ගම්පහ - තිලකරත්න දිසානායක
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව, අවිධිමත් වෘත්තිකයන් සවිබල ගැන්වීමේ අරමුණින් මෝටර් රථ කාර්මික ශිල්පීන් සඳහා සංවිධානය කළ වැඩසටහනක් යක්කල පිහිටි Glitzpark ආයතනයේදී පැවැත්විණි.
අවිධිමත් අංශයේ සේවයේ නියුතු මෝටර් රථ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනය කිරීම, ඔවුන් සවිබල ගැන්වීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණු විය.
මෙම අවස්ථාව සඳහා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ජී. එච්. ආර්. කිරිඇල්ල මහතා සහ මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර මහතා සහභාගී වූහ. වැඩසටහන සඳහා සම්පත් දායකත්වය Glitzpark ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුරාන් සිලු‍ වීරරත්න, අධ්‍යක්ෂිකා ශෂිකා ද සිල්වා, මානව සම්පත් අංශ ප්‍රධානී ආසිරි හේවාවසම්, තාක්ෂණික කළමනාකරු රොෂාන් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් ලබා දෙන ලදී.
රාජ්‍ය යාන්ත්‍රණය හා පෞද්ගලික අංශය අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගීමේ වැදගත්කම තහවුරු කරමින්, මෝටර් රථ කාර්මික ශිල්පීන් ඒකරාශී කර මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් වන කාංචනා ගීතානි මහත්මිය සහ සුරංග සෙනෙවිරත්න මහතා මූලිකත්වය ගෙන කටයුතු කළහ.