදු අය කිරීමෙන් හෝ මුදල් ණයට ගැනීමෙන් හෝ අයවැය පිරිමසා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීමෙනි. පෞද්ගලික අංශයේ ආයතන සහ පුද්ගලයන් එසේ කරනුයේ ඔවුන්ගේ උපයා ගැනීම් වලිනි. මානව සම්පත් සංවර්ධනය උදෙසා කරන සමස්ත ආයෝජනය මෙම අංශ දෙකෙන්ම ඒ සඳහා කරන වියදම් වල එකතුවයි. රජය අධ්‍යාපනය උදෙසා කරන ආයෝජනය සාමාන්‍යයෙන්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ වලට අයවැයෙන් වෙන් කෙරෙන මුළු ප්‍රතිපාදනයන්ට සමාන වේ යැයි සැලකේ. මෙය වැරදි ලෙස ගණන් බැලීමක් වනුයේ, අධ්‍යාපනය උදෙසා කරන ආයෝජනය ගණන් බැලීම (සෞඛ්‍ය රැකවරණයේදී පවා), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිකුත් කරනු ලබන රාජ්‍ය මූල්‍ය සංඛ්‍යා ලේඛන අත් පොතෙන් දෙනු ලබන මාර්ගෝපදේශ අනුසාරයෙන් කරන බැවිනි. මෙම මාර්ගෝපදේශවලට අනුව “රජයේ වියදම් වල ක්‍රියාකාරකම් වර්ගීකරණය”‍ යන සිරස්තලය යටතේ වූ, අධ්‍යාපනය, සෞඛ්‍ය රැකවරණය සහ පරිසර සංරක්ෂණය ආදී, රජය විසින් අයවැය වියදම් වලින් කරනු ලබන ක්‍රියාකාරකම්වල කාර්ය සාධනය පෙන්වන විශේෂිත දත්ත සහිත වගු අය වැය සංඛ්‍යා වලින් නියෝජනය විය යුතුය.


 අනෙකුත් සාර්ව ආර්ථික  අත්පොත් සමග අනුකූලතාව 


මෙම සංඛ්‍යා ලේඛන ආකෘති, අරමුණු දෙකක් උදෙසා උපකාරී වේ. ඒවා ප්‍රමිතිගත ක්‍රමවේදයක් අනුගමනය කර වාර්තා කරන බැවින්, රජයේ වියදම් ජාත්‍යන්තර වශයෙන් වශයෙන් සංසන්දනය කිරීමට එයින් හැකියාව ලැබේ. උදාහරණයකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය උදෙසා රජයෙන් කරන වියදම් ඉන්දියාවේ හෝ වෙනත් රටක එකී වියදම් හා සංසන්දනය කළ හැකි වන්නේ සියලු‍ම සියලු‍ම රටවල් එකම ප්‍රමිතියට අනුගත වන බැවිනි.
සංඛ්‍යාලේඛන ආකෘති වලින් සේවය සපයන දෙවැනි අරමුණ වන්නේ ආර්ථිකය තුළ රාජ්‍ය මූල්‍ය සංඛ්‍යා ලේඛන, නිෂ්පාදන වර්ධනය අනුපාත, දළ දේශීය නිෂ්පාදන, ආදී ගණනය කිරීම් සහිත අනෙකුත් සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන සමග ගැළපිය හැකි බැවිනි. ජාතික ගිණුම් ගණනය කිරීම සඳහා වූ මාර්ගෝපදේශ, එක්සත් ජාතීන්ගේ System of National Accounts නම් වූ අත් පොතකින් නිකුත් කරනු ලැබේ. 
සාමාන්‍යයෙන් එය SNA යනුවෙන් හැඳින්වේ. වර්තමානයේ භාවිත කරනු ලබන අත්පොත නිකුත් කර ඇත්තේ 2008 වසරේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි, රාජ්‍ය මූල්‍ය සංඛ්‍යා ලේඛන අත් පොත (GFSM), එම සංස්කරණය හා ගැළපිය හැකිවන ආකාරයට යාවත්කාලීන කර ඇත. SNA අත්පොත 2025 අවුරුද්දේදී නැවත සකස් කර තිබෙන අතර එය 2026 දී නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට එහි GFSM අත් පොත ඉදිරියේ එන SNA සංස්කරණය සමග එකේලි වන පරිදි යාවත්කාලීන කරමින් පවතී.


