ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA)  විසින් සංවිධානය කරන කරන National Logistics Awards (NLA)  2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroom හිදී පැවැත්වීමට නියමිතය.

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට  ලංකාවේ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ දක්ෂතා සහ විශිෂ්ට සේවා ඇගයීම සඳහා ප්‍රමුඛතම වේදිකාවක් බවට පත්ව තිබේ. මෙවර සම්මාන සඳහා භාණ්ඩ ප්‍රවාහන සේවා, ගුවන් සේවා, නාවික ප්‍රවාහන සේවා, කුරියර් හා එක්ස්ප්‍රස් සේවා, ප්‍රවාහන ආයතන, බහාලු‍ම් අංගන, ලොජිස්ටික්ස් මෘදුකාංග හා තාක්ෂණ සේවා, ව්‍යාපෘති ලොජිස්ටික්ස්, රේගු නිෂ්කාශන සේවා, ගබඩා හා බෙදාහැරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ.

සම්මාන සඳහා ඉදිරිපත් වන ආයතන හා සේවා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කෙරෙන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සහ පළපුරුදු ලොජිස්ටික්ස් වෘත්තිකයෝ එම ඇගයීම් සඳහා දායක වෙති. මෙහිදී මෙහෙයුම් කාර්යක්ෂමතාව, සේවා ගුණාත්මකභාවය, නවෝත්පාදනය, භාණ්ඩ ලු‍හුබැඳීමේ හැකියාව, විශ්වාසනීයත්වය, කාලානුරූපීභාවය සහ ජාත්‍යන්තර ලොජිස්ටික්ස් ප්‍රමිතීන් ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගැනේ.

මෙම සම්මාන උළෙල හුදෙක් ජයග්‍රහණ සැමරීමක් පමණක් නොව, ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිති ඉහළ නැංවීම, නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම මෙන්ම අඛණ්ඩ දියුණුව සඳහා ආයතන හා වෘත්තිකයන් දිරිගැන්වීමේ වැදගත් අවස්ථාවක් බවSLFFA  පෙන්වා දෙයි.

ලෝකයේ ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික වෙළෙඳ මාර්ගයක උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති  ලංකාවට කලාපීය ලොජිස්ටික්ස් සහ බෙදාහැරීම් කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් වර්ධනය වීමට විශාල හැකියාවක් පවතී.