• 2025 රැස් කරගත් ඩො.බි. 17.2ක අපනයන ආදායමෙන් පහළට බැසීමට අයිතියක් නෑ
  • අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට නම් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම අවශ්‍යයි 
  • ජාතික තීරු බදු ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතියට
  • අලු‍තින් හඳුනාගත් කර්මාන්ත අංශ රැසක බදු, තීරු බදු ප්‍රශ්න නිරාකරණයට පියවර 
  • ශ්‍රී ලංකා එක්ස්පෝ 2026ට ප්‍රදර්ශකයෝ 750ක් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවෝ 1500ක්
  • අපනයනකරුවන් සතු මීළග පරිච්ඡේදය අපනයන විශාල කර ගැනීමයි  - හනීෆ් යුසුෆ් 
 
 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
භානුක අමරසිංහ 
 
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම වසර 2030 වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක් බවට පත් කරගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් 2026 වසරේ සිට 2030 දක්වා අපනයන ආදායමේ සියයට 10ක වාර්ෂික වර්ධනයක් අවශ්‍ය බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 
 
පසුගියදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ 33 වැනි සම්මාන ප්‍රදානය අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. 
“2025 වසරේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 17.2ක් රැස් කරගත්තා. ඊළග පරම්පරාවේ අපනයකරුවන්ට කිසිම අවස්ථාවකදීවත් මේ අගයෙන් පහළට එන්න අයිතියක් නැහැ. අපේ ඉලක්කය 2030 වන විට ඩොලර් බිලියන 36 ක අපනයන ආර්ථිකයක්. ඒ කියන්නේ වසර පහක් තුළ මේ අපනයන ආදායම දෙගුණයක් කරගන්න වෙනවා. ඒ සඳහා ඉදිරි වසර හතරේදී අපේ අපනයන ආදායම වාර්ෂිකව සියයට 10කින් වර්ධනය කරගත යුතු වෙනවා.“  
විශේෂයෙන්ම එම ගමනේදී පවතින බාධා ඉවත් කරගත යුතුව තිබෙන බවත්, ඒ සඳහා සිය රජය අපනයනකරුවන් වෙත සහාය ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 
 
 “අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ අපනයන පරිමාව වැඩි කිරීමට වඩා එම අපනයන තුළ ඇති අගය එකතු කිරීම වැඩි කරගැනීම සම්බන්ධවයි. තරගකාරී ලෝකය තුළ වඩාත් නිර්මාණශීලී විදියට වෙළෙඳපොළ අත්පත් කරගැනීමට සමත් වෙන කෙනා ඉදිරියට යනවා.“ 
 
එහිදී අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට නම් පළමුවෙන්ම දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම අවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය. 
“මේ සඳහා අපි කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා ජාතික තීරු බදු ප්‍රතිපත්තිය. මේ හරහා අපගේ දේශීය නිෂ්පාදකයන්ට පවතින බාධා රැසක් ඉවත් කරගන්නට අපි සමත් වෙලා තිබෙනවා.“ 
 
මේ අතර කර්මාන්ත අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ සමගින් එක්ව කටයුතු කරමින් ජාතික තනි කවුළුව සංකල්පය 2026 වසර තුළදී සාර්ථක කරගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හරහා අපනයනකරුවන්ට නිදහසේ වෙළෙඳපොළ ජයග්‍රහණ වෙත යන්නට ඉන් අවස්ථාවක් හිමි වනු ඇති බවත් අමාත්‍ය හඳුන්නෙත්ති මහතා මෙහිදී සඳහන් කළේය. 
 
“විශේෂයෙන්ම අපි අලු‍තින් හඳුනාගත්ත නිෂ්පාදන ක්ෂේත්‍රයන් තිබෙනවා. ඉසව් කළමනාකරණ ව්‍යාපාරය ඉන් එකක්. රසකැවිලි නිෂ්පාදන ක්ෂේත්‍රයත්, රූපලාවන්‍ය නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන එවැන්නක්. ඊට අමතරව ආගන්තුක සත්කාර සහ සුවසේවා අංශයත් කර්මාන්තයක් විදියට හඳුනාගෙන තිබෙනවා. මේ ක්ෂේත්‍රවල සිටින අයගේ බදු ප්‍රශ්න, තීරු බදු ප්‍රශ්න, උපකරණ ආනයනයේදී ඇති වන ගැටලු‍, ආයතන අනුමැතිය ලබා ගැනීමේදී මතුවන බාධා ඉවත් කිරීමට පහසුකම් සලසනවා.“ 
ඒ අනුව සියලු‍ දෙනාම එකට එක්ව මේ වසරේ සිට අපනයන ආදායමේ සියයට 10ක වාර්ෂික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 
 
“මේ වසරේ ජූනි මාසයේ කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 ප්‍රදර්ශනය මෙහි එක් වැදගත් අවස්ථාවක්. ඒ හරහා අපිට පුළුවන් ලෝකයට අපේ හැකියාව, අපේ භූ දේශපාලනික ස්ථාවරය, අපගේ ආර්ථික ප්‍රතිපත්තීන්හි ස්ථාවරත්වය පෙන්වන්න.“ 
 
වසර 14 කට පසුව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනයට ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ ප්‍රදර්ශන කුටි 750ක් එකතු කරන්නත්, ජාත්‍යන්තර ගැනුම්කරුවන් 1500 ක් කැඳවා ගන්නත් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
මෙහිදී අදහස් දැක් වූ බස්නාහිර පලාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා, ශ්‍රී ලංකාවේ මීළග පරිච්ඡේදය ස්ථාවරවීම නොව සිය අපනයන විශාල කර ගැනීම බව සඳහන් කළේය. යුසුෆ් මහතා ලොව සුප්‍රසිද්ධ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි නිර්මාතෘවරයා වෙයි. 

“අපි අපගේ අගය එකතු කළ අපනයන වැඩි කළ යුතුයි. අපි සේවා අපනයන වැඩි කළ යුතුයි. අපගේ සැපයුම් සේවා වැඩි කළ යුතුයි. අපගේ තාක්ෂණය වැඩි කළ යුතුයි. ඒ වගේම අපි තිරසාරත්වය වැඩි කළ යුතුයි.“  

කෙසේ වෙතත් ඒ සඳහා මූලිකවම පූර්ව නිශ්චය කළ හැකි බව, වේගය සහ දක්ෂතාව යන කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ශ්‍රී ලංකාව ඉදිරි වසර පහක කාලයේදී මෙම කරුණු තුන මත තරග කළ යුතුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. 

“ආයෝජන සඳහා වන ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මගේ අදහස වන්නේ වඩාත් සැබෑ ආයෝජකයන් සහ අපනයනකරුවන් සඳහා වන බාධා ඉවත් කිරීම, ව්‍යාපාරවලදී ආණ්ඩුව වඩාත් වේගවත්ව කටයුතු කිරීම, අනුමත කිරීම් පහසු කිරීම සහ පැහැදිලි නියාමන කටයුතු සඳහා ආයතන සමග සම්බන්ධීකරණය වැඩි කිරීම වැදගත්.“ ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.