• ලෝකයේ මෙවැනි කාසියක් සමගින්  මුල්දින කවරයක් නිකුත් කර  තිබෙන්නේ මීට  වසර 120 කට පමණ පෙරයි
භානුක අමරසිංහ 
මෙරට තැපැල් ඉතිහාසයේ පළමුවරට සමරු කාසියක් සමගින් මුල් දින කවරයක් නිකුත් කරන්නට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය පියවර ගෙන තිබේ. එම කාර්යාංශය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසු කණ්ඩායමක් මේ සඳහා මූලිකත්වය ගෙන ඇත. 
ඒ අනුව මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් එම මුල්දින කවරය සහිත ප්‍රදර්ශන පුවරුවක් කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවේ පිහිටි තැපැල් කෞතුකාගාරයේදී නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා සිදුවිය. 
මෙහිදී අදහස් දැක්වූ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා මහතා, “දැනට වසර 120 කට පමණ පෙරාතුව තමයි ලෝකයේ මෙවැනි කාසියක් සමගින් මුල්දින කවරයක් නිකුත් කරලා තිබෙන්නේ. අපිටත් රටක් හැටියට ඒ අවස්ථාව උදා කරගැනීමට හැකියාව ලැබීම ගැන සතුටට පත්වෙනවා.” යනුවෙන් පැවසීය. 
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන වෛද්‍ය තුෂාර ගුණතිලක මහතා, “විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වන වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව 2006 වසරේදී ආරම්භ කළ විද්‍යාලයේ ආදි ගුරු භවතුන් සඳහා පවත්වන මාසික වෛද්‍ය සායනයේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් තමයි මෙම කාසියක් සහිත මුල්දින කවරය නිකුත් කෙරුණේ.” යනුවෙන් සඳහන් කළේය. 
මෙම අවස්ථාව සඳහා තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළුව, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 88 කණ්ඩායමේ ආදි සිසු වෛද්‍යවරුන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.