රළු මැණික් ආනයනයේදී පැවැති බදු සහ ගාස්තු හේතුවෙන් රටට අහිමි වී ගිය මැණික් ඔප දැමීමේ කර්මාන්තය යළිත් පෙර තැබූ තැනටම පත්වෙමින් තිබෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එස්.පී. චමින්ද මහතා සඳහන් කරයි. 
පසුගිය වසරේ අගදී රජය ගනු ලැබූ තීරණයකට අනුව එතෙක් මැණික් ආනයනයේදී එක් මැණික් මල්ලක් සඳහා අය කළ ඩොලර් 200ක ගාස්තුව ඉවත් කිරීමත් ඊට හේතුවක් වී ඇතැයි සභාපතිවරයා පවසයි. 
අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා රත්නපුරයේදී පැවැත්වෙන “Gem City Ratnapura 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය. 
“මැණික් ආනයනය සඳහා පැනවුණු වැට් බදුත් එක්කම ලංකාවේ තිබුණු මැණික් ඔප දැමීමේ කර්මාන්තය බැංකොක්වලට මාරු වුණා. අපේ ක්ෂේත්‍රයේ අයට රළු මැණික් බැංකොක්වලට ගෙනිහිල්ලා එහිදී ඔප දමාගෙන අරගෙන එන එක වඩාත් පහසු වුණා. සමහර විට අපේ මැණික් ඔප දමන්නන් බැංකොක්වලට අරගෙන ගිහිල්ලා ඒ කටයුත්ත කිරීමත් ලාබදායී වුණා. එහෙත් මේ මැණික් කර්මාන්තයට සම්බන්ධ සංගම් විදියට රජයට ඉදිරිපත් කළ යෝජනාවලට ගත්ත පියවර විදියට බදු ලිහිල් කිරිමක් සමගින් මේ වනවිට බැංකොක්වලට ගිය මැණික් ඔප දැමීමේ කර්මාන්තය ආයිත් ලංකාවට එනවා.