• අඩු පිරිවැය ක්‍රමවේදයක් ලෙස කොටස් වශයෙන් නැවත පැළ සිටුවීමේ වැඩසටහන පෙන්වා දෙයි
  • තේ මණ්ඩලයේ සන්නාම ප්‍රවර්ධන  යෝජනා ක්‍රමය අවශ්‍ය බව පවසයි
  • අගය එකතු කළ තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කුළුබඩු  ආනයනයට නැවත අවසර  දෙන ලෙසත් ඉල්ලයි
  • භූ දේශපාලනික අර්බුද,  ‘දිට්වා’, SVAT අහෝසිය නිසා  ගතවූ වසර තේ කර්මාන්තයට  අභියෝගාත්මක කාලයක්
  • තත්වය සමනය වීමෙන් පසු  තවත් අමතර තේ  කිලෝ මිලියන 100 ක් අපනයනය  කිරීමේ බලාපොරොත්තුවක
වසර 2030 වන විට වසරකට කිලෝ මිලියන 350 ක නිෂ්පාදන ඉලක්කයක් වෙත ළගා වීම සඳහා රජයේ මැදිහත්වීම සහ සහාය අවශ්‍ය බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) සභාපති හුසේෆා අක්බරලි මහතා අවධාරණය කරයි.
පසුගියදා කොළඹදී පැවැත්වුණු එම සංගමයේ 27 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් සභාපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. ”‍අභියෝග ජය ගැනීම”‍ යන තේමාව යටතේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය විය.
මෙහිදී 2026/2027 වසර සඳහාද සංගමයේ සභාපතිවරයා ලෙස හුසේෆා අක්බරලි මහතා නැවත පත් කරගැනීමෙන් අනතුරුව ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ. “රජයේ සහාය ඇතිව 2030 වන විට වසරකට කිලෝ මිලියන 350 ක නිෂ්පාදන ඉලක්කයක් වෙත ළඟා විය හැකි බව අපි විශ්වාස කරනවා.’’
 
විශේෂයෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන හැකියාව සහ ආදායම ඉහළ නැංවීම සඳහා අඩු පිරිවැය ක්‍රමවේදයක් ලෙස කොටස් වශයෙන් නැවත පැළ සිටුවීමේ වැඩසටහන පිළිබදව ඒ මහතා මෙහිදී සඳහන් කර තිබේ. එසේම තේ මණ්ඩලයේ සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය, අගය එකතු කළ අපනයන දිරිගැන්වීම් සහ අගය එකතු කළ තේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කුළුබඩු ආනයනය කිරීමට නැවත අවසර දෙන ලෙසද ඉල්ලා තිබේ.
තේ නිෂ්පාදනය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, ‘‘අප සතුව අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද තිබෙනවා. ඉහළ නිෂ්පාදන ධාරිතාවක් සහිත තේ අපනයන සමාගම් මෙන්ම වැඩි අමුතේ දලු‍ ප්‍රමාණයක් සැකසීමේ ධාරිතාව සහිත කර්මාන්තශාලා ද අප සතුව පවතිනවා. අපට අවශ්‍ය වන්නේ කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා අතිරේක අමුතේ දලු‍ අස්වැන්නක් පමණයි. ඒ හරහා සෑම කුඩා තේ වතු හිමි පවුලකටම මසකට රුපියල් 94,000ක පමණ ආදායමක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. එය ඔවුන්ගේ දැනට පවතින ආදායම මෙන් හතර ගුණයක වර්ධනයක්.’’ යනුවෙන්ද සඳහන් කර තිබේ.
මේ අතර වත්මන් ගෝලීය ගැටුම් සහ භූ දේශපාලනික නොසන්සුන්තා, ‘දිට්වා’ සුළිකුණාටුව වැනි ආපදා තත්ව, සරල කළ වැට් බද්ද (SVAT) අහෝසි කිරීම මෙන්ම තේ නිෂ්පාදනය පහත වැටීම සහ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු‍ හේතුවෙන් ගතවූ වසර තේ කර්මාන්තයට අතිශය අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වූ බවද අක්බරලි මහතා මෙහිදී පවසා තිබේ.
“සමස්තයක් ලෙස සිලෝන් තේ ප්‍රවාහන මාර්ගවලින් සියයට 85කට ආසන්න ප්‍රමාණයකට බාධා එල්ල වුණා. නෞකා රැසකට සුභ ප්‍රාර්ථනා තුඩුව වටා ගමන් කිරීමට සිදු වී තිබෙනවා. ප්‍රවාහන ගාස්තු ද කිහිප ගුණයකින් ඉහළ ගියා. මෙවැනි අභියෝග හමුවේ වුවත්, අපනයනකරුවන් සිය ශක්තිමත්භාවය තහවුරු කර ගැනීමට සමත් වුණා.’’
 
ඒ අනුව ඉදිරියේදී මෙම තත්වය අවසන්වී, තවත් කිලෝ මිලියන 100 ක් අතිරේකව අපනයනය කිරීමට හැකිවනු ඇති බවත් අපි බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසා තිබේ. 
මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය සිදු කළ වෙරිටේ රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මහතා, වතු කම්කරු ක්ෂේත්‍රයේ රුපියල් 200 ක වැටුප් වැඩිවීම පිළිබඳව අදහස් දක්වමින්, ‘‘මෙම අතිරේක රුපියල් 200ක වැඩිවීම ඉතා ප්‍රායෝගික පියවරක්. 
ආර්ථිකය යථා තත්වයට පත්වීමේදී පහළ ස්ථරයේ ජනතාව අමතක වීම නිසා ඇතිවූ අසමතුලිතතාව යම්තාක් දුරකට හෝ මගහරවා ගැනීමට මෙය උපකාරී වෙනවා. අපනයන මගින් කර්මාන්තයට ලැබුණු වටිනාකමේ වාසිය වතු කම්කරුවන්ට ද ලබාදෙමින්, පාරිභෝගික මිල දර්ශකය හා ගැළපීමටත්, වතු ක්ෂේත්‍රයේ පවතින ඉහළ දිළිඳුකම අවම කිරීමටත් මෙයින් යම් දායකත්වයක් හිමි වෙනවා.’’
ඒ අනුව ප්‍රමුඛ කර්මාන්ත ක්ෂේත්‍ර ඉදිරිපත් කරන යෝජනා හුදෙක් දේශපාලන සබඳතා හෝ බලපෑම් මත පමණක් පදනම් නොවී, මහජනතාවට පැහැදිලිව තේරුම් ගත හැකි සහ සහාය දැක්විය හැකි විනිවිදභාවයෙන් යුත්, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති හරහා ඉදිරිපත් කිරීමේ වැදගත්කමද ඒ මහතා අවධාරණය කර තිබේ.