 අධ්‍යාපනය සම්බන්ධ වියදම්  දෙවර්ගය 


GFSM හෙවත් රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛන අත්පොතට අනුව, අධ්‍යාපනය සම්බන්ධ රජයේ වියදම් වර්ග දෙකකි. තනි තනි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සේවා සැපයීමේදී කරන වියදම් එක් වර්ගයකි. ගුරුවරුන්ට ගෙවන වැටුප්, පෙළ පොත් විද්‍යාගාර උපකරණ, නිල ඇඳුම් ආදිය උදෙසා කරන උපයෝගී වියදම්, විධිමත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලැබීම උදෙසා ශිෂ්‍යයන්ට පිරිනමන ශිෂ්‍යත්ව ආදිය එයින් ආවරණය වේ. විශ්ව විද්‍යාල හා තාක්ෂණික විද්‍යායතන, මහ පොළ ශිෂ්‍යත්ව පිරිනැමීම්වලට මුදල් යොදවන්නේ මධ්‍යම රජයේ අයවැයට පිටතිණි. ඒවාද අධ්‍යාපනය සඳහා කරන වියදම් යටතට ගැනේ.
රජයේ සේවකයන් රජයේ වියදමෙන් පුහුණු වූ පෞද්ගලික අංශයේ සේවකයන් සහ සිය කාර්ය නිපුණතා වර්ධනය කර ගැනීමට රජයෙන් පහසුකම් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආදී සියලු‍ම වර්ගයේ ඉගෙනුම ලබන්නන් ශිෂ්‍යයන්ගේ ගණයට අයත් වේ.
සාමූහික පදනමෙන් ඉගෙනුම ලබන සියලු‍ම ශිෂ්‍යයන් විසින් භුක්ති විඳිනු ලබන සේවාවල වියදම් දෙවැනි වර්ගයේ අධ්‍යාපන වියදම්වලින් ආවරණය වේ. ශිෂ්‍යයන්ගේ ඉගෙනුම ඇගයුම් කරනු ලබන විභාග පැවැත්වීමේ වියදම්, ක්‍රියාකාරකම් සංවර්ධනය සඳහා වැය කරන මුදල් සහ ගුණාත්මක බව තහවුරු කිරීමේ වියදම් ආදිය එකී වියදම් වලට ඇතුළත් වේ. මේ ආකාරයට, අධ්‍යාපනය ලබාදීමට, පුහුණු කිරීමට, නැවත නැවත පුහුණු කිරීමට, සහ සියලු‍ම රටවැසියන්ගේ නිපුණතා සංවර්ධනයට රජයෙන් දරුණු ලබන සියලු‍ම ඍජු හා සාමූහික වියදම් අයවැය සංඛ්‍යා ලේඛන වල අධ්‍යාපන වියදම් වලට ඇතුළත් වේ. එය පාසල් විශ්වවිද්‍යාල වෘත්තීය පුහුණු ආයතන සහ තාක්ෂණික විද්‍යායතන වැනි සංවිධිත ආයතන විසින් සපයන අධ්‍යාපනයට පමණක්ම එය සීමාවේ යන ජනප්‍රිය මතයට මුළුමනින් වෙනස් වූවකි.
මෙම නිර්වචනයට අනුව අධ්‍යාපනය අමාත්‍යාංශය එහි සිටිනා අයට සේවා සැපයීම සඳහා වැය කරන වියදම් හෝ ලැප්ටොප්, වාහන වැනි දෑ මිලදීගන්නා විශ්වවිද්‍යාල පරිපාලන ඒකක කරන වියදම්, අධ්‍යාපන වියදම්වලට ඇතුළත් නොවේ. මන්ද යත් එම වියදම් සිසුන්ට සිය ඉගෙනුම් වර්ධනය කර ගැනීමට උපකාරී නොවන බැවිනි. එම නිසා එවැනි වියදම්, අයවැය ක්‍රියාකාරකම් වල පොදු පරිපාලන වර්ගීකරණයට ඇතුලත් වේ.


 අධ්‍යාපනය උදෙසා  පෞද්ගලික වියදම් 


රාජ්‍ය අංශය දරන වියදම්වලට අමතරව පෞද්ගලික අංශයද දැනුම අත්පත්කර දීම සඳහා වියදම් දරයි. උදාහරණයකට පෞද්ගලික පාසල් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලද සිසුන්ගේ සෘජු උපකාරය පිණිස වියදම් දැරීම කරයි. ඊට අමතරව මවුපියෝ ද සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පෞද්ගලික උපකාරක පන්ති සඳහා ගාස්තු ගෙවීම කරති. ජාතික දෘෂ්ටියෙන් බැලූ විට එවැනි පුද්ගලික වියදම් ද අධ්‍යාපනයේ සමාජ ආයෝජන වලට ඇතුළත් කළ යුතුය. SNA අත් පොතට අනුව, සමාජය, අධ්‍යාපනය උදෙසා කරන ආයෝජනවල මුළු එකතුවට සෘජුවම ශිෂ්‍යයන්ගේ උපකාරය පිණිස වූ වියදම්ද රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් දරණ වියදම්ද ඇතුළත් විය යුතුය.


