වසර 50කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන, පවුලේ හිමිකාරිත්වයෙන් පවත්වාගෙන යනු ලබන නිල්වලා තේ කර්මාන්තශාලාව 2026 නොවැම්බර් මාසයේ පැවැති දකුණු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් වී ඇත.
ඒ අනුව, කර්මාන්තශාලාව විසින් හොඳම ඵලදායිතා සම්මානය (Best Productive Award) සහ කාර්මික හා නිෂ්පාදන අංශයේ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ රන් සම්මානය (Gold Award) දිනා ගැනීම විශේෂත්වයකි.
මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙන් ව්‍යවසායකයන්ගේ සහ ව්‍යාපාරික ආයතනවල සුවිශේෂී දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරිණි.


මෙම සුවිශේෂී සම්මාන ද්විත්වය නිල්වලා තේ කර්මාන්තශාලාවේ හිමිකරු වන කලණ විජේසේකර දහනායක මහතා විසින් ලබාගන්නා ලදී. මෙම ජයග්‍රහණය ආයතනයේ වසර ගණනාවක කැපවීම, කාර්යක්ෂමතාව සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු කරයි.
මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශයේ පිහිටි නිල්වලා තේ කර්මාන්තශාලාව පරම්පරාගත පවුල් ව්‍යාපාරයක් ලෙස වසර 50කට අධික කාලයක් පුරා තේ කර්මාන්තයේ නියැළී සිටින කීර්තිමත් ආයතනයකි. 
උසස් ප්‍රමිතියෙන් යුතු ලංකා තේ නිෂ්පාදනයට අමතරව, සදාචාරාත්මක ව්‍යාපාරික පිළිවෙත් අනුගමනය කිරීම සහ සමාජ වගකීම් මනාව ඉටු කිරීමෙන් ද ආයතනය ක්ෂේත්‍රයේ විශේෂ පිළිගැනීමක් දිනාගෙන ඇත.
මෙම සම්මාන ද්විත්වය නිල්වලා තේ කර්මාන්තශාලාවේ දිගුකාලීන කැපවීම, වගකීම්සහගත ව්‍යාපාරික දැක්ම සහ විශිෂ්ටත්වය කරා යන අඛණ්ඩ ගමනට ලැබුණු මහඟු‍ ඇගයීමකි. 
එය ආයතනයේ කළමනාකාරීත්වයට, සේවක මණ්ඩලයට මෙන්ම සමස්ත නිල්වලා පවුලටම මහත් අභිමානයක් ගෙන දෙන ජයග්‍රහණයක් වන අතර, මොරවක ප්‍රදේශයට සහ දකුණු පළාතට ද කීර්තියක් එක් කරයි.