 වඩාත් පුළුල් වූ අධ්‍යාපන  ගැටලු‍වලට ප්‍රතිසංස්කරණවලින්  විසඳුම් ලබා දිය යුතුය 


අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පාසැල් අධ්‍යාපනයට පමණක් සීමා නොවිය යුතුය. අධ්‍යාපනයේ අරමුණ වන්නේ, ශීඝ්‍ර ආර්ථික වර්ධනයකට පහසුකම් සැපයීම සඳහා මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම වන නිසා, එම සේවාව සපයන සියලු‍ම උප අංශ සාකල්‍යය වාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළකට ඇතුළත් විය යුතුය. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය මානව ප්‍රාග්ධනය, ශ්‍රී ලංකාවට සංවර්ධනය කළ හැක්කේ එවැනි ජාතික ව්‍යායාමයකින් පමණි.


 බුදුන් වහන්සේට අනුව,  හොඳින් ඉගෙනුම ලබන්නා 


නව දැනුම අත්පත් කර ගැනීමට කැමැති, සියලු‍ම දෙනා ආවරණය වන පරිදි සැකසූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින්, හොඳින් ඉගෙනුම ලබන්නන් බිහි කළ යුතුවේ. සිය ආශ්‍රමය ආලෝකමත් කිරීමට ඉටාගෙන ඉන්නා, භික්ෂූන් විසින් අත්පත් කරගත යුතු වැදගත් ගුණාංග පහක් බුදුන් වහන්සේ හඳුනාගෙන තිබිණි. බුදුන් වහන්සේගේ එම ඥානයට අනුව, හොඳින් ඉගෙනුම ලබන භික්ෂුවක බොහෝ කොට ධර්මය ඉගෙනිය යුතුය. බොහෝ සෙයින් ධර්මය අවබෝධ කරගත යුතුය. 
ධර්මය ස්මරණය කළ යුතුය. අඛණ්ඩව ධර්මය පිළිබිඹුවන අයුරින් හැසිරිය යුතුය. තමන්ගේ වචනවලින් ධර්මය තවත් අයකුට කියා පෑමේ හැකියාව වර්ධනය කරගත යුතුය සහ එම ධර්මයට ඔබ්බෙන් දැකිය යුතුය. වසර දෙදහස් පන්සියයකට පෙර බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මෙම මූලධර්ම අද පවා අපට වලංගු වන්නේය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික හරයන් මෙම මූලධර්ම තුළින් ගොඩනැගීමෙන් තොරව, කිසිම රටකට නිර්මාණාත්මක මානව ප්‍රාග්ධනය, ආර්ථික දියුණුව වේගවත් කර ගැනීම සඳහා සංවර්ධනය කරගත නොහැකිය.


 ප්‍රශංසනීය උත්සාහයක් 


මගේ මතයේ හැටියට අද දිනයේ අප දකින ඉගෙනුමේ ඇතැම් හිදැස් පුරවා දැමීමට Classic 25 උත්සාහ දරා තිබේ. එහි පාඨකයන්ගේ මනස පෝෂණය කිරීමට, සංස්කාරකයන් කෙන්යාවේ කබියන්ගා විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ පටන් කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය දක්වා නූතන රාජ්‍ය පාලනය ට අදාළ විෂය සම්බන්ධ බාහිර විද්වතුන්ගේ ලිපි ඇතුළත් කර තිබේ.
කෙසේ වුවද දමිළ භාෂාවෙන් ඇති නිර්මාණාත්මක කෘති සහ ලිපිවල සන්දර්භය, දමිළ නොවන පාඨකයන්ගේ අවබෝධය පිණිස, අවම වශයෙන් ඒවායේ ඉංග්‍රීසි සාරාංශය සහිතව තිබුණේ නම් මැනවි. මගේ සමස්ත ඇගයුම වන්නේ ක්ලැසික් 25, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රශංසනාත්මක උත්සාහයක් වන්නේය යන්නයි.

 

2026 පෙබරවාරි 9 වැනිදා Daily FT  හි පළවූ Creating human capital is wider concept school education ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